මහා වර්ගය - අටුවාව
1. මග්ග සංයුත්තය
1. අවිජ්ජා වර්ගය
1-2. අවිජ්ජා ආදි සූත්‍ර වර්ණනා
මහාවර්ගයේ පළමු වැන්නෙහි - පුබ්බඞ්ගමා = සහජාත (හෙවත් උපත සමග) වශයෙන් ද, උපනිශ්‍රය (හෙවත් මුලික හේතුව) වශයෙන් ද යන ආකාර දෙකින් මූලික වන්නාවූ. සමාපත්තියා = සම වැදීම පිණිස සත්‍යය ප්‍රතිලාභය කර ගැනීම සඳහා ආරම්භය පිණිස යන අදහසයි. අන්‍වදෙව අහිරිකං අනොත්තප්පං = වැරදි කිරීමට ලැජ්ජා නැත යන ආකාරයේ තත්ත්වයක සිටියේ නම් “අහිරික” යී ද. වැරදි කිරීමට බිය නැත යන ආකාරයේ තත්ත්වයක සිටියේ නම් “අනොත්තප්ප” යී ද යෙදේ. මේවායින් තොර නොවී පවට ලැජ්ජාභය නොඋපදී යන අදහසයි. අවිජ්ජාගතස්ස අවිද්‍යාවට පැමුණුන. අවිද්‍යාවෙන් යුක්ත. මිච්ඡාදිට්ඨි අසත්‍ය වූ දෘෂ්ටිය, යහපත කරා නොපමුණුවන දෘෂ්ටිය. පහොති = හට ගනියි, උපදියි. මිථ්‍යා සංකල්ප ආදියෙහිදී ද අසත්‍ය වූ සහ යහපත කරා නොපමුණුවන්නා වූ යන වශයෙන් මිථ්‍යා ස්වභාවය දත යුතුය. මෙසේ මේ අකුසල ධර්ම අටට පැමිණීම මිථ්‍යා ස්වභාවයේ අංගයක් නම් වේ. ඒ සියල්ල වනාහි එක් ක්ෂණයකදීම නොලැබේ. වෙන වෙන අවස්ථාවන්හිදී ලැබේ.
කෙසේද යත් යම් කලෙක වනාහී දෘෂ්ටිය හා යෙදුණ සිත කයෙන් කරන ඇඟවීම් ඉපදවීම, ක්‍රියාවට නැංවීම සිදු කරයි ද, එකල්හි මිථ්‍යාදෘෂ්ටි. මිථ්‍යා සංකල්ප මිථ්‍යා ව්‍යායාම, මිථ්‍යා සති, මිථ්‍යා සමාධි, මිථ්‍යා කර්මාන්ත යන අංග සය උපදී. යම් කලෙක සිත දෘෂ්ටිය හා එකට නො යෙදුණේ ද, එකල්හි මිථ්‍යාදෘෂ්ටි වැරදි පස උපදී. යම් කලෙක ඒ අංග දෙකම වචනයෙන් කරන ඇඟවීම් ඉපදවීම, ක්‍රියාවට නැංවීම සිදු කරයිද එකල්හි මිථ්‍යා කර්මාන්ත ඇති තැන්හි ද මිථ්‍යා වචනයෙහි පිහිටියාවූ ම හයක් හෝ පහක් වූ මෙම ආජීවය කැළඹීමට පත්වනුයේ කායවාග් ද්වාරයන්හිම එක්තරා ස්ථානයකදී කැළඹීමට පත් වේ. මනෝ ද්වාරයෙහිදී එසේ නොවේ. එහෙයින් යම් කලෙක සජීවි හිසකින් ඒ සිතුවිලිම කායවාක් විඥප්තීන් (ඇඟවීම්) උපදවයි ද එකල්හි කාය කර්මය මිථ්‍යා ආජීව නම් වෙයි. එකල්හි වචී කර්මය යනු මිථ්‍යා ආජීවය වශයෙන් ඒ හය හෝ පහ යම් කලෙක්හි ඇඟවීම් නො උපදවා හෝ ඒ සිතුම් උපදවයිද. එකල්හි මිථ්‍යාදෘෂ්ටි, මිථ්‍යා සංකල්ප, මිථ්‍යා ව්‍යායාම, මිථ්‍යා ස්මෘති, මිථ්‍යා සමාධි වශයෙන් පහක් හෝ මිථ්‍යා සංකල්පය මුල්කොට ගෙන සතරක් හෝ වන්නේය. මෙසේ එකම මොහොතක සියල්ල ලැබෙන්නේ නො වේ. වෙනස් වෙනස් අවස්ථාවන්හිදී ලැබේයයි දත යුතුය.
