116. චිතකපූජක ස්ථවිරාවදානය
1725-1726. මම ඇමැතියන් සහිත වූයෙම් පිරිවරජනයා සමග වූයෙම් රාජායතනයෙහි වසමි. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් චිතකය වෙත ගියෙමි. එහි තූර්‍ය්‍යවාදනය කර සුවඳ මල් ඉස්සෙමි.
1727. මම සෑයෙහි පූජාව කොට චිතකය ද වැඳ පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් ස්වකීය භවනයට ගියෙමි.
1728. භවනයෙහි හුන්නා වූ මම චිතකපූජාව සිහි කෙළෙමි. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ කුශලකර්‍මය හේතු කොට ගෙණ-
1729. දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි සම්පත් අනුභව කොට ජය පරාජය දෙක හැර නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියෙම් වෙමි.
1730. මෙයින් එක් තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතකපූජාවෙහි මේ විපාකය යි.
1731. මෙයින් එක් තිස්වන කපෙහි නමින් උග්ගත නම් වූ මහත් බල ඇති සොළොස්සක්විති රජකෙනෙක් වූහ.
1732. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
චිතකපූජකස්ථවිරාවදනය සවැනියි.
117. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
1733. යම් කලෙක්හි විපස්සී බුදුරජතෙම ආයුඃසංස්කාරය අත්හළේ ද, (එකල්හි) සයුරු මෙවුල් කොට ඇති (සයුරෙන් වට වූ) පෘථිවිය කම්පිත වී ය.
1734. විසිතුරු මලින් සැරසූ මාගේ දිගුවිසල් භවනය ද තථාගතයන් වහන්සේගේ ආයුඃසංස්කාරය හරණා කල්හි කම්පිත වී ය.
1735. මාගේ භවනය කම්පිත වූ කල්හි තැති ගැණීම ද ඇති විය. කුමක් සඳහා ආලොකය මහත් වූයේ ද? උත්පාතය (=මහාභූතවිකාරය) වූ යේ ද?
1736-1737. වෛශ්‍රවණ තෙම මෙහි පැමිණ මහාජනයා සන්සිඳවී ය. (කෙසේ ද? යත්:) එකඟ සිත් ඇත්තෝ සංවරයෙන් යුක්ත වවු. ප්‍රාණීන් කෙරෙහි බියක් නැත. යම් බුදුකෙනෙකුන් උපදනා කල්හි මහාපෘථිවිය කම්පිත වී ද, ඒ බුදුරජතෙම ආශ්චර්‍ය්‍ය ය. ධර්‍මයෝ ද ආශ්චර්‍ය්‍ය ය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍ය ය (කියායි).
1738. මම බුදුගුණ පවසා කපක් ස්වර්‍ගයෙහි සතුටු වීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.
1739. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් බුද්ධසංඥාවක් (බුද්ධය යන හැඟීමක්) ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි (බුදුරජානන් වහන්සේගේ ගුණ සිහි කිරීමෙහි) මේ විපාකය යි.
1740. මෙයින් තුදුස්වන කපෙහි මහත් බල ඇති නමින් සමිත නම් වූ ප්‍රතාපවත් රජෙක් වීමි.
1741. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසංඥක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය සත්වැනියි.
118. මග්ගසඤ්ඤක ස්ථවිරාවදානය
1742. පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ වනයෙහි හැසිරෙන්නාහු මහවෙනෙහි මංමුළා වූවාහු අන්‍ධයන් මෙන් ඒ මේ අත හැසිරෙත්.
1743. පදුමුත්තර බුදුරජානන් වහන්සේ ද උන්වහන්සේගේ ඒ මහවෙනෙහි මංමුළා වූ ශ්‍රාවකයන් ද සිහි කොට-
1744. මම භවනයෙන් බැස ඒ භික්‍ෂූන් වෙතට පැමිණියෙමි. මම උන්වහන්සේලාට මාර්‍ගය ද කීමි. බොජුන් ද දුන්නෙමි.
1745. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම රහත්බවට ද පැමිණියෙමි.
1746. මෙයින් පන්සියවන කපෙහි සත්රුවනින් යුත් නමින් සචක්ඛු නම් වූ දොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1747. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ගසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
මග්ගසඤ්ඤක ස්ථවිරාවදානය අටවැනි යි.
119. පච්චුපට්ඨාන ස්ථවිරාවදානය
1748. යසසට පත් වූ මම අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවීමට අනතුරු ව යක්‍ෂයෝනියෙහි උපන්මි. එකල්හි (මම මෙසේ සිතීමි)-
1749. මාගේ සම්පත් පවත්නා කල්හි යම් හෙයකින් බුදුරජානන් වහන්සේ පිරිනිවී සේක් ද, එය මට අලාභයකි. නපුරු පහන් වීමකි. නපුරු (හිරු) නැගීමෙකි.