5. පුප්ඵ වර්ගය
1. නදී සූත්‍ර වර්ණනාව
පුප්ඵ වර්ගයේ පළමු සූත්‍රයේ - “පබ්බතෙය්‍ය” යනු පර්වතයේ පවතින යනුයි. “ඔහාරිණි” යනු නදී ප්‍රවාහයට වැටුණු වැටුණු තණපත්, කටුකබල් ආදිය පහළට ගෙනයන යනුයි. “දූරංගමා” යනු වැටුණු තැන් සිට යොදුන් සතරක් පහක් ගහගෙන යන යනුයි. “සීසසොතා” යනු සැඩ දියපහරකි. “කාසා” ආදී සියල්ල තෘණ ජාතීහුය. තණ වර්ගයි. “රුක්ඛා” යනු එරඬු ආදී දුර්වල ගස් වර්ගයන්ය. “තෙ නං අජ්ඣො ලම්බෙය්‍යුං” යනු එම ගස් ගංගා තීරයේ වැවී අග නැමෙමින් දියෙහි ස්පර්ශ වන පරිදි දැඩි සේ එල්බගෙන ඇත. මත්තෙහි එල්ලී සිටී යන අර්ථයි. “පලුජ්ජෙය්‍යුං” යනු මුලත් සමගම හිසේ වැටෙන්නේය යනුයි. එම ගස් පඳුරු වසා පැතිරගත් වැලි-මඩ ආදිය එම පුරුෂයාගේ මුවෙහි පිවිස, මහත් විනාසයක් ඇතිකරන්නේය.
“එවමෙව ඛො” මෙහි නදී පහරට වැටුණු පුරුෂයා මෙන් සසර පැවතීමට වැටුණු (එය ආශ්‍රය කරගත්) පුද්ගලයා දතයුතුයි. ගංතීර දෙකෙහි කසට ගස් මෙන් දුර්වල වූ පංචස්කන්‍ධය දතයුතුයි. මේවා අල්ලා ගත්තත් පිහිටක් නොවේ යැයි ඒ පුරුෂයා නොදැන එම දුර්වල ගස් අතු අල්ලා ගන්නාක් මෙන් මේ ස්කන්‍ධයෝ මට උපකාර නොවේයැයි නොදන්නා බාල පුහුදුන් පුද්ගලයාට සිවු වැදෑරුම් ග්‍රහණයන්ගෙන් අල්ලා ගනියි. ගත් ගත් දුබල ගස් බිඳීයෑම නිසා පුද්ගලයාට අධික ව්‍යසන-කරදර පැමිණෙන්නාක් මෙන්, සතර ග්‍රහණයන්ගෙන් දැඩිව අල්ලාගත් ස්කන්‍ධයන්ගේ වෙනස්වීමෙන් බාල පුහුදුන් පුද්ගලයෝ ශෝක ව්‍යසනාදී නොයෙක් දුක් විඳින්නේ යැයි දතයුතුයි.
පළමු සූත්‍රයයි.
2. පුප්ඵ සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයේ “විවදති” යනු අනිත්‍යය, දුකය, අනාත්මය, අසුභ යැයි තත් වූ පරිද්දෙන් ලෝකස්වභාවය දේශනා කරන්නා සමග නිත්‍යය, සැපය, ආත්මය, සුභයැයි පවසන්නෝ වාද කරති. “ලොකධම්මො” යනු පංචස්කන්‍ධයයි. එහි පවතින කැඩෙන බිඳෙන ස්වභාවය නිසා ලෝකධර්මය යැයි කියයි. “කින්තකරොමි” කෙසේ කරම්ද යනුයි. මට වනාහි ප්‍රතිපත්ති කථාවම භාරය. ප්‍රතිපත්ති (පිළිවෙත්) පුරන කුලපුතුන්ගේ කාර්යභාරය යැයි දක්වයි. මේ සූත්‍රයේ දී තුන් ලෝකය ම පවසන ලදී. “නාහං භික්ඛවෙ ලොකෙනා” (මහණෙනි! මම ලෝකය සමග විවාද නොකරමි) යන මෙතැනදී සත්ත්‍ව ලෝකය අදහස් කරන ලදී. “අත්‍ථිලොකෙ ලොක ධම්මො” (ලෝකයේ මේ ලෝක ධර්මය ඇත) යන තැන්හිදී සංස්කාර ලෝකය අදහස් කරන ලදී. “තථාගතො ලොකෙ ජාතො ලොකෙ සංවද්ධො” (තථාගතයන් වහන්සේ ලොව ඉපිද, ලොව වැඩී) යන මෙතැන්හිදී අවකාශ ලෝකය අදහස් කරන ලදී.