පුර පක්ෂයෙහි - විජ්ජා = කර්මය හිමිකොට ගෙන ඇති නුවණ. මෙහිද උත්පත්තිය සමග වශයෙන් හෝ හේතු සාධක වශයෙන් හෝ යන දෙආකාරයෙන් ම පෙරටුව යන ස්වභාවයක් ඇත්තේ යයි දත යුතුය. හිරොත්තප්පං = ලජ්ජාව ද බිය ද (යන කරුණු දෙක) එහි ලජ්ජාවන ස්වභාවය සහිත වූයේ “හිරි” යනු ද, බියවන ස්වභාවය සහිත වූයේ “ඔත්තප්ප” යනු ද වේ. මෙය මෙහි කෙටි හැඳින්වීම යි. විස්තරය වනාහී විසුද්ධි මග්ගයෙහි කියන ලද්දේමය.
විජ්ජාගතස්ස = විද්‍යාඥානයට පැමිණි තැනැත්තාගේ, විද්‍යාඥානයෙන් යුක්ත වූ තැනැත්තාගේ විද්දසුනො = නුවණැති පඬිවරයාගේ සම්මාදිට්ඨි තත්වු පරිදි දකින දෘෂ්ටිය නෛර්යාණික දෘෂ්ටිය සම්මා කම්මන්ත ආදියෙහි ද මේ පිළිවෙළම වේ. මෙසේ කුශල ධර්මයට පැමිණීමෙන් මේ අංග අට ඇති වේ. ඒ අටම ලෞකික මාර්ග ක්ෂණයේදී එකවර නො ලැබේ. ලෝකෝත්තර මාර්ගක්ෂණයේදී එය ලැබේ. ඒවා වනාහී ප්‍රථමධ්‍යානික මාර්ගයෙහි ද, ද්විතීය ධ්‍යානයට අයත් මාර්ග ආදියෙහි ද සම්‍යක් සංකල්පය හැර සතක්ම වන්නේය.
එහිදී යමකු මෙසේ කියයි ද? කෙසේදයත් : යම් හෙයකින් මජ්ඣිම නිකායෙහි මහා සළායතන සූත්‍රයෙහි “සත්‍ය ලෙස පවත්නා යම් දෘෂ්ටියක් වේද එය සම්මා දිට්ඨි නම් වේ. සත්‍ය ලෙස පවත්නා යම් සංකල්පයක් වේද එය සම්මා සඞ්කප්ප නම් වේ, සත්‍ය ලෙස පවත්නා යම් ස්මෘතියක් වේද එය සම්මා සති නම් වේ. සත්‍ය ලෙස පවත්නා යම් සමාධියක් වේද එය සම්මා සමාධි නම් වේ. ඒ අනුව කාය කර්මය ද, වචී කර්මයද, ආජීවය ද කලින්ම සුපිරිසිදු වේයයි කියන ලදී. එහෙයින් අංග පසකින් යුත් ලෝකෝත්තර මාර්ගයක් පවතී. ඒ සූත්‍රයෙහි ම “මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනා සම්පූර්ණ වීම දක්වා ම ගමන් කෙරේ” යයි කිව යුතු වේ. යම් බඳු වූ මෙම කරුණු මෙයට පෙර ද සිදු වූයේය යන්න කුමක් හෙයින් නොදක්නෙහිදැයි කියන ලදී. එම කරුණ පැවිදි වූ දිනයෙහි පටන් පවත්නා පිරිසිදු බව දැක්වීම පිණිස පවතී. පැවිදි වූ දිනයෙහි පටන් පිරිසිදු කාය කර්ම ආදිය ලෝකෝත්තර මාර්ගක්ෂණයේදී අතිශයින් පිරිසිදු වේය යන මෙය මෙහි අර්ථය යයි දක්වන ලද්දේය. “එකල්හි වනාහී අංග පසකින් යුත් මාර්ගයක් වේ” යයි යන
