110. රේණුපූජක ස්ථවිරාවදානය
1672-1673. රන්වන් වූ සියක්රස් ඇති හිරු වැනි වූ ද, සියලු දිගුන් බබුළුවන පුන්සඳ වැනි වූ ද, සයුරුවලින් පිරිවැරූ පොළොව මෙන් සව්වන් විසින් පිරිවරණ ලද විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි. (දැක) නාමල් ගෙණ (එහි) රේණුවලින් විපස්සී බුදුරජානන් වහන්සේ පිදීමි.
1674. මෙයින් එක් අනූවන කපෙහි (යම් නාමල්) රොන් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1675. මෙයින් පන්සාළිස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති රෙණු නම් සක්විති රජෙක් වී ය.
1676. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රේණුපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
රේණුපූජකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
භික්ඛාදායී ඤාණසඤ්ඤදී - හත්‍ථිය පද පූජක
මුට්ඨිපුප්ඵිඋදකද - නළමාලී උපට්ඨක
බිළාලිදායී රෙණු යී - සසැටක් ගයින් බැඳියේ.
භික්ඛාදායිවර්‍ගය එකොළොස් වැනි යි.
12. මහාපරිවාර වර්‍ගය
111. මහාපරිවාර ස්ථවිරාවදානය
1677. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී නම් භාග්‍යවතුන් වහන්සේ එකල්හි අටසැටදහසක් භික්‍ෂූන් සමග බන්‍ධුම නගරයට පිවිසි සේක.
1678. නුවරින් නික්ම ද්වීප චෛත්‍යස්ථානයට ගියෙමි. (එහිදී) කෙලෙස් රජස් විරහිත ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට ගෙයක් බඳු වූ බුදුරජානන් වහන්සේ දිටිමි.
1679. අසූදහසක් අවශේෂ යක්‍ෂයෝ මා සමීපයෙහි තව්තිසාවැසි දිව්‍යසමූහයෝ ශක්‍රයාට මෙන් (මට) සකසා උවටැන් කෙරෙත්.
1680. මම එකල්හි භවනයෙන් නික්ම වස්ත්‍රයක් ද ගෙණ බුදුරජුන්ට හිස නමා වැන්දෙමි. එම වස්ත්‍රය ද දුනිමි.
1681. අහෝ! බුදුරජ තෙම ආශ්චර්‍ය්‍යය ය. ධර්‍මය ද ආශ්චර්‍ය්‍යය ය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍යය ය. බුදුරජානන් වහන්සේගේ ආනුභාවයෙන් මේ පෘථිවියද කම්පිත වී ය.
1682. ආශ්චර්‍ය්‍යය වූ ලොමු දැහැ ගන්වනා වූ එම විස්මය දැක තාදි ගුණ ඇති ද්විපදෝත්තම වූ බුදුරජුන් කෙරෙහි සිත පැහැද වීමි.
1683. ඒ මම සිත පහදවා ශාස්තෲන් වහන්සේට වස්ත්‍රය පුදා ඇමතියන් සහිත වූ පිරිවර ජනයා සමග සරණගත ද වීමි.
1684. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් පුණ්‍යකර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
1685. මෙයින් පහළොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සුවාහන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1686. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මහාපරිවාර ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
මහාපරිවාරස්ථවිරාවදානය පළමුවැනි යි.