දෙවන සූත්‍රයයි.
3. ඵෙණ පිණ්ඩූපම සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයේ - “ගංගාය නදියා තීරෙ” අයෝධ්‍යා පුරවැසියෝ අප්‍රමාණ වූ භික්‍ෂූන් පිරිවර කරගත් චාරිකාවේ හැසිරෙන තථාගතයන් වහන්සේ, තමාගේ නගරයට වැඩම කළ බව දැක; එක් ගංගාව නැවතී සිටින තැනක වූ, මහා කැළයෙන් සැරසුණු ප්‍රදේශයක බුදුපියාණන් වහන්සේ විහාරයක් කරවා දුන්හ. භාග්‍යවතුන් වහන්සේ එහි වාසය කරයි. ඒ නිසා “ගංගානම් ගං ඉවුරෙහි” යනුවෙන් පවසන ලදී. “තත්‍ර ඛො භගවා භිකඛු ආමන්තෙසි” යනු ඒ විහාරයේ වැඩවෙසෙන භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි ගඳකිළියෙන් නික්ම, ගංතෙර පැනවූ උතුම් බුදු අසුනෙහි හුන්සේක්, ගංගානම් ගඟෙහි පැමිණි මහත් වූ එක් පෙණපිඬක් දුටු සේක් - “මගේ සසුනෙහි පැවිදි වූවන්ට පස්කඳ ආශ්‍රිත වූ එක් ධර්මයක් දේශනා කරන්නෙමි”යි සිතා, පිරිවරාගෙන සිටින භික්‍ෂූන් වහන්සේලා ඇමතූ සේක.
“මහන්තං පෙණපිණ්ඩං” යනු පැනනැගි තැනේදී ඩෙබර ඇටයක් හා සමාන වී පසුව අනුශ්‍රෝත ගමනයෙන් අනුපිළිවෙලින් වර්ධනය වී පර්වත කූටයක් පමණ වූ. යම්තැනක ජල සර්පාදී නොයෙක් ප්‍රාණීහු වාසය කරත්ද එබඳු වූ මහත් පෙනපිඬක් “ආවහෙය්‍ය” යනු ගෙනෙන්නේය යනුයි. ඒ මේ පෙනපිඬද නැගි නැගි තැන්හි බිඳෙයි. මද දුරක් ගොස් බිඳෙයි. නැතිනම් යොදුනක් දෙකක් හෝ ගොස් බිඳෙයි. ඇතැම් පෙනපිඬු අතරතුරදී නොබිඳීම මහමුහුද වෙත ගොස්, එහි දී අනිවාර්යයෙන්ම බිඳේ. “නිජ්ඣායෙය්‍ය” යනු බලන්නේය. සිතන්නේය යනුයි. “යොනිසො උපපරික්ඛෙය්‍ය” යන කරුණු හේතු සහිතව පරික්‍ෂා කර බලන්නේය යනුයි. “කිං හි භික්ඛවෙ ඵෙණපිණ්ඩෙ සාරො” යනු මහණෙනි, පෙණපිඬ හරයක් වන්නේ කෙසේද යනුයි. එය වියලී විනාශ වන්නේම ය.