නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
සංයුත්ත නිකාය
සගාථා වර්ගය අටුවාව
ග්‍රන්ථ ආරම්භ කථා
කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති, ප්‍රඥාව නමැති පහනින් දුරු කරන ලද මොහඳුර ඇති, දෙව් මිනිසුන් සහිත ලෝකයා අභිවාදනය කරන, සසර ගමනින් මිදුණු සුගත වූ බුදු රජාණන් වහන්සේ නමදිමි.
බුදු රජාණන් වහන්සේ ද බුදු බව වඩා සාක්ෂාත් ද කොට යම් දහමකට එළඹි සේක් ද, ඒ බැහැර වූ (කෙළෙස්) මළ ඇති අනුත්තර වූ ධර්මය නමදිමි.
බුදු රජාණන් වහන්සේ ඖරස පුත්‍ර වූ, මරසෙන් බිඳ දමන්නා වූ, (සෝවාන් ආදී) අට දෙනගේ සමූහය වූ, ආර්ය සංඝයා සිරසින් නමදිමි.
මෙසේ පැහැදුණු සිත් ඇති මාගේ තුණුරුවන් වැඳීමෙන් හටගත් යම් පිනක් වේ ද, එහි ආනුභාවයෙන් මැනවින් නසන ලද අනතුරු ඇත්තේ වී,
බුද්ධානුබුද්ධ (පරම්පරාව) විසින් මැනවින් වර්ණනා කරන ලද, ඥාන ප්‍රභේදයන් ජනනය කරන සංයුක්ත වර්ගවලින් ප්‍රතිමණ්ඩිත වූ උතුම් සංයුක්ත ආගමයෙහි,
අර්ථය ප්‍රකාශ කරනු පිණිස මුල දී පන්සියයක් රහතන් වහන්සේලා විසින් සංගායනා කරන ලදු ව පසුවත් අනුසංගායනා කරන ලද යම් අට්ඨ කථාවක් වේ ද එය,
ඉක්බිති ව, මිහිඳු මහරහතන් වහන්සේ විසින් සීහල දීපයට ගෙනෙන ලදී. (සිංහල) දීප වාසීන්ගේ ප්‍රයෝජනය පිණිස (එය) සිංහල භාෂාවෙන් තබන ලදී.
මම එයින් සිහළ බස ඉවත් කොට, පෙළ න්‍යායට අනුකූල වූ පහ වූ දොස් ඇති මනරම් බසට නංවන්නෙම්,
ථේරීය වංශයට පහන් (බඳු) වූ විනිශ්චයෙහි මැනවින් නිපුණ වූ මහා විහාරවාසී තෙරවරුන්ගේ දහම නො ඉක්මවමින්, සුදනන්ගේ සතුට පිණිස ද ධර්මයේ චිරස්ථිතිය පිණිස ද යළි යළිත් පැමිණි අරුත් (පුනරුක්ති) හැර අර්ථ ප්‍රකාශ කරන්නෙමි.
(එසේ) අර්ථ ප්‍රකාශ කරන මා විසින් ශ්‍රාවස්තිය පටන් කොට ඇති නගර පිළිබඳ ව (හා) සංගීති ද්වය පිළිබඳ ව යම් වර්ණනාවක් මීට ප්‍රථම කරන ලද ද, (කථා) වස්තු පිළිබඳ වත් යමක් විස්තර වශයෙන් කියන ලද ද, ඒවා ගැන මෙහි දී වැඩිමනත් විස්තර කථා නො කරන්නෙමි.
සූත්‍රයන්ගේ යම් අර්ථයක් (කථා) වස්තුවලින් තොර ව පැහැදිලි නො වේ ද, ඒවා පැහැදිලි කිරීම පිණිස (කථා) වස්තුව ද දක්වන්නෙමි.
ශීල කථා, ධුත ධර්ම, සියලු කර්මස්ථාන, චර්යා විධාන සහිත ධ්‍යාන සම්පත්ති විස්තර ද, සියලු අභිඤ්ඤා ද, ප්‍රඥා සංකලන විනිශ්චය ද, ස්කන්ධ, ධාතු, ආයතන, චතුරාර්ය සත්‍ය ද, සුපිරිසිදු න්‍යාය ඇති ප්‍රත්‍යාකාර දේශනා, නො බිඳුණු පෙළ මග ඇති විපස්සනා භාවනා යන මේ සියල්ල යම් හෙයකින් මා විසින් සුපිරිසිදු ලෙස විශුද්ධි මාර්ගයෙහි කියන ලද ද, එබැවින් ඊට වැඩි යමක් මෙහි දී නො විමසන්නෙමි.
