9. වාසිජටොපම සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ - “සෙය්‍යථාපි භික්ඛවෙ කුක්කුටියා අණ්ඩානී” මෙහිදී කලු පක්‍ෂය හා සුදු පක්‍ෂය වශයෙන් උපමා දෙකක් පවසන ලදී. ඒවා අතුරින් කළු පක්‍ෂයේ උපමාව අර්ථයෙන් හීනය. අනික අර්ථයෙන් පිරිපුන්ය. සුදු පක්‍ෂයේ (යහපත් පැත්තේ) උපමාවේ අර්ථ මෙසේ දතයුතුයි. “සෙය්‍යථා” යනු උපමා අර්ථයේ නිපාතයකි. “අපි” යන්න මෙහි ගෞරවාර්ථයේ යෙදුණි. පද දෙකම එක්වී “සෙය්‍යථාපි නාම භික්ඛවෙ!” (මහණෙනි! යම්සේ) යනුවෙන් දක්වයි. “කුක්කුටියා අණ්ඩානි අට්ඨවා දසවා දවාදවා” යනු මෙහි කිකිළියට, කියන ලද ආකාරයෙන් ම නොව, ඊට වඩා අඩුවැඩි වශයෙන් බිත්තර දමයි. වාග් මධුරත්‍වය සඳහා මෙසේ කියන ලදී. (වචනයන්ගේ මටසිලුටු බව) මෙසේ ලොව මටසිලුටු වදන් සෑම බසකම ඇත. “නානස්ස” යනු “තානි අස්සු” ඒවායෙහි යන අර්ථයි. “කුක්කුටියා සම්මා අධිසයිතානි” යනු ඒ බිජු ඉපිද වූ කිකිළිය පියාපත් දිගහැර ඒ බිජු මත්තෙහි නිදන්නී මැනවින් රක්නා ලද්දීය යනුයි. “සම්මා පරිසෙදිතානි” යනු කලින් කලට ඍතු ගන්වමින් මනාව හාත්පස මැනවින් තෙත්කළ, මැනවින් උණුසුම් කළ යනුයි. “සම්මා පරිභාවිතානී” කලින් කලට මනාව හාත්පස වඩන ලද යනුයි. කුකුළු ගඳ මනාව ගන්වන ලද යන අර්ථයයි. “කිඤ්චාපි තස්සා කුක්කුටියා” යනු ඒ කිකිළිය මේ කටයුතු තුන සිදු කිරීමෙන් අප්‍රමාදීව ක්‍රියා කිරීමෙන් මෙසේ ආශාවක් පහළ නොවූවත් යනුයි. “අථඛො භබ්බාව තෙ” යනු ඉක්බිති ඒ කුකුළු පැටවු කී ලෙසින් ම සුවසේ නික්මීමට හැකියාව ලබත්මය යනුයි. මේ කිකිළියන් දෙදෙනාගෙන් මෙසේ තමා දැමූ බිජු තුන් අයුරින්ම මනාව පරිපාලනය කරන කිකිළියගේ බිත්තර කුණු නොවේ. ඒවා මැනවින් තෙත් වූයේ මුහුකුරා යයි. කටුව සිහින් වේ. පයේ නියපොතු ද මුවතුඩ ද රළු වේ. තමාම මුහුකුරා යෑමට පත් වේ. කටුව සිහින් වූ බැවින් ඒ අතරින් පිටත ලෝකයේ ඇති ආලෝකය පෙනේ. එනිසා බොහෝකලක් අත්පා හකුළුවාගෙන, සම්බාධ සහිතව නිදන අපට මේ පිටත ආලෝකය පෙනේ. එය දැන් අපට සැපවිහරණයක් වන්නේ යැයි නික්මෙනු කැමතිව කටුවට පයින් ගසති. ගෙල දිගු කරති. එවිට ඒ කටුව දෙකට බිඳේ. එවිට පියාපත් සොළවමින් ඒ ක්‍ෂණයට අනුරූපව තදකරමින් නික්මෙන්නේමය. නික්මී ගම-කෙත බබුළුවමින් හැසිරෙති.
