115. සුවණ්ණපුප්ඵිය ස්ථවිරාවදානය
1716. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ විපස්සී භාග්යවත් තෙමේ වැඩහුන්නේ ජනසමූහයාට අමෘතපදය (නිර්වාණධර්මය) දේශනා කරයි.
1717. මම තාදිගුණ ඇති ද්විපදෝත්තම වූ උන්වහන්සේගේ ධර්මය අසා රන්මල් සතක් බුදුරජානන් වහන්සේට පිදීමි.
1718. එකල්හි යම් තාක් පිරිස වී ද, ඒ තාක් (පැතුරුණු) රන් පියස්සක් විය. බුද්ධරශ්මිය ද ස්වර්ණරශ්මිය ද මිශ්ර ව ආලෝකය මහත් විය.
1719. ඔදවැඩි සිත් ඇති සොම්නස් සහිත වූ හටගත් සතුට ඇති ප්රීතිය උපදවන්නා වූ ඔවුනට මෙලොව සුව ගෙණ දෙන්නා වූ මම-
1720. බුදුරජානන් වහන්සේ අයැද මනා ව්රත ඇති උන්වහන්සේ වැඳ සතුට උපදවා ස්වකීය භවනයට ගියෙමි.
1721. භවනයෙහි හුන් මම බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි. මම ඒ චිත්තප්රසාදය හේතු කොට ගෙණ තුෂිත භවනයෙහි උපන්මි.
1722. මෙයින් එක් අනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1723. මෙයින් තෙසාළිස්වන කපෙහි මහත් බල ඇති නෙමිසම්මත නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1724. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුවණ්ණපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සුවණ්ණපුප්ඵියස්ථවිරාවදානය පස්වැනි යි.
116. චිතකපූජක ස්ථවිරාවදානය
1725-1726. මම ඇමැතියන් සහිත වූයෙම් පිරිවරජනයා සමග වූයෙම් රාජායතනයෙහි වසමි. ලෝකබන්ධු වූ සිඛී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් චිතකය වෙත ගියෙමි. එහි තූර්ය්යවාදනය කර සුවඳ මල් ඉස්සෙමි.
1727. මම සෑයෙහි පූජාව කොට චිතකය ද වැඳ පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් ස්වකීය භවනයට ගියෙමි.
1728. භවනයෙහි හුන්නා වූ මම චිතකපූජාව සිහි කෙළෙමි. ද්විපදෝත්තම වූ ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ කුශලකර්මය හේතු කොට ගෙණ-
1729. දිව්ය මනුෂ්ය දෙගතියෙහි සම්පත් අනුභව කොට ජය පරාජය දෙක හැර නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියෙම් වෙමි.
1730. මෙයින් එක් තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතකපූජාවෙහි මේ විපාකය යි.
1731. මෙයින් එක් තිස්වන කපෙහි නමින් උග්ගත නම් වූ මහත් බල ඇති සොළොස්සක්විති රජකෙනෙක් වූහ.
1732. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
චිතකපූජකස්ථවිරාවදනය සවැනියි.
117. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
1733. යම් කලෙක්හි විපස්සී බුදුරජතෙම ආයුඃසංස්කාරය අත්හළේ ද, (එකල්හි) සයුරු මෙවුල් කොට ඇති (සයුරෙන් වට වූ) පෘථිවිය කම්පිත වී ය.
1734. විසිතුරු මලින් සැරසූ මාගේ දිගුවිසල් භවනය ද තථාගතයන් වහන්සේගේ ආයුඃසංස්කාරය හරණා කල්හි කම්පිත වී ය.
1735. මාගේ භවනය කම්පිත වූ කල්හි තැති ගැණීම ද ඇති විය. කුමක් සඳහා ආලොකය මහත් වූයේ ද? උත්පාතය (=මහාභූතවිකාරය) වූ යේ ද?
1736-1737. වෛශ්රවණ තෙම මෙහි පැමිණ මහාජනයා සන්සිඳවී ය. (කෙසේ ද? යත්:) එකඟ සිත් ඇත්තෝ සංවරයෙන් යුක්ත වවු. ප්රාණීන් කෙරෙහි බියක් නැත. යම් බුදුකෙනෙකුන් උපදනා කල්හි මහාපෘථිවිය කම්පිත වී ද, ඒ බුදුරජතෙම ආශ්චර්ය්ය ය. ධර්මයෝ ද ආශ්චර්ය්ය ය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්ය්ය ය (කියායි).
1738. මම බුදුගුණ පවසා කපක් ස්වර්ගයෙහි සතුටු වීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.