2. මජ්ඣිමපණ්ණාසකය
1. උපය වර්ගය
1. උපය සූත්‍ර වර්ණනාව
උපය වර්ගයේ පළමු සූත්‍රය - “උපයො” යනු තණ්හා-මාන-දෘෂ්ටි වශයෙන් පංචස්කන්‍ධයට පැමිණි යනුයි. “විඤ්ඤාණං” යනු කර්ම විඥානයයි. “ආපජ්ජෙය්‍ය” යනු කර්මය දක්වා ප්‍රතිසන්‍ධිය ඇදීමට සමත් වූ වෘද්ධි ආදියට පැමිණෙන්නේ ය. “විඤ්ඤාණුපයං” යන පදයේ නොගැනීමෙන් හේතුව කියන ලද්දේමය. “වොච්ඡිජ්ජතාරම්මණං” යනු ප්‍රතිසන්‍ධිය ඇදීමට සමත් වූ ශක්තිය නොමැතිවීමෙන් අරමුණු ගැනීම සිඳී-කැඩී යයි යනුයි. “පතිට්ඨා විඤ්ඤාණස්ස” යනු කර්ම විඥානයට පිහිටක් නොවේ යනුයි. “තදප්පතිට්ඨිතං” යනු එය නොපිහිටීමෙනි. “අනභි සංඛච්ච විමුත්තං” යනු ප්‍රතිසන්‍ධිය අභිසංස්කරණය නොකර මිදුණු යනුයි.
පළමු සූත්‍රයයි.
2. බීජ සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයේ - “බීජාජාතානි” යනු බීජයෝය. “මූලබීජං” යනු වදකහ, කහ, ඉඟුරු ආදියයි. “ඛන්‍ධබීජං” යනු ඇසතු-නුග ආදියයි. “එළුබීජං” යනු උක්, උණ, බට ආදියයි. “අග්ගබීජං” යනු කුඹුක්-මුරුවා ගස් ආදිය. “බීජ බීජං” යනු හැල්-වී ආදී පුබ්බන්න ධාන්‍ය හා මු-මෑ ආදී අපරන්න ධාන්‍ය වර්ගයන්ය. “අඛණ්ඩානි” යනු නොබිඳුණා වූ ඒවායි. බිඳුණු කාලයේ පටන් බීජයත්, බීජ සඳහා සුදුසු නොවේ. “අපූතිකානී” යනු ජලය වැටීම් ආදියෙන් නොතෙමුණු ඒවායි. කුණු වූ බීජයන්ද බීජ ලෙස යෙදීමට සුදුසු නොවේ. “අවතාතපහතානි” යනු සුළඟින් ද අව්වෙන් ද නො නැසුණු, ඕජස් නැති බවට පත් නොවූ යනුයි. ඕජස් රහිත කසට බීජයන් ද බීජ ලෙස නොයොදයි. “සාරාදානි” යනු ගන්නා ලද සාරවත් භාවය ඇති. පිහිටි සාරය ඇති යනුයි. නිසරු බීජ, බීජ සංඛ්‍යාවෙහි ලා නොසැලකේ. “සාඛසියිතානි” යනු තුන්-සතර මාසයක් කොටුවෙහි තබා ආරක්‍ෂා කිරීමෙන් සුවසේ තැබූ යනුයි. “පඨවි” යට පිහිටන බැවින් පඨවි නම් වූ, “ආපො” මතුපිට තෙත්කරන වතුර (ජලය). “චතස්සො විඤ්ඤාණට්ඨිතියො” යනු කර්ම විඥානයට ආරම්මණ වූ රූපාදී සිවු ස්කන්‍ධයෝ ය. ඒවායෙහි අරමුණු වශයෙන් පිහිට වූ පඨවි ධාතුව සමාන වූ නන්දි රාගයයි. තෙත් කිරීම්-වැගිරීම් අර්ථයෙන් ආපෝ ධාතුව හා සමාන වූ. “විඤ්ඤාණං සාහාරං” යනු ප්‍රත්‍ය සහිත වූ කර්ම විඥානයයි. එය වනාහී පොළවේ වැඩෙන බීජ මෙන් අරමුණ නැමති පොළවෙහි වැඩේ. (වර්ධනය වේ.)
දෙවන සූත්‍රයයි.
3. උදාන සූත්‍ර වර්ණනාව
තෙවන සූත්‍රයේ - “උදානං උදානෙසි” යනු බලවත් සොම්නස් බව හටගැනීමෙන් ප්‍රීතිවාක්‍යයක් පහළ කල සේක යනුයි. කුමක් නිසා මෙසේ ප්‍රීතියක් බුදුපියාණන්ට ඇති වූ සේක්ද? සසුනේ නෛර්යාණික බව නිසයි. කෙසේද? මෙසේ උන්වහන්සේට සිත්විය. මේ සසුනෙහි මූලාධාරයෝ තුනකි. දානය, සීලය, භාවනාව යන උපනිශ්‍රය සම්පත් තුනයි. ඒ තුන අතුරින් දාන උපනිශ්‍රය සම්පත්තිය දුර්වලය භාවනා උපනිශ්‍රය සම්පත්තිය ප්‍රබලය. දාන හා සීල උපනිශ්‍රය සම්පත් දෙකින් ත්‍රිවිධ මාර්ගයන්ට හා ඵලයන්ට පැමිණේ. භාවනා උපනිශ්‍රය සම්පත්තියෙන් රහත් බවට පත්වේ. මෙසේ දුර්වල උපනිශ්‍රයෙහි පිහිටි භික්‍ෂුව උත්සාහ කරනුයේ වෑයම් කරනුයේ පඤ්ච ඕරම්භාගිය බන්‍ධනයන් සිඳ තුන්මාර්ග ඵල උපදවයි. අහෝ! නෛර්යාණික සසුනේ බලමහිමය පුදුමයි.” ආවර්ජනය කරන්නාට මෙසේ සිත් පහළ වේ.