ඒ විශුද්ධි මාර්ගය (දීඝ ආදී) සතර ආගමයන් මධ්‍යයේ සිට කියන ලද අර්ථය යම් ලෙසකට ප්‍රකාශ කරන්නේ ද, එලෙස ම කරන ලදී. එබැවින් එය ද ගෙන මේ අට්ඨ කථාව සමගින් සංයුක්ත (නිකාය) ආශ්‍රිත වූ අර්ථය දැන ගනු මැනවි.
1. දෙවතා සංයුත්තය
1. නළ වර්ගය
1. ඔඝතරණ සූත්‍ර වර්ණනාව
එහි සංයුක්තාගමය : සගාථක වග්ග, නිදාන වග්ග, ඛන්ධක වග්ග, සළායතන වග්ග, මහා වග්ග යි වග්ග පහක් වේ. සූත්‍ර වශයෙන් -
“සත්ත සුත්තසහස්සානි සත්ත සුත්තසතානි ච
ද්වාසට්ඨි චෙව සුත්තානි එසො සංයුත්තසඞ්ගහො”
ද්වාසට්ඨි චෙව සුත්තානි එසො සංයුත්තසඞ්ගහො”
(මෙම සංයුක්ත සංග්‍රහය සූත්‍ර සත්දහස් සත් සිය හැට දෙකකින් යුක්ත වන්නේ ය.)
බණවර වශයෙන් : බණවර සියයක් වේ. එහි වග්ග අතර සගාථක වග්ගය මුලින් කියන ලදී. සූත්‍රයන් අතර ඔඝතරණ සූත්‍රය යි. එහිදු ‘එවං මෙ සුතං’ යන්න මුලට ගෙන ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් ප්‍රථම සංගීති කාලයෙහි පවසන ලද මුල් නිදාන කථාව යි. එම ප්‍රථම සංගීතිය සුමංගල විලාසිනී දීඝ නිකාය අට්ඨ කථාවෙහි මුල දී විස්තර කරන ලදී. එය, එහි විස්තර කරන ලද ආකාරයෙන් ම දත යුත්තේ ය.
යම් මේ ‘එවං මෙ සුතං’ යන්න මුල් කොට වූ නිදානයක් (වේ ද ?) එහි ‘එවං’ යනු නිපාත පදයකි. ‘මෙ’ ආදිය නාම පද යි. ‘සාවත්‍ථියං විහරති’ යන මෙහි ‘වි’ උපසර්ග පදයකි. ‘හරති’ යනු ආඛ්‍යාත පදයකි. මේ ක්‍රමයෙන් පද විභාගය දත යුතු ය.
අර්ථ වශයෙන් වූ කලී, ‘එවං’ ශබ්දය උපමා - උපදේශ - සම්ප්‍රහර්ෂණ (සතුට ප්‍රකාශ කිරිම) - ගැරහීම - වචන පිළිගැනීම - ආකාරය - නිදර්ශනය - අවධාරණය කිරීම ආදී විවිධ අර්ථ ප්‍රභේද ඇත්තේ ය. එසේ මැ යි. එය, ‘එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං’ (මෙසේ උපන් මිනිසා විසින් බොහෝ කුසල් කළ යුතු ය) යන මේ ආදියෙහි උපමාවෙහි පැමිණියේ ය. ‘එවන්තෙ අභික්කමිතබ්බං එවං පටික්කමිතබ්බං’ (මෙසේ ඔබ විසින් ඉදිරියට යා යුතු ය. මෙසේ ආපසු පැමිණිය යුතු ය) යනාදියෙහි උපදේශයෙහි ය. “එවමෙතං භගවා එවමෙතං සුගත” (භාග්‍යවතුනි, එය එසේ ය. සුගතයාණෙනි, එය එසේ ය) යන තැන්වල සතුට ප්‍රකාශ කිරීමෙහි ය. ‘එවමෙවං පනායං වසලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණකස්ස වණ්ණං භාසති’ (මෙසේ මේ සැඬොලිය සෑම තැනක ම ඒ මුඩු මහණහුගේ ගුණය වර්ණනා කරයි) ආදියෙහි ගැරහීමෙහි ය. ‘එවං භන්තෙති ඛො තෙ භික්‍ඛූ භගවතො පච්චස්සොසුං’ (එසේ ය ස්වාමීනි යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ) ආදී තැන්වල වචන පිළිගැනීමෙහි ය. ‘එවං ව්‍යාඛො අහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමි” (ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දේශනා කරන ලද ධර්මය මම දනිමි) යනාදියෙහි ආකාරයෙහි ය. ‘එහි ත්‍වං මාණව යෙන සමණො ආනන්‍දො තෙනුපසංකම, උපසංකමිත්‍වා මම වචනෙන සමණං ආනන්‍දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ සුභො මාණවො තොදෙය්‍යපුත්තො භවන්තං ආනන්‍දං අප්පාබාධං -පෙ- ඵාසුවිහාරං පුච්ඡතීති, එවං ච වදෙහි: සාධු කිර භවං ආනන්‍දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්‍යපුත්තස්ස නිවෙසනං තෙනුපසංකමතු අනුකම්පං උපාදායාති’ (මාණවකය, එනු මැනවි. ඔබ ආනන්ද ශ්‍රමණයන් වහන්සේ යම් තැනක ද, එතැනට යන්න. ගොස් මගේ වචනයෙන් (මා කියන ලෙසට) රෝග නොමැති බව (නීරෝගී බව), සිරුරේ සැහැල්ලු බව, ශක්තිය, සුව පහසුව ගැන ආනන්ද ශ්‍රමණයන් වහන්සේගෙන් විමසන්න. තෝදෙය්‍ය පුත්‍ර ශුභ මානවක තෙමේ අල්පාබාධ බව, නීරෝගී බව, සුව පහසුව ගැන භවත් ආනන්ද ස්ථවිරයන්ගෙන් විමසන්නේ ය. මෙසේ ද කියනු. භවත් ආනන්දයන් වහන්ස, තෝදෙය්‍ය පුත්‍ර ශුභ මානවකයාගේ නිවස්න යම් තැනක ද, අනුකම්පා උපදවා එතැනට වඩිනු මැනවි) යනාදී තැන්වල නිදර්ශනයෙහි ය. ‘තං කිං මඤ්ඤථ කාලාමා ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති? අකුසලා භන්තෙ, සාවජ්ජා වා අනවජ්ජා වාති? සාවජ්ජා භන්තෙ, විඤ්ඤෑගරහිතා වා විඤ්ඤැප්පසත්‍ථා වාති? විඤ්ඤෑගරහිතා භන්තෙ, සමත්තා සමාදින්නා අහිතාය දුක්‍ඛාය සංවත්තන්ති නො වා කථං වො එත්‍ථ හොතීති? සමත්තා භන්තෙ සමාදින්නා අහිතාය දුක්‍ඛාය සංවත්තන්ති එවං නො එත්‍ථ හොති’ (කාලාමයෙනි, කුමක් සිතහු ද? මේ ධර්මයෝ කුසල් ද අකුසල් ද? ස්වාමීනි, අකුසල ය. සාවද්‍ය ද? අනවද්‍ය ද? ස්වාමීනි, සාවද්‍ය ය. නුවණැත්තන් විසින් ගර්හා කරන ලද ද? (නැතහොත්) නුවණැත්තන් විසින් පසස්නා ලද ද? ස්වාමීනි, නුවණැත්තන් විසින් ගරහන ලද ය. සම්පූර්ණ කරන ලද්දේ, සමාදන් වන ලද්දේ අහිත පිණිස, දුක් පිණිස පවතියි ද? නැද්ද? එය ඔබලාට කෙසේ වේ ද? ස්වාමීනි, සම්පූර්ණ කරන ලද්දේ සමාදන් වන ලද්දේ අහිත පිණිස, දුක් පිණිස පවතියි. අපට එසේ වේ) ආදියෙහි අවධාරණයෙහි ය. එය (‘එවං’ යන්න) මෙහි ආකාර, නිදර්ශන, අවධාරණ අරුත්හි දැකිය යුතු ය.