106. උදකපූජක ස්ථවිරාවදානය
1639-1640. මම අහස්මගෙහි වඩින්නා වූ රන්වන් වූ ඇවිලගත් දිලිසෙන ගිනිකඳක් වැනි වූ පූජාසත්කාරයන්ට ආසන (ස්ථාන) වූ බුදුරජානන් වහන්සේට අතින් දිය ගෙන අහසෙහි උඩට දැමීමි. මහාවීර වූ කාරුණික ඍෂි වූ බුදුරජ තෙම එය පිළිගත්තේ ය.
1641. අහසෙහි වැඩ සිටියා වූ පදුමුත්තර නම් ශාස්තෘ තෙමේ මේ ගාථාව වදාළේ ය:
1642. “මේ ජලදානයෙන් ද ප්‍රීතිය ඉපදවීමෙන් ද (මෙතෙම) කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදී” (කියා යි.)
1643. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ජය - පරාජය (දෙක) හැර නිශ්චලස්ථානය (=නිවණ) ට පැමිණියෙම් වෙමි.
1644. සදහස්පන්සියවන කපෙහි සිවුමහදිවයින හා සිවු මහ සමුදුරු කෙළවර කොට ඇති පොළොවට අධිපති වූ ජනශ්‍රේෂ්ඨ වූ ඒ සහස්සරාජ නම් සක්විති රජවරු තිදෙනෙක් වූහ.
1645. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
උදකපූජකස්ථවිරාවදානය සවැනියි.
107. නළමාලිය ස්ථවිරාවදානය
1646-1647. තාදීගුණ ඇති ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ තණ ඇතිරියක වැඩහුන්නා වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ට බටමලක් ගෙන විජිනියක් බැඳ පිළිගැන් වීමි.
1648. ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ විජිනිය පිළිගෙණ මාගේ අදහස දැන මෙම ගාථාව වදාළ සේක:
1649. “යම් සේ මාගේ සිරුර නිවේ ද, පරිළාහයක් නො වේ ද, එසේ ම ඔබගේ සිත (රාග - ද්වේෂ - මෝහ - යන) ත්‍රිවිධාග්නියෙන් (නිවේවා) කෙලෙසුන්ගෙන් ද මිදේවා” (කියා යි.)
1650. වනය ඇසුරු කළා වූ යම් කිසි දෙවිකෙනෙක් වූවාහු ද, ඒ සියලු දෙවිවරු ‘දායකයාහට දේශනා කරන්නා වූ බුද්ධවචනය අසමු’ ය යි රැස්වූවාහු ය.
1651. එහි දිව්‍ය සමූහයා විසින් පිරිවරන ලදු ව වැඩහුන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දායකයා සතුටු කරමින් මේ ගාථාවන් වදාළ සේක:
1652. මේ “විජිනිදන හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධිය හේතු කොට ගෙණ ද නමින් සුබ්බත නම් වූ සක්විති රජෙක් වන්නේ ය.
1653. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ එම කර්‍මයාගේ ඉතිරි විපාකය වශයෙන් නමින් මාලුත නම් වූ සක්විති රජෙක් වන්නේ ය.
1654. මෙම විජිනිදන හේතු කොට ගෙන ද මහත් වූ සත්කාරය හේතු කොට ගෙණ ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදින්නේ ය”.
1655. තිස්දහස්වන කපෙහි ඒ සුබ්බත නමින් අටතිස් රජකෙනෙක් වූහ. එකුන්තිස්දහස්වන කපෙහි මාලුත නමින් අට රජකෙනෙක් වූහ.
1656. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නළමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
නළමාලියස්ථවිරාවදානය සත්වැනියි.
සත්වැනි බණවර නිමියේ ය.
108. ආසනූපට්ඨාපක ස්ථවිරාවදානය
1657. අල්පශබ්ද ඇති නිශ්චල වූ මහවනයට පිවිස තාදිගුණ ඇති අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේට මා විසින් සිහසුනක් පුදන ලදී.
1658. මල්මිටක් ගෙණ ඒ ශාස්තෲන් වහන්සේ පැදකුණු කොට ඇසුරු ද කොට උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
1659. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරණ ලද එම පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ ආත්මය (=නිවණ) ලබමි. සියලු භවයෝ නසන ලදහ.
1660. එක්දහසි අටසියවන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සිහසුන්දනෙහි මේ විපාකය යි.
1661. මෙයින් සත්සියවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සන්නිබ්බාපක නම් සක්විති රජෙක් වී ය.
1662. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආසනූපට්ඨාපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
ආසනූපට්ඨාපකස්ථවිරාවදානය අටවැනියි.