5. සඞ්ගාරව සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි - පගෙව = පළමුවම කාමරාග පරයුට්ඨිතෙන = කාම රාගය විසින් ග්‍රහණය කරනු ලැබු කාමරාග පරෙතනෙ = කාමරාගයට අනුගත වූ නිස්සරණං කාමරාගයාගෙන් තුන් වැදෑරුම්ව නිදහස් වීම, එනම් විෂ්කම්භන නිස්සරණය (යටපත් කොට නිදහස් වීම) තදඞ්ග නිස්සරණය (තාවකාලික නිදහස් විම, සමුච්ඡෙද නිස්සරණ (කෙලෙස් සම්පූර්ණයෙන්ම වනසා දමා නිදහස් වීම) යනුයි. එහි අසුභයෙහි ප්‍රථම ධ්‍යානය විෂ්කම්භන නිස්සරණය නම් වේ. විදර්ශනාව තදංගනිස්සරණය නම් වේ. අර්හත් මාර්ගය සමුච්ඡෙද නිස්සරණ නම් වේ. (ඒ) ත්‍රිවිධ නිස්සරණය ද නොදනි යන අරුතයි. අත්තත්‍ථම්පි = යන ආදියෙහි රහත් බව නම් වූ තම අර්ථය අතතත්‍ථ (තමයහපත) නම් වේ. ප්‍රත්‍ය දායකයන්ගේ යහපත “පරත්‍ථ (පරාර්ථය) නම් වේ. එම දෙ ආකාරයම “උභයත්‍ථ” නම් වේ. මේ ක්‍රමයෙන් හැම අවස්ථාවෙහිම අර්ථය දත යුතුය.
මෙය විශේෂත්වය වෙයි. බ්‍යාපාදස්ස නිස්සරණං යන ආදියෙහි වික්ඛම්භන නිස්සරණය ද, සමුච්ඡෙද නිස්සරණය ද යන නිස්සරණ දෙක අදහස් වේ. ව්‍යාපාදය මෛත්‍රීයෙන් යුත් ප්‍රථම ධ්‍යානයෙන් විෂ්කම්භන (යටපත් කිරීම්) වශයෙන් නිස්සරණය (ඉවත්කිරීම) සිදු කෙරේ. අනාගාමී මාර්ගයෙන් එය සමුච්ඡෙද වශයෙන් (සම්පූර්ණයෙන්) නිස්සරණය කෙරේ. ථීන මිද්ධය ආලෝක සංඥාව මගින් විෂ්කම්භන වශයෙන් නිස්සරණය කෙරේ. උද්ධච්චය අර්හත් මාර්ගයෙන් ද, කුක්කුච්චය අනාගාමී මාර්ගයෙන් ද සමුච්ඡේද වශයෙන් නිස්සරණය කෙරේ. විචිකිච්ඡාව ධර්මානුගත වීමෙන් විෂ්කම්භන වශයෙන් නිස්සරණය වේ. එය ප්‍රථම මාර්ගයෙන් සමුච්ඡෙද වශයෙන් නිස්සරණය වේ.
සෙය්‍යථාපි බ්‍රාහ්මණ උදපත්තො සාංසට්ඨො ලාඛායවා ආදී උපමාවන් මෙහිදී කියන ලද්දේ ද, ඒවා අතරෙහි උදපත්තො යනු ජලයෙන් පිරුණ භාජනයයි. සංසට්ඨො = වර්ණ භෙදකාරී (කුලභේදකාරී) වශයෙන් මිශ්‍ර වූ උක්කටඨිතො = අධික ලෙස රත්කළ උස්සදකජාතො = උෂ්ණය හටගත් සෙවාල පණක පරියොනද්ධො = තල ඇට ප්‍රමාණයේ භේද ඇති නිල් පැහැතිවූ ද, කහ පැහැති වූ ද දිය සෙවෙල්වලින් ජලය මතු පිට වසාගෙන පැතුරුණ සෙවල් පැලෑටියෙන් ආවරණය වූ, වාතෙරිතො = වාතයෙන් චලනය වූ, කම්පිත වූ ආවිලො = ප්‍රසන්න නොවන ලුළිතො = නොසන්සුන් කලලීභුතො = මඩ බවට හැරුණ අන්‍ධකාරෙ නික්ඛිත්තො = ගබඩා කාමර වැනි ආලෝකය රහිත ස්ථානයෙක තබන ලද මේ සූත්‍රයෙහි දී භාග්‍යවතුන් වහන්සේ දේශනාව භවත්‍රය හා මිශ්‍ර කොට දක්වා අර්හත්වය කුළු ගැන්වීමෙන් නිමවා වදාළ සේක. බ්‍රාහ්මණ තෙමේ වනාහී (ති) සරණ මාත්‍රයෙහි පිහිටියේය.
6. අභය සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - අඤ්ඤාණය අදස්සනාය = නොදැනුවත් බව සඳහා, දැක්මක් නැතිබව සඳහා තග්ඝභගව නීවරණ = භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන්ම (ඒවා) නීවරණයෝය කාය කිලමථො = ශාරීරික විඩාව. චිත්ත කිලමථො = චෛතසික විඩාව සොපි මෙ පටිප්පස්සද්ධො = ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි සිසිල් වූ ඍතුවට ගැළපෙන, තැනකට පිවිස හුන්නාවූ ඔහුගේ කායික විඩාව සන්සිඳුණේය. එය සන්සිඳුණ කල්හි ඒ අනුවම චෛතසික විඩාවද සන්සිඳුණේය. වැලිදු මාර්ගයෙන්ම ඔහුගේ ඒ මේ (කාය චිත්ත යන පීඩාවන්) දෙකම සන්සිඳුණේ යයි දත යුතුය.
7. ආනාපාන වර්ගය
1-6. අට්ඨික ආදි සූත්‍ර වර්ණනා
සත්වැන්න ආදියෙහි - අට්ඨික සඤ්ඤා = අට්ඨිකං අට්ඨිකං යනුවෙන් (භාවනා) වඩන්නහුට උපන් සංඥාවයි. ඒ මෙය වඩන්නහුට යම්තාක්කල් නිමිත්ත නො උපදීද, ඒතාක් කල් සිවිය ද, සම (වෙත්ව) එළඹ සිටී. නිමිත්ත උපන් කල්හි වනාහි සිවිය සම ආදිය (එකට) එළඹ සිටී. සක්ගෙඩි පැහැති සුදු ඇට සැකිල්ලය යනුවෙන්ම එළඹේ, හෙවත් වැටහේ. ඇතුගේ කඳමතට නැගගත් දැහැමි තිස්ස රජුදෙස බලන සාමණේරයන්ගේ ද, ඉදිරි මඟෙහි සිනහසෙන ස්ත්‍රිය දෙස බලන තිස්ස තෙරුන්ගේ ද වැනි කථාවස්තු විශුද්ධි මාර්ගයෙහි දී විස්තර කරන ලද්දේය. සතිවා උපාදිසෙසෙති = ග්‍රහණය කර (ගැනීමෙන් පසු) ඉතිරි කොටසක් පවත්නා කල්හි
7-12. පුළවක සූත්‍ර වර්ණනා
පුළවක සඤ්ඤා = පුළවං පුළවං (පණුවෙකි, පණුවෙකි) යනුවෙන් භාවනා වඩන්නහුට උපන් සංඥාව විනීලක (ඉතා නිල්පැහැගත් මළ සිරුර) යන සංඥා ආදියෙහිද මේ පිළිවෙළම වේ. මෙහි විනිශ්චය කර ගැනීමේ කථාව වනාහී භාවනා පිළිවෙළ සමග විශුද්ධි මාර්ගයෙහි දී කියන ලදී, මෛත්‍රී ආදිය තුන්වන සතරවන ධ්‍යාන වශයෙන් දත යුතුය. උපේක්ෂාව සතරවන ධ්‍යානය වශයෙන්ම දත යුතුය.
8. නිරොධ වර්ගය
1-60. අසුභ සූත්‍ර වර්ණනා
අසුභ සඤ්ඤා = අසුභයෙහි ප්‍රථම ධ්‍යාන සංඥාව වේ. මරණ සඤ්ඤා = ඒකාන්තයෙන් මරණයට පත්විය යුතුය, මගේ ජීවිතය මරණය හා බැඳී පවතී යයි නිතර සිහි කරන තැනැත්තහුට උපන් සංඥාව ආහාරෙ පටික්කූල සඤ්ඤා = බත් පිට්ටු ආදිය ගිලිනවුන්හටම ඇතිවන පිළිකුල් සංඥාව සබ්බලොකෙ අනභිරත සඤ්ඤා = මුළු ලොවෙහිම නොඇලෙන බව උපදවන්නහුට උපදින සංඥාව. පහාණසඤ්ඤා විරාග සඤ්ඤා = මේ දෙකම භාවනාවෙහි පූර්ව භාගයට අයත් වේ. නිරෝධ සඤ්ඤා = අට්ඨික සඤ්ඤා ආදී මෙම කමටහන් විස්ස මිශ්‍රව ම දක්වන ලද්දේය. ඒවායේ නවයෙක්හි ධ්‍යානයන් වේ. එකොළොසක් ධ්‍යානයන්හි පූර්ව කෘත්‍යයන් වේ. මෙහි සෙසු විනිශ්චය කථාවන් විශුද්ධි මාර්ගයෙහි දැක්වේමය. ගංගා පෙය්‍යාල ආදිය (කෙටි කිරීම්) මාර්ග සංයුත්තයෙහි කියන ලද පිළිවෙලින්ම දතයුත්තේය.
බොජ්ඣඞ්ග සංයුත්ත වර්ණනාව නිමියේය.
3. සතිපට්ඨාන සංයුක්තය
1. අම්බපාලි වර්ගය
1. අම්බපාලි සූත්‍ර වර්ණනාව
සතිපට්ඨාන සංයුත්තයේ පළමු වැන්නෙහි - අම්බපාලිවනෙ = රූපය නිසා ජීවත් වන (වෛශ්‍යා ස්ත්‍රියක වන) අම්බපාලි නම් වූ තැනැත්තිය විසින් රෝපණය කරන ලද අඹවනයෙහි එය ඇයගේ උයන විය. ඕ තොමෝ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනය අසා ප්‍රසන්න සිත් ඇතිව එහි විහාරයක් කරවා තථාගතයන් වහන්සේට පවරා දුන්නාය. ඒ සඳහා මෙය කියන ලදී. එකායනායං = එකායනො + අ = එකායනො එහි “එකායනො” යනු එකම මාර්ගයයි. එහි “මග්ග” යන්නට