2. බොජ්ඣඞ්ග සංයුක්තය
1. පබ්බත වර්ගය
1. හිමවන්ත සූත්‍ර වර්ණනාව
බොජ්ඣඞ්ග සංයුත්තයේ පළමු වැන්නෙහි නාගා = මොව්හු ද මහ සමුදුර මතුයෙහි රළ අතරේ වෙසෙන්නෝ ය, විමාන වාසී නාගයෝ නො වෙති. හිමවත ඇසුරුකොට ගෙන සිදු වූ ඔවුන්ගේ කාය වර්ධන ආදී සියල්ල යට කියන ලද පිළිවෙළින්ම දත යුතුය. බොජ්ඣඞ්ග = මෙහිදී බුද්ධත්වය සඳහා වූ හෝ බුද්ධත්වයට අයත් වූ හෝ අංගයන්ය යන අදහසින් බොජ්ඣඞ්ග නම් වේ. කුමක් කියන ලද්දේද යත්:- “යම් තාක් ලෞකික ලෝකෝත්තර මාර්ග ක්ෂණයෙහි උපදින්නාවූ සැඟවුණ නොසන්සුන් බව, පිහිටීම, රැස් කිරීම, කම් සුවය, අත්තකිලමථානු යෝගය, උච්ඡේද සහ ශාස්වත දෘෂ්ටි යන මේවායෙහි ඇලීම ආදී අනේක විධ උපද්‍රවයන් හට එරෙහිව පවතින සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්‍ඛා යන ධර්මයන්ගේ එක් වීම සඳහා ආර්ය ශ්‍රාවකතෙමේ අවබෝධය ලබා ගනියි” යනුවෙන් අදහස් කොට “බෝධි” යනුවෙන් කියනු ලැබේ. බුඡ්ඣති (හෙවත් අවබෝධකර ගනියි) යනුවෙන් කෙලෙස් සිතුවිලි පිළිබඳ නිද්‍රාවෙන් පිබිදෙයි හෝ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගනියි හෝ නිර්වාණයම සාක්ෂාත් කර ගනියි හෝ යනුවෙන් කියන ලද්දේ වෙයි. යම් සේ බොජ්ඣඞ්ග සත වඩා උතුම් වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කරගත් සේකැයි කීයේ ද, එසේ සිදු විය. ධර්ම සාමග්‍රී සංඛ්‍යාත වූ එම බෝධියේ අංගයන්ය යන අදහසින් බොජ්ඣඞ්ග යයි කියනු ලැබේ. ධ්‍යානාංග, මාර්ගාංග ආදිය මෙනි. කියන ලද ආකාර ඇති, මෙම ධර්ම කරුණු එකතුවෙහි අවබෝධය ඇතිකර ගනිමියි යනුවෙන් යම්කිසි ආර්ය ශ්‍රාවක කෙනෙක් එයට යම්සේ “බෝධි” යනුවෙන් කියත් ද, එම බෝධියෙහි අංගයෝ ද සේනාංග, රථාංග ආදිය මෙන් බොජ්ඣඞ්ග (බෝධි අංග) නම් වෙත්. එහෙයින් අර්ථ කථාචාරීහු මෙසේ කීහ :- අවබෝධ කර ගන්නා පුද්ගලයාගේ අංගයන් වශයෙන් ද “බොජ්ඣඞ්ග” යයි කියති.
තව ද “බොජඣඞ්ග” යයි කීමේදී කුමන අරුතකින් බොජ්ඣඞ්ග යයි කියනු ලැබේ ද යත් - අවබෝධය පිණිස පවතිත් යන අරුතින් ද, මේ අනුව අවබෝධ කරගනිත් යන අරුතින් ද, විවිධ අංශයන්ගෙන් අවබෝධ කරගනිත් යන අරුතින් ද, මනාව අවබෝධ කරගනිත් යන අරුතින් ද යන කරුණුවලින්) බොජ්ඣඞ්ග යයි කියනු ලැබේ. මේ ආදී වශයෙන් විශිෂ්ට ඥානය අනුව ද බොජ්ඣඞ්ග යන්නෙහි අරුත දත යුතුය.
සති සම්බොජ්ඣඞ්ග ආදියෙහි වනාහී ප්‍රශස්ත වූ ද, සුන්දර වූ ද බොජ්ඣඞ්ගය යන අදහසින් සම්බොජ්ඣඞ්ග යයි කියනු ලැබේ. “සති” (හෙවත්) සිහියම සම්බොජ්ඣඞ්ග වේය යනුවෙන් “සති සම්බොජ්ඣඞ්ග” යයි කියනු ලැබේ. එය සති සම්බොජ්ඣඞ්ග යයි. සියලු තන්හිදීම අර්ථය මෙසේ දත යුතු වේ. භාවෙති = වඩයි. (වර්ධනය කරයි) තමාගේ චිත්ත සන්තානයෙහි නැවත නැවත උපදවයි. වඩ වඩාත් උපදවයි, යන අර්ථය වේ. විවෙක නිස්සිතං = යන ආදිය කෝසල සංයුත්තයෙහි “විවේකය ආශ්‍රිතවූ සම්මා දිට්ඨිය වඩයි” යන මෙහි (සම්මා දිට්ඨිං භාවෙති විවෙක නිස්සිතං) කියන ලද පිළිවෙල අනුවම දත යුතු වේ.