යමක් අභිධර්මයෙහි කියන ලද්දේද, එම කාර්යය දැක්වීම පිණිස එය කියන ලදී. යම් කිසි කලෙක්හි මිච්ඡා කම්මන්තය අත්හැර සම්මා කම්මන්තය පිළිපදීද, ඒ කල්හි මිච්ඡා වාචා හෝ මිච්ඡා ආජීවය හෝ සිදු නොවේ. දිට්ඨිය. සඞ්කප්පය, ව්‍යායාමය, සතිය, සමාධිය යන මේ කාරක අංග පසෙහි සම්මා කම්මන්තය පිළිපදිනුයේ නම් වෙයි. සම්මා වාචා, සම්මා ආජීව යන අංගයන්හිද මේ පිළිවෙළම වේ. මෙසේ මේ කාර්යය දක්වනු පිණිස මෙසේ කියන ලදී. ලෞකික මාර්ග ක්ෂණයෙහි ද (මේ අංග) පහම වෙයි. නො ඇලීම වනාහී නියත නොවේ. එහෙයින් අංග සයකින් යුක්තයයි නො කියා අංග පසකින් යුක්ත වන්නේම යයි කියන ලදී. “මහණෙනි, (උත්තම හෙවත්) ආර්ය චිත්තයෙන් යුක්ත වූ, ක්ලේශ රහිත චිත්තයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගයෙහි යෙදුණා වූ, ආර්ය මාර්ගය වඩන්නා වූ තැනැත්තහුගේ යම්තාක් තෙවැදෑරුම් කාය දුශ්චරිතයන්ගෙන් ඈත් වීමක් වැළකීමක් ඉවත් වීමක්, වෙන්වීමක්, එම දුසිරිත්හි නොයෙදීමක්, ඒවා නොකර සිටීමක් යන යමක් වේද මහණෙනි, මෙම සම්‍යක් කර්මාන්තය ආර්ය වූ, ක්ලේශ රහිතවූ ලෝකෝත්තර මාර්ගයයි. මෙසේ වනාහී මහා චත්තාළීසක සූත්‍රය ආදී අනේකවූ සූත්‍රයන්හි (දැක්වෙන පරිදි) සම්‍යක් කර්මාන්ත ආදී වූ ලෝකෝත්තර මාර්ගයේ අංග වශයෙන් අංග අටක්වන ලෝකෝත්තර මාර්ගය වේයයි දත යුතුය. මේ සූත්‍රයෙහිදී මෙම අෂ්ටාංගික මාර්ගය ලෞකික ලෝකෝත්තර වශයෙන් මිශ්‍රව කියන ලදී. දෙවැන්න කෝසල සංයුත්තයෙහි කියන ලද්දේමය.
3. සාරිපුත්ත සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි - සකල මිදං භන්තෙ = අනඳ තෙරණුවෝ තමන් ශ්‍රාවක පාරමී ඥානයේ කෙළවරට නො පැමිණි බැවින් සම්පූර්ණ මාර්ග බ්‍රහ්මචර්යාව කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබේයයි නො දත්හ. ධර්මසේනාපති (ශාරිපුත්‍ර) තෙරණුවෝ වූ කලී ශ්‍රාවක පාරමී ඥානයේ සම්පූර්ණත්වයේ සිටි බැවින් එය දැනගෙන සිටියහ. එහෙයින් මෙසේ කීහ. ඒ නිසාම ඒ තෙරුන් හට “සාධු සාධු” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ සාධුකාර දුන්හ.