11. භික්ඛදායි වර්‍ගය
101. භික්ඛාදායක ස්ථවිරාවදානය
1611. මම ස්වර්‍ණවර්‍ණ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට ගෙයක් වැනි වූ වනලැහැබින් නික්මුනා වූ තෘෂ්ණාවෙන් නික්ම නිවණට පැමිණියා වූ ප්‍රඥාවෙන් උපශාන්ත වූ සම්බුදුරජ (දිටිමි).
1612. තාදිගුණ ඇති මහාවීර වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට සැන්දක් පමණ වූ භික්‍ෂාවක් දිනිමි.
1613. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජානන් වහන්සේ පියෙන් පිය අනු ව (පසුපස්සෙන්) යන මහාජනයා (දහම්වැස්සෙන්) නිවන කල්හි මට මහත් ප්‍රීතියෙක් විය.
1614. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භික්‍ෂාදානයාගේ මේ විපාකය යි.
1615. මෙයින් සත්අසූවන කපෙහි සත්රුවනින් යුත් මහාරෙණු නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
1616. සිවුපිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භික්ඛාදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
භික්ඛාදායකස්ථවිරාවදානය පළමුවැනියි.
102. ඤාණසඤ්ඤක ස්ථවිරාවදානය
1617-1618. මම ස්වර්‍ණවර්‍ණ වූ උතුම් ආජානීයයකු මෙන් ශ්‍රේෂ්ඨ වූ ත්‍රිමදගලිතමාතඞ්ගහස්තිකුලයෙහි ඇත්රජකු වැනි මහර්ෂී වූ පුන්සඳ මෙන් සියලු දිගුන් බබුළුවන්නා වූ ලෝකජ්‍යේෂ්ඨ වූ විථීයට පිළිපන්නා වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ දිටිමි.
1619. (උන්වහන්සේගේ) නුවණෙහි සිත පහදවා ඇඳිලි බැඳ සොම්නස් වූයෙම් පහන් සිත් ඇත්තෙම් සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට අභිවාදනය කෙළෙමි.
1620. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධඥානය පැහැදි සිතින් මෙනෙහි කිරීමේ මේ විපාකය යි.
1621. මෙයින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නරශ්‍රේෂ්ඨ වූ සක්විති රජවරු සෙළොස් දෙනෙක් වූහ.
1622. සිවු පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඤාණසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ඤාණසඤ්ඤකස්ථවිරාවදානය දෙවැනියි.
103. උප්පලහත්‍ථිය ස්ථවිරාවදානය
1623. එකල්හි මම තිවරා නගරයෙහි වෙසෙන මල්කරුවෙක් වීමි. පහ වූ කෙලෙස් රජස් ඇති ලෝකනායක වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ දිටිමි.
1624. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (උන්වහන්සේට) උපුල් මල් මිටක් දිනිමි. ඒ කර්‍මයාගේ විපාකයෙන් යම් යම් භවයක උපදිම් ද,
1625. මනා වූ මල්ලයන් විසින් පිරිවරණ ලදුයෙම් පෙර තමා කළ පින් කම්හි ඉෂ්ටවිපාක අනුභව කරමි. පුෂ්පදානයාගේ මේ විපාකය යි.
1626. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1627. මෙම භවය හැර සිවුඅනූවන කපෙහි පටන් ම නජ්ජූපම නම් පන්සියයක් රජවරු වූහ.
1628. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උප්පලහත්‍ථිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
උප්පලහත්‍ථියස්ථවිරාවදානය තෙවැනියි.