මෙය විශේෂයකි, එහි තාවකාලික විවේකයට ආශ්‍රිත වූයේය, සම්පූර්ණයෙන් නැති කරනු ලබන විවේකයට ආශ්‍රිත වූයේය. අත්හැර යාම පිළිබඳ විවේකයට ආශ්‍රිත වූයේය යනුවෙන් විවේකයන් තුනක්ම කියන ලදී. බොජ්ඣඞ්ග වැඩීමට පැමිණ ඇතැමෙක් පඤ්චවිධ විවේකයක් පිළිබඳව ද වර්ණනා කරත්. ඔහු වනාහී හුදෙක් බලවත් වූ විදර්ශනා මාර්ග ඵල ලක්ෂණයන්හිම පමණක් බොජ්ඣඞ්ගයන් ඇතැයි මතුකර නොදක්වත්. විදර්ශනා පාදක කොටගත් කසිණ ධ්‍යාන ආනාපාන යහපත් බ්‍රහ්ම විහාර ධ්‍යානයන්හිද බොජ්ඣඞ්ගයන් පිහිටන බව මතු කර දක්වත්. අටුවාචාර්යවරුන් විසින් මෙම අදහස ප්‍රතික්ෂේප කරන ලද්දේ ද නොවේ. එසේ හෙයින් ඔවුන්ගේ අදහස් අනුව, මෙම ඥානයන් පැවතුණ ක්ෂණයෙහි වූ ක්‍රියාවන්ගෙන් මෙසේ යටපත් කිරීම් සංඛ්‍යාත විවේකය ආශ්‍රිත දැනුම ඇති වූයේ යයිද, එසේම විදර්ශනා ක්ෂණයෙහි වූ අදහසින් සසරින් එතරවීම් සංඛ්‍යාත විවේකය ආශ්‍රිත දැනුම ඇතිවූයේ යයිද කියන ලදී. මෙසේ සන්සිඳීම් සංඛ්‍යාත විවේකයේ ඇසුර වඩන්නේ යයි කිවයුතු වේ. සෙස්ස මෙහි යට කියන ලද පිළිවෙළින්ම වේ.
2. කාය සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - ආහාරට්ඨිතිකො = (ආහාර ආදී) ප්‍රත්‍යයන් අනුව පවත්නා වූ ආහාරං පටිච්ච = ප්‍රත්‍යය නිසා සුභ නිමිත්තං = යහපත් දෙය ද සුබ නිමිත්තකි. අයොනිසො මනසිකාරො = වැරදි ලෙස මෙනෙහි කිරීමයි. වැරදි මඟට යොමු වූ මෙනෙහි කිරීම යි, අනිත්‍යයෙහි නිත්‍යයයි යනුවෙන් හෝ දුකෙහි සැපයයි යනුවෙන් හෝ අනාත්මයෙහි ආත්මයයි යනුවෙන් හෝ අසුභයෙහි සුභයයි යනුවෙන් හෝ මෙනෙහි කිරීමයි. එම සුභ ආරම්මණයෙහි එය බහුලව පවත්වන්නහුට කාමච්ඡන්දය උපදියි. ඒ නිසා “(අත්‍ථි භික්ඛවෙ සුභ නිමිත්තං) මහණෙනි, සුබ නිමිත්තක් ඇත” යන ආදිය කියන ලදී. මෙසේ සියළු තන්හි නීවරණයන්හි (ක්ලේශයන්හි, බාධකයන්හි) යෙදීම දත යුත්තේය.
පටිඝ නිමිත්තං = යන ආදියෙහි වූ කලී “පටිඝ” යනු ක්‍රෝධයට නිමිත්තයි ක්‍රෝධයට අරමුණ යයි ද කිව හැක. අරති = කලකිරුණු බව යමක් සඳහා මෙය කියන ලද්දේ ද- එහි “අරති” නම් කුමක් ද? ඈත පිහිටි සෙනසුන්හි හෝ යම් යම් උසස් කුසල් දහම්හි නො ඇලීම, අකැමති වීම, ආශා නො ඉපද වීම, සතුටු නොවීම, උකටලී වීම, බියෙන් මෙන් ඉවත් වීම යන මේ කරුණුවලින් යුක්ත වීම “අරති” යයි කියනු ලැබේ.