“එවමෙව ඛො” යනු මේ උපමා සැසඳීමයි. එය මෙසේ අර්ථයෙන් සසඳා අර්ථ දතයුතුයි. ඒ කිකිළිය බිත්තර කෙරෙහි තුන් කටයුතු සිදුකිරීම මෙන් මේ සසුනේ භික්‍ෂුව භාවනාවෙහි යෙදුණු කාලය දතයුතුයි. කිකිළිය බිජුවලට කළයුතු ක්‍රියා තුන නොකිරීමෙන් ඒවා කුණුවන්නාක් මෙන් භාවනා කිරීමෙහි යෙදුණු භික්‍ෂුවගේ ත්‍රිවිධ අනුපස්සනා සම්පාදනය කිරීමෙන් විදර්ශනා ඥානය නොපිරිහේ. කිකිළිය ත්‍රිවිධක්‍රියා කිරීමෙන් තෙත් වූ සාරය සම්පූර්ණයෙන් ගෙන වැඩෙන බිත්තර මෙන් ඒ භික්‍ෂුව ත්‍රිවිධ අනුපස්සනා සම්පාදනය කිරීමෙන් භවත්‍රයට අනුගත වූ තෘෂ්ණා සාරය සම්පූර්ණයෙන් නැතිකිරීම දතයුතුයි. බිත්තර පාලනය කරන කටුවේ තුනී වීම මෙන් ඒ භික්‍ෂුවගේ අවිද්‍යා අණ්ඩකෝෂයේ තුනීවීම දතයුතුයි. කුකුළු පැටවුන්ගේ පා නිය මුවතුඩ ආදියේ තදවීම-රළුවීම මෙන් භික්‍ෂුවගේ විදර්ශනා ඥානයේ තියුණු ප්‍රකට ශූරභාවයෙන් දතයුතුයි. කුකුළු පැටවුන්ගේ පරිණාමයට (මුහුකුරා යන) කාලය මෙන් භික්‍ෂුවගේ විදර්ශනා ඥානයේ පරිණාමී කාලය, වැඩෙන කාලය හා ගර්භග්‍රහණ කාලය දතයුතුයි. කුකුළු පැටවුන්ගේ පා-නියවලින් හෝ මුවතුඩින් හෝ බිත්තර කටුව බිඳ, පියාපත් ගසා දමා සුවසේ බිජුවට මෙන් නික්මෙන අවස්ථාව මෙන් භික්‍ෂුවගේ විදර්ශනා ඥානය ගැබ්ගැන්වා හැසිරෙන්නහුට ඊට සුදුසු වූ සුදුසු වූ සෘතු හෝ සුදුසු වූ භෝජන හෝ සුදුසු වූ පුද්ගලයන් හෝ සුදුසු වූ ධර්ම ශ්‍රවණයන් හෝ ලැබ, එක් අසුනකම හුන්නේ- විදසුන් වඩා අනුපිළිවෙලින් අවබෝධ කරගත් අර්හත් මාර්ගයෙන් අවිද්‍යාව නම් බිත්තර කටුව දෙකඩ කර, අභිඥාවන් නමැති පියාපත් විහිදුවා සුවසේ රහත්බවට පත්වූ අවස්ථාව දතයුතුයි. යම්සේ කුකුළු පැටවුන්ගේ මුහුකුරා යන ස්වභාවය දැන මව ද බිත්තර කටුව බිඳින්නීය. එලෙසින්ම එබඳු භික්‍ෂුවගේ ඥානයේ මුහුකුරා ගිය බව දත් බුදුපියාණන් වහන්සේ ද,
“ප්‍රාණීන්ට තමාගේ සෙනෙහස, බැඳීම සිඳ දැමීමට සරත් කාලයේ කුමුදු මලක් මෙන් සුගතයන් වහන්සේ විසින් දෙසු ශාන්ති මාර්ගයට යොමු කරවන නිවනම වදාරණු මැනවි.”
ආදී වශයෙන් ආලෝකය පතුරුවමින් දෙසනු ලබන ගාථාවකින් අවිද්‍යාව නම් බිත්තර කටුවට පහර දෙන සේක. උන්වහන්සේ ගාථාව අවසානයේ අවිද්‍යාව නම් බිත්තර කටුව බිඳ, රහත් බවට පත්වන සේක. එතැන් පටන් ඒ කුකුළු පැටවුන් ගම්-කෙත් ශෝභමාන කරමින් සැරිසරන්නාක් මෙන් මේ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලා ද නිවන අරමුණු කරගත් ඵලසමවතට පැමිණිසේක් සංසාරාමාදිය ශෝභමාන කරමින් හැසිරෙති.