114. ඒකාසනිය ස්ථවිරාවදානය
1707. එකල්හි නමින් වරුණ නම් වූ දිව්‍යරාජයෙක් ව මම බල වාහන සහිත ව බුදුරජුන් හට උවැටැන් කෙළෙමි.
1708. අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි සියලු තූර්‍ය්‍යයන් ගෙණ උතුම් බෝරුක වෙත එළඹියෙමි.
1709. වාදිතයෙන් ද, නෘත්‍යයෙන් ද, කුළුතාලම් ආදියෙන් ද යුක්ත වූයේ බුදුරජානන් වහන්සේ ඉදිරියට මෙන් උතුම් බෝධිය වෙත එළඹි යෙමි.
1710. මම ඒ බෝධියට උවැටැන් කොට පලඟ බැඳ ගෙණ එහි කලුරිය කෙළෙමි.
1711. ස්වකීය පින්කම් වලින් පැහැදුනු මම උතුම් බෝධිය කෙරෙහි ද පැහැදුනේ එම පහන් සිතින් නිර්‍මාණරතී දෙව්ලොව උපන්නෙමි.
1712. මිනිසුන් අතුරෙහි ද දෙවියන් අතුරෙහි ද කුදුමහත් භවයෙහි (ඉපිද) පවත්නා වූ මා සැටදහසක් තූර්‍ය්‍යයෝ හැම දා පිරිවරත්.
1713. මෙයින් පන්සියවන කපෙහි සත්රුවනින් යුත් නමින් සුබාහු නම් සූතිස් රජකෙනෙක් වූහ.
1714. මා විසින් ත්‍රිවිධාග්නීහු නිවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
1715. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකාසනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
එකාසනියස්ථවිරාවදානය සිවුවැනි යි.
115. සුවණ්ණපුප්ඵිය ස්ථවිරාවදානය
1716. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී භාග්‍යවත් තෙමේ වැඩහුන්නේ ජනසමූහයාට අමෘතපදය (නිර්‍වාණධර්‍මය) දේශනා කරයි.
1717. මම තාදිගුණ ඇති ද්විපදෝත්තම වූ උන්වහන්සේගේ ධර්‍මය අසා රන්මල් සතක් බුදුරජානන් වහන්සේට පිදීමි.
1718. එකල්හි යම් තාක් පිරිස වී ද, ඒ තාක් (පැතුරුණු) රන් පියස්සක් විය. බුද්ධරශ්මිය ද ස්වර්‍ණරශ්මිය ද මිශ්‍ර ව ආලෝකය මහත් විය.
1719. ඔදවැඩි සිත් ඇති සොම්නස් සහිත වූ හටගත් සතුට ඇති ප්‍රීතිය උපදවන්නා වූ ඔවුනට මෙලොව සුව ගෙණ දෙන්නා වූ මම-
1720. බුදුරජානන් වහන්සේ අයැද මනා ව්‍රත ඇති උන්වහන්සේ වැඳ සතුට උපදවා ස්වකීය භවනයට ගියෙමි.
1721. භවනයෙහි හුන් මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි. මම ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ තුෂිත භවනයෙහි උපන්මි.
1722. මෙයින් එක් අනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1723. මෙයින් තෙසාළිස්වන කපෙහි මහත් බල ඇති නෙමිසම්මත නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1724. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුවණ්ණපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සුවණ්ණපුප්ඵියස්ථවිරාවදානය පස්වැනි යි.