105. මූට්ඨිපූප්ඵිය ස්ථවිරාවදානය
1634. එකල්හි මම නමින් සුදස්සන නම් වූ මල්කරුවෙක් වීමි. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පහ වූ කෙළෙස් මල ඇති බුදුරජානන් වහන්සේ දිටිමි.
1635. (මම) දෑසමන් මල් ගෙණ පදුමුත්තර බුදුරජානන් වහන්සේට පිදීමි. ඒ හේතුවෙන් පිරිසිදු ඇස් ඇත්තේ සොම්නස් වූයේ දිවැස ද ලැබීමි.
1636. මම මේ පුෂ්පපුජාව හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙන ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපන්මි.
1637. මෙයින් සතිස්වන කපෙහි මහත් බල ඇති පදුමුත්තර නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1638. සිවු පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මුට්ඨිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
මුට්ඨිපුප්ඵියස්ථවිරාවදානය පස්වැනියි.
106. උදකපූජක ස්ථවිරාවදානය
1639-1640. මම අහස්මගෙහි වඩින්නා වූ රන්වන් වූ ඇවිලගත් දිලිසෙන ගිනිකඳක් වැනි වූ පූජාසත්කාරයන්ට ආසන (ස්ථාන) වූ බුදුරජානන් වහන්සේට අතින් දිය ගෙන අහසෙහි උඩට දැමීමි. මහාවීර වූ කාරුණික ඍෂි වූ බුදුරජ තෙම එය පිළිගත්තේ ය.
1641. අහසෙහි වැඩ සිටියා වූ පදුමුත්තර නම් ශාස්තෘ තෙමේ මේ ගාථාව වදාළේ ය:
1642. “මේ ජලදානයෙන් ද ප්‍රීතිය ඉපදවීමෙන් ද (මෙතෙම) කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදී” (කියා යි.)
1643. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ජය - පරාජය (දෙක) හැර නිශ්චලස්ථානය (=නිවණ) ට පැමිණියෙම් වෙමි.
1644. සදහස්පන්සියවන කපෙහි සිවුමහදිවයින හා සිවු මහ සමුදුරු කෙළවර කොට ඇති පොළොවට අධිපති වූ ජනශ්‍රේෂ්ඨ වූ ඒ සහස්සරාජ නම් සක්විති රජවරු තිදෙනෙක් වූහ.
1645. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
උදකපූජකස්ථවිරාවදානය සවැනියි.
107. නළමාලිය ස්ථවිරාවදානය
1646-1647. තාදීගුණ ඇති ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ තණ ඇතිරියක වැඩහුන්නා වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ට බටමලක් ගෙන විජිනියක් බැඳ පිළිගැන් වීමි.
1648. ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ විජිනිය පිළිගෙණ මාගේ අදහස දැන මෙම ගාථාව වදාළ සේක:
1649. “යම් සේ මාගේ සිරුර නිවේ ද, පරිළාහයක් නො වේ ද, එසේ ම ඔබගේ සිත (රාග - ද්වේෂ - මෝහ - යන) ත්‍රිවිධාග්නියෙන් (නිවේවා) කෙලෙසුන්ගෙන් ද මිදේවා” (කියා යි.)
1650. වනය ඇසුරු කළා වූ යම් කිසි දෙවිකෙනෙක් වූවාහු ද, ඒ සියලු දෙවිවරු ‘දායකයාහට දේශනා කරන්නා වූ බුද්ධවචනය අසමු’ ය යි රැස්වූවාහු ය.
1651. එහි දිව්‍ය සමූහයා විසින් පිරිවරන ලදු ව වැඩහුන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දායකයා සතුටු කරමින් මේ ගාථාවන් වදාළ සේක: