6. බොජ්ඣඞ්ග වර්ගය
1. ආහාර සූත්‍ර වර්ණනාව
සයවන වර්ගයේ පළමුවැන්නෙහි - අයමාහාරො අනුප්පන්නස්සවා සති සම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය යන මේ ආදියෙහි මෙය පෙර පිළිවෙළින් වෙනස් වේ. හුදෙක් සති සම්බොජ්ඣඞ්ගාදීන්ගේ ම කියන ලද ආකාර ඇති මේ කරුණු උත්පාදන පිණිස ද, උපන් කරුණුවල වර්ධනයෙහි සම්පූර්ණ වීම පිණිස ද හේතු නොවේ. අන් කොටස් ද මෙසේ දත යුතුය.
අන්‍ය වූ ධර්ම සතරක්ද සති සම්බොජ්ඣඞ්ගයේ උත්පාදනය පිණිස පවතී. සිහිය හා නුවණ (සති සම්පජඤ්ඤය) මුළාවූ සිහි ඇති පුද්ගලයන් දුරු කිරීම, එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් ඇසුරු කිරීම, (සති සම්බොජ්ඣඞ්ගයෙහි) තදින් ඇලී සිටීම යන මේ ධර්ම සතර වේ. අභික්කන්ත ආදී ස්ථාන සතෙහි පවත්නා සිහි නුවණින් ද, ඉවත දැමු බත් වෙත පැමිණෙන කවුඩන් වැනි මුළා වූ සිහි ඇති පුද්ගලයන් වර්ජනය කිරීමෙන් ද තිස්ස දත්ත ස්ථවිර, අභය ස්ථවිර ආදීන් වැනි එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් ඇසුරු කිරීමෙන් ද, සිහිය ඉපදවීම පිණිස නැමී යොමු වූ සිතින් ද සති සම්බොජ්ඣඞ්ගයේ භාවනාව අර්හත් මාර්ගයෙන් සම්පූර්ණ වේ.
ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයේ උත්පාදනය පිණිස ධර්මයන් සතක් පවතී. (ඒවා මෙසේය) : විමසා දැන ගන්නා බව, නියම තත්ත්වයන් පැහැදිලි කර ගැනීම, ඉන්‍ද්‍රිය ස්වභාවය සකසා ගැනීම, අඥාන පුද්ගලයන් ඈත් කිරීම, ප්‍රඥාවන්ත පුද්ගලයන් ඇසුරු කිරීම, ගැඹුරු නුවණින් සෙවිය යුතු කරුණු නුවණින් විමසා බැලීම, එය කෙරෙහි තදින් යොමු වීම යන ධර්මයන් සතය. එහි, පරිපුච්ඡකතා (විමසා දැන ගන්නා බව) යනු ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්‍ද්‍රිය ශක්ති, බෝධ්‍යඞ්ග, මාර්ගාංග, ධ්‍යාන, සමථ, විදර්ශනා යන ආදීන්ගේ අර්ථයන් ඇසුරු කොට පවත්නා විමසා දැන ගැනීමේ බහුල අවශ්‍යතාවයයි.
“වත්‍ථු විසද කිරියා” (නියම තත්ත්වයන් පැහැදිලි කර ගැනීම) යනු ආධ්‍යාත්මික හා බාහිර වස්තූන්ගේ තත්ත්වයන් පැහැදිලි කර ගැනීමයි. යම් කලෙක්හි ඔහුගේ කෙස්, නිය, ලොම් දීර්ඝ වෙයි ද, ශරීරය බොහෝ දෝෂ සහිත ද, ඩහදිය මල ආදිය තැවරුනේ ද එකල්හි ශාරීරික කොටස කිලිටි වේ. අපිරිසිදු වේ. යම් කලෙක චීවරය දිරාපත් වූයේ, කිලිටි වූයේ, දුගඳ වූයේ වෙයි ද, සෙනසුන කුණුකසලින් යුතු වේද එකල්හි බාහිර වස්තු දූෂිත වේ, අපිරිසිදු වේ ද එහෙයින් කෙස් කැපීම් ආදියෙන් ද, වමනය කරවීම් උදර විරේචනයන් යන ආදියෙන් සිරුරේ සැහැල්ලු බව ඇති කිරීමෙන් ද, ඇඟ ඉලීම්, දිය නෑම්වලින් ද ශරීරයේ කොටස් පිරිසිදු කිරීම කළ යුතුය. සිවුරු රෙදි ආදිය පිරිසිදු කිරීම්, සේදීම්, වර්ණ ගැන්වීම් (පඬු පෙවීම්) මගින්ද, (ගෙබිමෙහි ගොම හෝ) පිරිබඩ ගෑම් ආදිය මගින් ද බාහිර වස්තූන් පිරිසිදු කළ යුතුය. ශාරීරික වූ ද, බාහිර වූ ද මෙම කොටස්හි අපිරිසිදු බව ඇති වන කල්හි චිත්ත චෛතසිකයන් වෙත යොමු වන නුවණ ද අපිරිසිදු වෙයි. (කෙසේදයත්) පහන් බඳුනේ තිරයට දැමූ අපිරිසිදු තෙල්වලින් උපන් පහන් සිළුවෙහි ආලෝකය මෙනි. ශාරීරික වූ ද, බාහිර වූ ද වස්තූන් පිරිසිදු වූ කල්හි චිත්ත චෛතසිකයන් වෙත යොමුවන නුවණ ද පිරිසිදු වෙයි. (කෙසේද යත්) පහන් බඳුනේ තිරයට දැමු පිරිසිදු තෙල්වලින් උපන් පහන් සිළුවෙහි ආලෝකය මෙනි. එසේ හෙයින් මෙසේ කියන ලදී. (කෙසේදයත්) වස්තූන් පිරිසිදු කිරීම ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයේ උත්පාදනය පිණිස පවතී යනුයි.
ඉන්‍ද්‍රිය ස්වභාවය ඇති කිරීම යනු ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන්ගේ සමබව ඇති කිරීමයි. ඉදින් ඔහුගේ ශ්‍රද්ධා ඉන්‍ද්‍රියය බලවත් වේද, අනෙක් ඉන්‍ද්‍රියයන් බලයෙන් මඳවේ. එයින් වීර්යය නම් ඉන්‍ද්‍රියයට උත්සාහ කිරීමේ කාර්යය ද, සමාධි නම් ඉන්‍ද්‍රියයට චංචල නොවී සිටීමේ කාර්යය ද, පඤ්ඤා නම් ඉන්‍ද්‍රියයට දර්ශනය කිරීමේ (අවබෝධ කර ගැනීමේ) කාර්යය ද කරන්නට නො හැකි වේ. එහෙයින් එය ධර්ම ස්වභාවය ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් හෝ යම් සේ එය මෙනෙහි කිරීමෙන් බලවත් වේ ද, එසේම මෙනෙහි නො කිරීමෙන් දුබල කළ යුතුයි. මෙහිදී “වක්කලී ථෙර” වස්තුව ද නිදසුන් වේ. ඉදින් වීර්යය නම් ඉන්‍ද්‍රියය බලවත් වේද, එවිට ශ්‍රද්ධාව නම් ඉන්‍ද්‍රියය ස්ථාවර කිරීමට නොහැකි වෙයි. අනිකුත් ඉන්‍ද්‍රියයන්හි සිදුවන වෙනස් කම් ද මෙසේ වේ. එබැවින් එය සන්සුන් වීම මුල් කරගත් භාවනාවෙන් දුබල කළ යුතුය. එහිදී සෝණ ස්ථවිර කථා වස්තුව දැක්විය යුතුය. මෙසේ සෙසු තන්හි ද එක් ඉන්‍ද්‍රියයක්හුගේ බලවත් වීම ඇති කල්හි අන් ඉන්‍ද්‍රියයන් අතර තම කාර්යයන්හි අසමත් වීමක් ඇතැයි දත යුතුය.
විශේෂයෙන් මෙහිදී ශ්‍රද්ධා ප්‍රඥා භාවයන්ගේ ද, සමාධි වීර්යයන්ගේද සමභාවය වේනම් පැසසුම් ලබයි. බලවත් ශ්‍රද්ධාව ඇති තැනැත්තා වනාහී මඳ නුවණැත්තේ ද, අනුවණ ලෙස පැහැදෙන්නේ ද වෙයි, නො පැහැදිය යුතු තන්හි පැහැදෙයි. බලවත් ප්‍රඥාව ඇති තැනැත්තා වනාහී මඳ සැදැහැ ඇත්තේ කපටියකුගේ තත්ත්වය භජනය කරයි. ඖෂධයෙන්ම හටගත් රෝගයක් මෙන් පිළියම් නොකළ හැකි වෙයි. සිතුවිලි උපන් පමණකින් ම කුසලය සිදුවේයයි අතිධාවනයෙහි යෙදී දන්දීම් ආදිය නොකරන්නේ නිරයෙහි උපදී. ශ්‍රද්ධා ප්‍රඥා දෙකෙහිම සමභාවය නිසා පැහැදිය යුතු තන්හිම පැහැදෙයි. බලවත් සමාධිය වනාහි මඳ වූ වීර්යය ඇති කරයි. සමාධිගත වූවහුගේ (සිත) කුසීත පක්ෂයට පැමිණීමේ හේතුවෙන් කුසීත බව විසින් (වීර්යය) යටපත් කෙරේ. බලවත් වීර්යය මඳ වූ සමාධිය ඇති කරයි. වීර්යය හා එක් වූ සමාධිය වනාහී කුසීත භාවයෙහි වැටීමට ඉඩ නො ලබයි. සමාධිය හා එක්වූ වීර්යය උද්ධච්ච භාවයෙහි වැටීමට ඉඩ නොලබයි. එහෙයින් ඒ දෙක සම කළ යුතුයි. ඒ දෙකෙහි සමතාවයෙන් ධ්‍යානය ඇති වෙයි.
තව ද සමාධියේ බලවත් වීමේදී ශ්‍රද්ධාව පිහිටයි. මෙසේ විශ්වාස කරන, කල්පනා කරන තැනැත්තා සමාධියට පැමිණෙන්නේ ය. සමාධි ප්‍රඥා ඇති කරගත් විට වනාහී සමාධියෙහි යෙදුණ තැනැත්තහුගේ සිතේ එකඟ බව බලවත්ව පිහිටයි. මෙසේ හෙතෙම ධ්‍යානයට පැමිණේ. විදර්ශනාවෙහි යෙදුණ තැනැත්තහුගේ ප්‍රඥාව බලවත්ව පිහිටයි. මෙසේ වීමෙන් හෙතෙම යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට පැමිණෙයි. දෙකෙහිම සමතාවයෙන් සමාධිය ඇති වන්නේමය. සතිය (සිහිය) වනාහී සියලු තන්හි බලවත්ව පිහිටයි. සතිය වනාහී උද්ධච්ච බව නම් කොටසෙහි වූ ශ්‍රද්ධා, වීර්ය. ප්‍රඥා ආදිය උද්ධච්චයේ සිට සිදුවන “උද්ධච්ච පතනයෙන්” ද, කුසීත බව නම් කොටසෙහි වූ සමාධියට සිදුවිය හැකි පතනය වූ “කුසීත පතනයෙන්” ද සිහිය ආරක්ෂා කරයි. එහෙයින් එය (සතිය) සියලු ව්‍යංජනයන්හි යෙදිය හැකි ලුණු වෙසෙසක් මෙන් ද, සියලු රාජ්‍ය කටයුතුවලදී සියල්ලම කළහැකි ඇමතිවරයකු මෙන්ද සියලු තන්හිම කැමති විය යුතුය. එබැවින් මෙසේ කියන ලදී : “සිහිය වනාහී හැමටම අවශ්‍ය දෙයකැයි භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලදී. කුමක් හෙයින් (එසේ කියන ලද්දේ) ද? සිත වනාහී සිහිය (සිහිකල්පනාව) පිළිසරණ කොට ඇත්තේය. ආරක්ෂාව පිළිබඳව සිහි ඇතිව විසීම ද “සති” ය වේ. සතියෙන් තොරව සිතේ උසස් වීම හා පහත් වීම නො සිදුවේ යයි ද කියවේ” (මේ නිසා එසේ කියන ලදී)