4. මෙත්ත සූත්ර වර්ණනාව
සිවුවැන්නෙහි - මෙත්තා සහගතෙන චෙතසා යන ආදී සියල්ල සියලු ආකාරයෙන්ම විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දේමය. මයම්පි ඛො ආවුසො සාවකානං එවං ධම්මං දෙසෙම මෙය ද ඔව්හු පෙර පිළිවෙළින් ම ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනය අසා ප්රකාශ කරත්. තීර්ථකයන්ගේ සමයෙහි වනාහී පඤ්චනීවරණයන් ප්රහාණය කිරීමක් හෝ මෛත්රී ආදී බ්රහ්ම විහරණ වැඩීමක් හෝ නොමැත්තේය. කිංගතිකා හොති = කවර නම් සමෘද්ධ වීමක් සිදුවේද? කිම්පරමා = කුමක් උතුම් වේද? කිම්ඵලා = කුමන ආනිසංසයක් වේද? කිම්පරියොසානා = කවර නම් අවසානයක් වේද? මෙත්තා සහගතං = මෛත්රීයෙන් යුක්ත වූයේ, සම්බන්ධවූයේ, එක්ව යෙදුණේ වෙයි. සියලු තන්හි මේ පිළිවෙළ වේ. “විවේකනිස්සිත” (විවේකය ආශ්රිතවූ) ආදිය සඳහා අරුත් කියන ලද්දේය.
අප්පටිකූලං = සත්ත්වයන් පිළිබඳ පිළිකුල් නොවීම, සංස්කාරයන් පිළිබඳ පිළිකුල් නොවීම යනුවෙන් පිළිකුල් නොවීම යන්න දෙවැදෑරුම් වේ. එහිදී, පිළිකුල් නොවූ, සිතට ප්රිය උපදවන වස්තූන් කෙරෙහි යන අර්ථයයි. පටික්කූල සඤ්ඤී = අනිෂ්ට සංඥා ඇති මේ තැනැත්තා අසුභ සංඥා පතුරවමින් හෝ අනිත්යය මෙනෙහි කරමින් හෝ කෙසේ නම් මෙසේ වාසය කරන්නේද? පටිසම්භිදායෙහි මෙසේ කියන ලදී. “පිළිකුල් නොවන දෙයෙහි කෙසේනම් ප්රතිකූල සංඥා ඇතිව වාසය කරයිද? සිතට ප්රිය දෙයෙහි අසුභ සංඥාව කෙසේ පතුරවයි ද? අනිත්ය වශයෙන් කෙසේනම් සලකා බලයිද?” යනුයි. පිළිකුල් වන දෙයෙහි (පිළිකුල් නොවී කෙසේ වාසය කෙරේද යත්) පියකරු නොවන වස්තූන් කෙරෙහි මෛත්රීය පැතිරවීම හෝ (පඨවි ආදී) ධාතුන් වශයෙන් මෙනෙහි කිරීම හෝ කරමින් (අප්පටිකූල සඤ්ඤාදී) පිළිකුල් නොකරන සංඥාව ඇතිව වාසය කරන්නේ නම් වේ. මෙසේද කීය. “පිළිකුල් වන දෙයෙහි පිළිකුල් නොවන සංඥා ඇතිව කෙසේ වාසය කරයිද? පියකරු නොවන වස්තුවෙහි මෛත්රීයෙන් අදහස් පතුරවයි. (පඨවි ආදි) ධාතූන් වශයෙන් සලකා බලයි” යනුවෙනි. ඒ දෙකම මිශ්ර වූ පදයන්හිදී ද මෙම පිළිවෙළම වේ. පිළිකුල් නොවන දෙය පිළිකුල් වන කල්හි එය අසුබය යන පැතිරවීම හෝ අනිත්යයයි මෙනෙහි කිරීම හෝ කරමින් පිළිකුල් සංඥාව ඇත්තේ වාසය කරයි. පිළිකුල් වන දෙය පිළිකුල් නොවන කල්හි එසේම මෛත්රීය පැතිරවීම හෝ ධාතූන් මෙනෙහි කිරීම හෝ කරමින් පිළිකුල් නොවේ යන සංඥා ඇත්තේ වාසය කරන්නේ නම් වෙයි. ඇසින් රූප දැක සිත ප්රසන්න නොවේයයි යන ආදී පිළිවෙළින් කියන ලද අංග සයකින් යුත් උපේක්ෂාව පවත්වමින් පිළිකුළ හෝ අපිළිකුළ යන දෙකම බැහැර කොට සිහි ඇතිව මනා දැනුම ඇතිව එහි උපේක්ෂා සහගතව වාසය කෙරේයයි දත යුතුය.
