12. මහාපරිවාර වර්ගය
111. මහාපරිවාර ස්ථවිරාවදානය
1677. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ විපස්සී නම් භාග්යවතුන් වහන්සේ එකල්හි අටසැටදහසක් භික්ෂූන් සමග බන්ධුම නගරයට පිවිසි සේක.
1678. නුවරින් නික්ම ද්වීප චෛත්යස්ථානයට ගියෙමි. (එහිදී) කෙලෙස් රජස් විරහිත ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට ගෙයක් බඳු වූ බුදුරජානන් වහන්සේ දිටිමි.
1679. අසූදහසක් අවශේෂ යක්ෂයෝ මා සමීපයෙහි තව්තිසාවැසි දිව්යසමූහයෝ ශක්රයාට මෙන් (මට) සකසා උවටැන් කෙරෙත්.
1680. මම එකල්හි භවනයෙන් නික්ම වස්ත්රයක් ද ගෙණ බුදුරජුන්ට හිස නමා වැන්දෙමි. එම වස්ත්රය ද දුනිමි.
1681. අහෝ! බුදුරජ තෙම ආශ්චර්ය්යය ය. ධර්මය ද ආශ්චර්ය්යය ය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්ය්යය ය. බුදුරජානන් වහන්සේගේ ආනුභාවයෙන් මේ පෘථිවියද කම්පිත වී ය.
1682. ආශ්චර්ය්යය වූ ලොමු දැහැ ගන්වනා වූ එම විස්මය දැක තාදි ගුණ ඇති ද්විපදෝත්තම වූ බුදුරජුන් කෙරෙහි සිත පැහැද වීමි.
1683. ඒ මම සිත පහදවා ශාස්තෲන් වහන්සේට වස්ත්රය පුදා ඇමතියන් සහිත වූ පිරිවර ජනයා සමග සරණගත ද වීමි.
1684. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් පුණ්යකර්මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
1685. මෙයින් පහළොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සුවාහන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1686. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මහාපරිවාර ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
මහාපරිවාරස්ථවිරාවදානය පළමුවැනි යි.
112. සුමඞ්ගල ස්ථවිරාවදානය
1687. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ අත්ථදස්සි බුදුරජානන් වහන්සේ විහාරයෙන් නික්ම තඩාගයක් වෙත එළඹි සේක.
1688. භාග්යවත් සර්වඥ තෙම (එහි) නා (පැන්) බී එයින් ගොඩ නැග (හඳනය පමණක් හැඳීමෙන්) එක සිවුර ඇත්තේ දිශානුදිශාවන් බලමින් එහි වැඩ සිටියේ ය.
1689-1690. (රුක් දෙවි වූ) මම භවනයෙහි හුන්නෙම් එකල්හි සූර්ය්යයා මෙන් බබලන ස්වර්ණයක් මෙන් දිලිසෙන ලෝකනායකයන් වහන්සේ දිටිමි. (දැක) සතුටු වූයෙම් සතුටු සිතින් අත්පොළසන් දිනිමි. (ඒ හේතුවෙන්) නෘත්යයෙහි ද, ගීතයෙහි ද, පඤ්චාඞ්ගිකතූර්ය්යයෙහි ද යෙදුනා වූ මම-
1691. දිව්ය වූ හෝ යලි මනුෂ්ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම් (යසසින්) සියලු සත්ත්වයන් ඉක්ම වමි. මාගේ යසස විශාල වේ.
1692. පුරුෂශ්රේෂ්ඨයන් වහන්ස! ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස! ඔබවහන්සේට නමස්කාර වේවා. සර්වඥයන් වහන්ස! නුඹ වහන්සේ තමා තුටු කොට අනුනුදු තුටු කරණ සේක්වා.
1693. මනා ව්රත ඇත්තේ (තථාගතයන් වහන්සේ) පිරිවරා ගෙණ හිඳ (උන්වහන්සේ ද) සතුටු කොට මම බුදුරජානන් වහන්සේට උවැටැන් කොට තුසිත භවනයෙහි උපනිමි.
1694. මෙයින් එක්දහස් හයසියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒකවින්තිත නම් එකොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1695. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ මේ අයුරින් ආයුෂ්මත් සුමඞ්ගල ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සුමඞ්ගලස්ථවිරාවදානය දෙවැනි යි.
113. දුතියසරණගමනීය ස්ථවිරාවදානය
1696. දෙව්රජුන් දෙදෙනකුගේ සංග්රාමයක් එළඹ සිටියේ ය. (පෙරමුණෙහි) රැස් වූයේ විය. මහත් ඝෝෂාව ද පැවැත්තේ ය.
1697. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට ගෙයක් බඳු වූ තුන්ලෝ දත් ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජතෙම අහසෙහි වැඩ සිටියේ මහා ජනයා සංවේගයට පත් කළේ ය.
1698. එකෙණෙහි සියලු දෙවිවරු සතුටු වූවාහු බැහැර කරණ ලද යුදඇඳුම් හා ආයුධ ඇත්තාහු බුදුරජානන් වහන්සේට වැඳ එකඟව සිටියාහු ය.