135. රහෝසඤ්ඤක ස්ථවිරාවදානය
1902. හිමවතට නුදුරෙහි වසභ නම් පර්‍වතයක් විය. එම පර්‍වත පාදයෙහි (මට) අසපුවක් මැවිනි.
1903. එකල්හි බමුණෙක් වූ මම තුන් දහසක් සිසුනට ඉගැන්වීමි. ඒ සිසුන් රැස් කරවා විවෙකස්ථානයක හුන්නෙමි.
1904. මන්ත්‍රයන්හි පරතෙරට ගිය බ්‍රාහ්මණ වූ මම එකත්පසෙක හිඳ බුද්ධධර්‍මය සොයන්නෙම් (මෙනෙහි කරන්නෙම්) බුද්ධඥානයෙහි සිත පැහැදවීමි.
1905. ඒ මම එහි සිත පහදවා ගෙණ පන්ඇතිරියක හුනිමි. එහි පලක් බැඳගෙණ ම කලුරිය කෙළෙම් ද වෙමි.
1906. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි බුද්ධඥානය පිළිබඳ සංඥාවක් ලැබූයෙම් ද, යම් (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඥානසංඥාවෙහි මේ විපාකය යි.
1907. සත්විසිවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සිරිධර නම් සක්විතිරජෙක් වීමි.
1908. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙසේ ආයුෂ්මත් රහෝසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
රහෝසඤ්ඤකස්ථවිරාවදානය පස්වැනි යි.
136. චම්පකපුප්ඵිය ස්ථවිරාවදානය
1909. සුපිපි කිණිහිරිරුකක් මෙන් බබලන කඳුඅතුරෙහි හුන්නා වූ ඕසධී තාරකාවක් මෙන් සියලු දිගුන් ආලොකවත් කරණ (බුදුරජුන් දිටිමි.)
1910. ස්වකීය බ්‍රාහ්මණධර්‍ම සඞ්ඛ්‍යාත ශිල්පයෙහි මැනැවින් හික්මුනු මාණවකයෝ තිදෙනෙක් වූහ. ඔහු පිරිකරබර ගෙණ මා පසුපසින් එත්.
1911. තවුසකු විසින් ගොටුවක තබන ලද මල් සතක් ගෙණ ඒ මල් වෙස්සභූ බුදුරජුන්ගේ සර්‍වඥතාඥානයට පිදීමි.
1912. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඤාණපූජාවෙහි මේ විපාකය යි.
1913. එකුන්තිස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විපුලාභ නම් සක්විති රජෙක් වීමි.
1914. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙසේ ආයුෂ්මත් චම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
චම්පකපුප්ඵියස්ථවිරාවදානය සවැනි යි.
137. අත්‍ථසන්‍දස්සක ස්ථවිරාවදානය
1915. විශාල ලෙස පිපී පැතිරී ගිය මල් ඇති වෙනෙහි හුන්නෙම් ලෝකනායක වූ ක්‍ෂීණාස්‍රව වූ බලප්‍රාප්ත වූ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද බුදුරජානන් වහන්සේ දිටිමි.
1916. ත්‍රිවිද්‍යාවෙන් යුත් ෂඩභිඥ වූ මහත් ඍද්ධි ඇති සියක් දහසක් රහත්හු සර්‍වඥයන් වහන්සේ පිරිවරත්. එය දැක කවරෙක් නො පහදී ද?.
1917. යමකුගේ නුවණෙහි සසඳා දැක්විය හැකි උපමාවක් දෙවියන් සහිත ලෝකයෙහි නැද්ද, අනන්තඤාණ ඇති ඒ සර්‍වඥයන් වහන්සේ දැක කවරෙක් නො පහදී ද.
1918. හුදු රත්නාකරයක් මෙන් දක්වන දහම්කය ද විකෝපනය කරන්නට නො හැකි වෙත්. (එබඳු උන්වහන්සේ) දැක කවරෙක් නො පහදී ද?.
1919. නාරද සරගච්ඡිය (නම් වූ මම) පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජුන්හට මේ තුන් ගයින් ස්තුති කොට-
1920. මම ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ ද, බුදුරජානන් වහන්සේට ස්තුති කිරීම හේතු කොට ගෙණ ද, කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපන්මි.
1921. මෙයින් තුන් දහස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමිත්ත නම් සක්විති රජෙක් වීමි.
1922. පටිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙසේ ආයුෂ්මත් අත්‍ථසන්‍දස්සක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අත්‍ථසන්‍දස්සකස්ථවිරාවදානය සත්වැනි යි.
138. ඒකපසාදනිය ස්ථවිරාවදානය
1923. නාරද යනු මාගේ (කුලදත්තිය) නාමය යි. කෙසව යන (ගෝත්‍රනාමයෙනුදු) මා දැනගණිත්. කුසල් අකුසල් කුමැයි සොයමින් බුදුරජුන් සමීපයට පැමිණියෙමි.
1924. මෛත්‍රීචිත්තයෙන් යුත් කාරුණික වූ පසැස් ඇති මහාමුනි වූ ඒ අත්‍ථදස්සී සර්‍වඥ තෙම සත්ත්‍වයන් අස්වසමින් දහම් දෙසයි.
1925. සිය සිත පහදවා මුදුනෙහි ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේට අභිවාදනය කොට නැගෙනහිර දෙසට ගියෙමි.
1926. සතළොස්වන කප්සියෙහි මහත් බල ඇති මිහිපති වූ අමිත්තතාපන නම් සක්විති රජෙක් වීමි.
1927. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙසේ ආයුෂ්මත් ඒකපසාදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකාපසදනියස්ථවිරාවදානය අටවැනි යි.