ඛන්ධක වර්ගය - අටුවාව
1. ඛන්ධ සංයුත්තය
1. මූලපණ්ණාසකය
1. නකුලපිතු වර්ගය
1. නකුලපිතු සූත්‍ර වර්ණනාව
ඛන්‍ධක වර්ගයේ පළම සූත්‍රය - “භග්ගෙසු” යනු මෙනම් වූ ජනපදයෙහිය. “සුංසුමාරගිරෙ” යනු සුංසුමාරගිරි නුවරයි. ඒ නගරය නිර්මාණය කරන කල්හි සුංසුමාරයෙක් (කිඹුලෙක්) කෑගැසීය. එනිසා “සුංසුමාරගිරි” යන නාමය එම නුවරට තැබූහ. “භෙසකලාවනෙ” යනු “භේසකලා” නම් යක්‍ෂණිය අධිගෘහිත බැවින් මෙම නම ලැබූ වනයෙහි. එහිම මුවන්ට අභය සඳහා දෙන ලද ප්‍රදේශයක් බැවින් “මිගදාය” යනුවෙන් ද කියයි. බුදු පියාණන් වහන්සේ ඒ ජනපදය ඇසුරු කරගෙන එම වන ලැහැබෙහි වැඩ වාසය කරන සේක. “නකුලපිතා” යනු නකුල නම් දරුවාගේ පියායි.
“ජිණ්ණො” යනු ජරාවෙන් මහළු වූ යනුයි. “වුද්ධො” යනු වයසින් වැඩි වූයේ යනුයි. “මහල්ලකො” යනු මහල්ලෙකු බවට පත්වූයේ යනුයි. “අද්ධගතො” වයස්ගත වූයේ. “වයො අනුප්පත්තො” යනු ඒ ත්‍රිවිධ වයසින් අන්තිම වයසට පැමිණියේ යනුයි. “ආතුරකායො” යනු ගිලන් වූ කය ඇති යනුයි. මේ ශරීරය රන්වන් වූයේ වුවද නිතර වැගිරෙන අර්ථයෙන් ආතුර වූ ගිලන් වූ. “ආතුර” යන නාම විශේෂයෙන් ජරාවෙන් රෝගී වූ ව්‍යාධියෙන් (ලෙඩ) රෝගී වූ හා මරණයෙන් ආතුර වූ යන තුනින් ආතුර වූයේ වේ. ඒවා අතුරින් මෙතෙමේ මහලු බැවින් ජරාවෙන් ආතුර වූවෙකි. නිතර රෝග වැළඳෙන බැවින් ව්‍යාධි ආතුරයෙකි. මෙය මෙහිදී අදහස් කරන ලදී. “අභිණ්හාතංකො” යනු නිතර රෝගී වූයේ, නිරන්තරව රෝගාබාධයන්ගෙන් පෙළෙනුයේ යනුයි. “අනිච්චදස්සාවී” යනු ඒ ආතුර බැවින් කැමති කැමති වේලාවට පැමිණීමට නොහැක. කලාතුරකින්ම පැමිණීමට හැකියාව ඇත. සැමකල්හිම පැමිණීමට නොහැක යන අර්ථයි. “මනොභාවනීයානං” යනු මන වඩන්නවුන්ගේ යනුයි. යමෙකු දැකීමෙන් කුශල වශයෙන් සිත වැඩේ ද ඒ සාරිපුත්‍ර-මහාමොග්ගල්ලානාදී මහතෙරවරු මනෝභාවනීය (මන වඩන්නෝ) නම් වෙති. “අනුසාසතූ” යනු නැවත නැවත අනුශාසනා කරනු මැනවි යනුයි. පළමු අවස්ථාවේ දෙන වචනය අවවාදයයි. (ඔවාද) ඊට පසුව කරනුයේ, වෙන් වෙන්ව සිදු කරනුයේ අනුශාසනාවයි. නැතහොත් වස්තුවෙහි බැසගත් වචනය ‘ඕවාද? (අවවාදය) නම් වේ. නොබැසගත්, පේළි වශයෙන් - ප්‍රවේණි වශයෙන් පවසනුයේ ‘අනුශාසනාව’ නම් වේ. තවද ඕවාදය (අවවාදය) හෝ අනුශාසනාව යන දෙකෙහිම අර්ථය එකමය. බ්‍යඤ්ජන වශයෙන් ම නානාවිධය.
