133. චන්දනපූජක ස්ථවිරාවදානය
1886. එකල්හි මම චන්ද්රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. මම මල් අනුභව කරන්නෙම් එසේ ම මල්මුවා හඳනා ඇත්තෙම් ද වීමි.
1887. නරශ්රේෂ්ඨ වූ ලෝකජ්යේෂ්ඨ වූ අත්ථදස්සී භාග්යවතුන් වහන්සේ ද අහසෙහි හංසරාජයකු මෙන් වනහිසින් නික්මුනු සේක. (ඒ දුටු මම මෙසේ කීමි:)
1888. “පුරුෂශ්රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ ප්රසන්න වූ මුඛය හා නේත්ර ඇතිසේක. අතිශයින් පහන් වූ මුහුණ හා ඉන්ද්රියයන් ඇතිසේක.”
1889. (ඉක්බිති) මහාප්රාඥ වූ මනා නුවණැති සර්වඥ තෙමේ අහසින් බැස සඟළ සිවුර අතුරා පර්ය්යඞ්කයෙන් (අසරමිණිය ගොතා) වැඩහුන්නේ ය.
1890. වුරුණු සඳුන් ගෙණ බුදුරජුන් වෙත ගියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස්සහිත වූයෙම් සර්වඥයන් වහන්සේට පිදීමි.
1891. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේට අභිවාදනය කොට සතුට උපදවා උත්තරදිශාභිමුඛ ව ගියෙමි.
1892. එක්දහස්අටසියවන කපෙහි යම් සඳුන් පූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1893 මෙයින් එක්දහස්හාරසියවන කපෙහි නමින් රෝහිත නම් වූ මහත් බල ඇති ඒ සක්විති රජවරු තිදෙනෙක් වූහ.
1894. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චන්දනපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
චන්දනපූජකස්ථවිරාවදානය තෙවැනි යී.
අටවැනි බණවරයි.
134. පුප්ඵඡදන ස්ථවිරාවදානය
1895. මන්ත්රයන්හි පරතෙරට ගිය වේද හදාරන්නා වූ යාග කිරීමෙහි යෙදුනු, නමින් සුනන්ද නම් බමුණු තෙමේ මහායාගයක් කෙළේ ය.
1896. අග්රකාරුණික වූ ඍෂි වූ පදුමුත්තර සර්වඥ තෙමේ ජනසමූහයාට අනුකම්පා කරන්නේ එකල්හි අහසෙහි සක්මන් කෙළේ ය.
1897. උපධි විරහිත ලෝකනායක වූ සර්වඥ බුදුරජ තෙමේ අහසෙහි සක්මන් කොට අප්රමාණ සත්ත්වයා කෙරෙහි මෛත්රිය පැතිරවීය.
1898. මන්ත්රයන්හි පරතෙරට ගිය බමුණුතෙම මල් නටුවෙන් නෙළා සියලු ශිෂ්යයන් රැස් කරවා අහසෙහි ලැවී ය.
1899. එකල්හි නගරය යම් තාක් වී නම්, ඒතාක් අහස මල්වියනක් මෙන් විය. බුද්ධානුභාවයෙන් එය සතියක් මුළුල්ලෙහි (ඉවත් ව) නො ගියේ ය.
1900. එ ම කුශල මූලය හේතු කොට ගෙණ සම්පත් අනුභව කොට සියලු ආස්රවයන් (ප්රහාණපරිඥාවශයෙන්) දැන් ලෝකයෙහි විසත්තිකා සංඛ්යාත තෘෂ්ණාව තරණය කරණ ලදී.
1901. එක්දහස්එක්වන කපෙහි මහත් බල ඇති අම්බරංස නම් වූ ඒ පන්තිස් සක්විති රජකෙනෙක් වූහ.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පුප්ඵඡදනියස්ථවිරාවදානය සිවුවැනි යි.