මෙපමණකින් මෛත්රීයෙන් ධ්යාන තුනක් සතරක් උපදවා එයම පාදක කොට විදර්ශනා වඩා රහත් බවට පැමිණි මේ භික්ෂුවට විදර්ශනාව සමග මාර්ග බෝධ්යංගයන්ගේ ආර්ය සෘද්ධිය ද දක්වන ලද බැවින් දේශනාව විග්රහ කළයුතු වන්නේ ය. මෙම මෛත්රී ධ්යානය පාදක කොට සංස්කාරයන් විමසා බලන්නාවූ යමෙක් (වේද, හේ) රහත් බවට පැමිණීමට නො හැක්කේ වෙයි. එසේ වනුයේ ඔහුට යම් හෙයකින් පරම මෛත්රිය නොවේද. එහෙයිනි. යමක් උතුම් වේද, එය දැක්විය යුතුය. එහෙයින් එය දැක්වීම පිණිස මේ දේශනාව අරඹන ලදී. ඉන් පසුව ද සබ්බසො වා පන රූප සඤ්ඤානං සමතික්කමා (හැම අයුරින්ම රූප සංඥාවන් ඉක්මවා යාම) යන ආදියෙහි ද මේ පිළිවෙළින්ම නැවත දේශනාවගේ ආරම්භය දත යුතුය.
සුභ පරිමං = යහපත් අවසානය, යහපත් කෙළවරක් ඇති, යහපත් පටන් ගැන්මක් ඇති. ඉධපඤ්ඤස්ස = මෙහිම ප්රඥාව වන්නේය, මෙය ලෝකය නො ඉක්මවයි, මෙහි ප්රඥාව එම ලෞකික ප්රඥාවට අයත්ය යන අර්ථයයි. උත්තරි විමුත්තිං අප්පටි විජ්ඣතො = ලෝකෝත්තර ධර්මය අවබෝධ නොකළ තැනැත්තහුට අවබෝධ කරවීමට යමකුට හැකි වේ නම් ඔහුට අර්හත්වය දක්වාම වන මෛත්රීය ඇත්තේය යන අර්ථයයි. කරුණා ආදියෙහි ද පිළිවෙළම වේ.
කුමක් හෙයින් මෙම මෛත්රී ආදියේ ශුභ ප්රමුඛ ලක්ෂණාදිය භාග්යවතුන් වහන්සේ විසින් කියන ලද්දේද යත් එකනෙකට අවිරුද්ධ බැවින් එකිනෙකට අවිරුද්ධ බැවින් එකිනෙකට ආධාරකාරී වන බැවිනි. මෛත්රී විහරණයෙන් යුත් අයට වනාහී සත්ත්වයෝ පිළිකුල් සහගත නොවෙත්. තවද පිළිකුල් නොවන නිල් ආදී පිරිසිදු වර්ණයන්හි සිත අරමුණු කර ගන්නා වූ ඔහුට අපහසුතාවයන් අඩුවන පරිද්දෙන් සිත මෛත්රීයට ඇතුල් වෙයි. මෙසේ මෛත්රීය සුබවූ මෝක්ෂයට හේතු වෙයි. එයින් වෙනස් දෙයක් නොවේ. එබැවින් සුභපරම යයි කියන ලදී.
කරුණාවන්තව වාසය කරන්නාවූ ද, උෂ්ණත්වයෙන් පෙළීම් ආදී රූප නිමිති ඇති සත්ත්වයන්ගේ දුක බලන්නාවූ ද, කාරුණික පැවතුම් ඇති කරන්නාවූ ද තැනැත්තාට රූපයෙහි ආදීනව අවබෝධ වෙයි. රූපයෙහි ආදීනව අවබෝධ කරගත් පඨවි කසිණ ආදී සතරෙහි යම් එකක් මතු කොට රූපයෙන් නිදහස් වූ ආකාශයෙහි සිත එක් තැන් කරන්නහුට සුලු වෑයමකින්ම සිත එහි අභ්යන්තරගත වෙයි. මෙසේ කරුණාව ආකාසානඤ්චායතනයට හේතු වෙයි. ඉන් බාහිර වූ යමක් නැත. එහෙයින් ආකාසානඤ්චායතන පරමා (ආකාසානඤ්චායතනය පරම කොට ඇති) යයි කියන ලදී.
මෘදු විහරණ ඇත්තාවූ ද එම ප්රමෝදකරණයෙන් උපන් ප්රමෝදය ඇත්තවුන්ගේ විඤ්ඤාණය බලන්නාවූ ද මෘදු භාවයෙන් යුත් පැවතුම් ඇති කරන්නාවූ ද, තැනැත්තාට විඤ්ඤාණයෙන් ග්රහණය කර ගැනීමට පුරුදු වූ සිතක් වෙයි. අනුක්රමයෙන් අවබෝධ වූ ආකාසානඤ්චායතනය ඉක්මවා ආකාසයට නිමිත්ත ගෝචර වූ විඤ්ඤාණයෙහි සිත එක්තැන් කරන්නහුට සුලු වෑයමකින්ම සිත එහි අභ්යන්තර ගත වෙයි. මෙසේ මෘදු බව (මුදිතාව) විඤ්ඤාණඤ්චායතනයට හේතු වෙයි. ඉන් බාහිරවූ යමක් නැත. එහෙයින් විඤ්ඤාණඤ්චායතන පරමා (= විඤ්ඤාණඤ්චායතනය පරම කොට ඇති) යයි කියන ලදී.
උපේක්ෂා සහගතව වාසය කරන්නහුට වනාහී සත්ත්වයෝ සුවපත් හෝ වෙත්වා, දුකින් හෝ මිදෙත්වා, ලැබුණ සැපතින් හෝ වෙන් නො වෙත්වා යනුවෙන් සිතුවිල්ලක් නැත. එසේ නොමැති බැවින් සැපය දුකය යන ආදී පරමාර්ථ ග්රහණයට වෙනස් සිදුවීමක් වූ අවිද්යාමාන දෙයක් ග්රහණය කිරීමෙන් මිදුණ සිතක් ඇත්තේ වේ. ඉක්බිති පරමාර්ථ ග්රහණයට වෙනස් බැවින් අතිශයින් විවේකී සිත් ඇත්තාවූ ද, පරමාර්ථ වශයෙන් අවිද්යමාන දෙයක් ග්රහණය කිරීමෙන් මිදුණ සිත් ඇත්තාවූ ද. පිළිවෙළින් අවබෝධ කළ විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ස්වභාවයෙන් අවිද්යාමාන පරමාර්ථ ඇත්තාවූ ද විඤ්ඤාණයාගේ පැවැත්මක් නැති කල්හි සිත එක්තැන් කරන්නාවූ ඔහුගේ සිත වැඩි අපහසුතාවයකින් තොරවම තැන්පත් වේ. මෙසේ උපේක්ෂාව ආකිඤ්චඤ්ඤායතනයට හේතු වෙයි. ඉන් බාහිරවූ යමක් නොවේ. එහෙයින් “ආකිඤ්චඤ්ඤායතන පරමා” (ආකිඤ්චඤ්ඤායතනය පරම කොට ඇති) යයි කියන ලදී. දේශනාවගේ කෙළවර පන්සියයක් භික්ෂූහු රහත් බවට පත්වූහ.