“ආතුරො භයං” යනු මේ කය ආතුර වූවක්මය යනුයි. රන්වන් වූ පියඟුවන් වූ ශරීර ඇත්තේ වුවත් නිත්‍ය වූ වැගිරීම් අර්ථයෙන් රෝගියෙක්ම ය. “අණ්ඩභූතො” යනු බිත්තරයක් මෙන් වූ යනුයි. ඉතා දුර්වල, යම්සේ කුකුල් බිත්තරයක් හෝ මොණර බිත්තරයක් හෝ පන්දුවක් මෙන් ගෙන දමන්නට හෝ පහරදීමට හෝ නොහැක. ක්‍රීඩා කළහොත් එකෙණෙහිම බිඳේ. එසේ බිත්තරයක් මෙන් වූයේ අණ්ඩභූතො නමි. “පරියොනද්ධො” යනු සියුම් වූ සිවියක් පමණ වූ, හාත්පසින් වෙළන ලද යනුයි. බිත්තරය වනාහී හරවත් සිවියෙන් වෙලන ලද්දකි. එබැවින් මැසි මදුරුවන්ට සැඟවීවත් සම සිඳ යුෂ වැගිරවීමට නොහැකි වේ. මෙහි වනාහී (මනුෂ්‍යයන්ගේ) සම සිඳ කැමති දෙයක් සිදුකිරීමට මැසිමදුරුවන්ට පුළුවන. මෙසේ සියුම් සිවියෙන් වෙළන ලදී. “කිමඤ්ඤත්‍ර බාල්‍යා” යනු මෝඩ බව හැර අන් කුමක් වේද? මොවුන් බාලයෝමය යන අර්ථයි. එනිසා මේ කය මෙබඳු ස්වරූප ඇත්තකි.
“තෙනුපසංකමි” යනු චක්කවත්ති රජතුමාට උපස්ථානයට ගොස් අනතුරුව පරිනායක (සෙන්පති) රත්නයට උපස්ථාන පිණිස යන රාජ පුරුෂයකු මෙන් සද්ධර්මචක්‍රවර්තී ව බුදුරදුන්ගේ උපස්ථානයට ගොස් අනතුරුව ධර්ම සෙන්පතිට ගෞරව කරනු කැමතිව සාරිපුත්‍ර තෙරුන් වෙත එළඹියේය. “විප්පසන්නානි” යනු මැනවින් ප්‍රසන්න වූ යනුයි. “ඉන්‍ද්‍රියානි” මනස සයවැනි වූ ඉන්‍ද්‍රියයන් “පරිසුද්ධො” යනු නිදොස්ය. “පරියොදාතො” යනු එයටම සමාන වදනකි. ක්ලේශයන්ගෙන් තොර වූ බැවින් මෙහි පිරිසිදුවයි කියන ලදී. සුදුපාට නිසා නොවේ. මොහුගේ ද ඉතා පිරිසිදු බව ඉන්‍ද්‍රියයන්ගේ පැහැදුණු බවින් ම දැනගත හැකිය. නය වශයෙන් ගන්නාවිට ප්‍රඥාව මේ තෙරුන්ට මේ.
“කිං හි නො සියා” යනු කුමන කරුණකින් නොලබන ලද්දේ වන්නේ ද? ලබන ලද්දේමය යන අර්ථයි. මෙහිදී කුමක් දක්වයි ද? ශාස්තෲන් වහන්සේ සමග ඇති විශ්වාසී භාවයයි. මොහු වනාහි බුදුරදුන් දුටු දින පටන් පියෙකු මෙන් ප්‍රේමයද, මොහුගේ උපාසිකාව (බිරිඳ) මවක මෙන් ප්‍රේමයද ලබයි. මේ දෙදෙනාම “මගේ පුතුයැ” යි බුදුරදුන්ට වඳිති. ඔවුන්ගේ සෙනෙහස භව ගණනාවක සිට පැවතෙන්නකි. ඒ නකුලමාතා උපාසිකාව පන්සීයක් ආත්මභාවවල තථාගතයන් වහන්සේගේ මවු වූවාය. ඒ නකුලපිතු ගහපතිතුමා පියා වූවේය. නැවත ආත්මභාව පන්සීයක් උපාසිකාව තථාගතයන් වහන්සේගේ ලොකුමව වූවාය. ගහපතිතුමා ලොකු තාත්තා විය. එසේම ආත්මභාව පන්සීයක දෙදෙනම බාප්පා හා සුළුමව (කුඩා මව) වූහ. මෙසේ තථාගතයන් වහන්සේ පෙර ආත්ම එක්දහස් පන්සීයක දී ම මේ දෙදෙනාගේම අතෙහි වැඩුණු සේක. එනිසාම ඔවුන් දෙදෙනාට යම්සේ පුතෙකුට පියා ළඟ හිඳ කථා කිරීමට නොහැකිද එසේම ශාස්තෲන් වහන්සේ ඉදිරියේ සිට කථාකිරීම අපහසු වෙති. මේ කාරණයෙන් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි! මගේ ශ්‍රාවක වූ උපාසකයන් අතර විශ්වාස ඇත්තවුන්ගෙන් නකුල පිතු ගහපති අග්‍ර වේ. නකුලමාතා උපාසිකාවන් අතර අග්‍රවේ” යැයි මොවුහු අගතනතුරුවල පිහිටවූහ. මෙසේ ඔහු මේ විශ්වාසික බව ප්‍රකාශ කරමින් “කිං හි නො සියා” යැයි කීවේය. “අමතෙන අභිසිත්තො” යනු මෙහිදී අනික් කිසි ධ්‍යානයක් හෝ විදර්ශනාවක් හෝ මාර්ගයක් හෝ ඵලයක් හෝ අමෘතාභිෂේකයක් (අමාවෙන් අබිසෙස් කිරීමක්) ලෙස නො සැළකිය යුතුයි. මිහිරි ධර්මයක් ශ්‍රවණය කිරිමට ලැබීමට අමාවෙන් අභිෂේක කිරිමකැයි දතයුතුයි. “දූරතොපි” යනු රට හරහා, ජනපද හරහාය.
“අස්සුතවා” යන්නෙහිත් “පුථුජ්ජනො” යන්නෙහිත් අර්ථ පෙර කියන ලද්දේය. “අරියානං අදස්සාවී” යනාදියෙහි “අරියා” යනු ක්ලේශයන්ගෙන් දුරු වූ බැවින් විපතෙහි ඉරියවු නො පවත්වන, සැපතෙහි ඉරියවු පවත්වන, දෙවියන් සහිත වූ ලෝකයෙන් නො ඇලුණු සිතැතිව වෙන්වී වසන බුදුවරු, පසේබුදුවරු හා බුද්ධ ශ්‍රාවකයෝය. නැතිනම් මෙහි ‘ආර්ය’ යනු බුදුවරුමය. එනිසා කියන ලදී. “මහණෙනි! දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- තථාගතයන් වහන්සේට “අරිය” යැයි කියනු ලැබේ.” “සප්පුරිසා” යන මෙහි පසේබුදුවරු ද තථාගත ශ්‍රාවකයෝ ද සත්පුරුෂයෝ යැයි දත යුතුයි. ඔවුන’තර ලොවුතුරු ගුණ යෙදීමෙන් ශෝභන වූ පුරුෂයෝ ද සත්පුරුෂයෝය. ආර්ය, සත්පුරුෂ යන මේ පද දෙකින් සියලුම බුදුවරු ද පසේබුදුවරු ද බුද්ධ ශ්‍රාවකයෝ ද අදහස් කරන ලදී. එනිසා කියන ලදී.