10. අනිච්චසඤ්ඤා සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ - “අනිච්චසඤ්ඤා” යනු අනිත්‍යයි. අනිත්‍යයි යනුවෙන් වඩන්නහුට උපන් සංඥාව. “පරියාදියති” යනු ක්‍ෂය වේ. ගෙවේ යනුයි. “සබ්බං අස්මිමානං” යනු නව වැදෑරුම් වූ අස්මි මානයයි. “මුලසන්නානකානි” යනු පැතිරසිටි සියලු මුල්මහනගුලක් මෙන් අනිත්‍ය සංඥාව දතයුතුයි. කුඩා අනුකුඩා වූ පැතිරගිය මුල් සමූහය මෙන් ක්ලේශයෝ දතයුතුයි. ගොවියා සීසානවිට නඟුලෙන් එම මුල් සිඳ දමන්නාක් මෙන් යෝගාවචර භික්‍ෂුව ද අනිත්‍ය සංඥාව වඩනුයේ, අනිත්‍ය සංඥා ඥානයෙන් ක්ලේශයන් වනසා දමනුයේ යැයි මෙහිදී උපමා සැසඳීමද දතයුතුයි.
“මධුනාති” යනු යටට හළයි. සොලවයි යනුයි. “නිද්ධුනාති” යනු පොළයි යනුයි. “නිච්ඡෙදෙති” පොළා ඉවත දමයි යනුයි. මෙහිද ක්ලේශයෝ බබුස්තණ මෙනි. (සැවැන්න මුල්) කැපීම සිඳීම මෙන් අනිත්‍ය සංඥා ඥානය දතයුතුයි. මේ අර්ථයෙන් උපමාව සැසඳිය යුතුයි.
“වණ්ටච්ඡින්නා” යනු තියුණු ඊතලයකින් නටුව සිඳිනලද යනුයි. “තදත්‍ථයානි භවන්ති” යනු ඒ අඹවල්ල අනුව යයි. ඒ වැටෙන්නා වූ අඹ බිමට වැටේ. මෙහි අඹවල්ල මෙන් ක්ලේශයෝ දතයුතුයි. අනිත්‍ය සංඥාව තියුණු ඊතලයක් මෙනි. යම්සේ නටුවෙන් සිඳුණු අඹවල්ල ම, අඹවල්ලේ සියලුම අඹ බිමට වැටේ ද එලෙසින්ම අනිත්‍ය සංඥාවෙන් කෙලෙසුන්ට මූලික වූ අවිද්‍යාව නැසූකල්හි සියලුම කෙලෙස් වැනසීමට පැමිණේ. මේ උපමා සන්සන්දනය යි.
“කූටං ගමා” යනු කැණිමඬලට ගියාහුය. “කූට නින්තා” යනු පිවිසීම් ස්වභාවයෙන් කැණිමඬලෙහි නැමී පවතියි යනුයි. “කූට සමොසරණා” යනු කැණිමඬල අනුව පැතිර සිටි යනුය. මෙහිද අනිත්‍ය සංඥාව කැණිමඬල මෙනි. සිවුභූමික කුසලධර්මයෝ ගොණැසි මෙනි. යම්සේ සියලු ගොණැසි අග් කැණිමඬලෙහි පිහිටියේ ද එසේම සියලු කුසල ධර්මයෝ අනිත්‍ය සංඥාව ප්‍රධානකොට ඇත. අනිත්‍ය සංඥාව ලෞකික හා ඒ ලෞකික කුසලයන්ට අග්‍ර ප්‍රධාන වූයේ ද ලෝකෝත්තර සිත්වල දී කෙසේනම් අග්‍ර වේද? ඒවායෙහි ද ලැබීම් කරන අර්ථයෙන් අග්‍රවූයේ යැයි දතයුතුයි. මේ ක්‍රමයෙන් සියලු උපමා සැසඳීම අවබෝධ කටයුතුයි. මෙහි මුල් උපමා තුනෙහිදී අනිත්‍ය සංඥාවේ කෘත්‍යය ද පසු උපමාවන්හි දී අනිත්‍ය සංඥාවේ ඵලයද දැක්වේ.
පස්වන පුප්ඵ වර්ගයයි.
මජ්ඣිම පණ්ණාසකය සමාප්තයි.
3. උපරිපණ්ණාසකය
1. අන්ත වර්ගය
1. අන්ත සූත්‍ර වර්ණනාව
අන්ත වර්ගයේ පළමු සූත්‍රයෙහි “අන්තා” යනු කොට්ඨාශයෝ ය. මේ සූත්‍රයේ චතුරාර්ය සත්‍ය වශයෙන් පංචස්කන්‍ධයෙහි යොදා “අන්ත” යන වචනයෙන් අවබෝධ කරගන්නවුන්ගේ අදහස් අනුව දේශනා කරන ලදහ.
පළමු සූත්‍රයයි.
2. දුක්ඛ සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයේ - පංචස්කන්‍ධයේ චතුරාර්ය සත්‍ය වශයෙන් යොදා “දුක්ඛං” යනුවෙන් අවබෝධ කරගන්නවුන්ගේ අදහස් වශයෙන් දේශනා කරන ලදහ.
දෙවන සූත්‍රයයි.
3. සක්කාය සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයේ - එසේම “සක්කායො” යනු අවබෝධ කරගන්නවුන්ගේ අදහස් වශයෙන් දෙසන ලදී.
තෙවන සූත්‍රයයි.
4. පරිඤ්ඤෙය්‍ය සූත්‍ර වර්ණනාව
සිවුවැනි සූත්‍රයේ - “පරිඤ්ඤෙය්‍ය” යනු විශේෂයෙන් දැනගත යුතු යනුයි. මනාව ඉක්මවිය යුතු. “පරිඤ්ඤෙය්‍ය” යනු ඉක්ම වූ. මනාව දැනගත් යනුයි. “පරිඤ්ඤාතාවිං” යනු ඒ පරිඥාවෙන් මනාව පිරිසිඳ දැන ඉක්මවා සිටි යනුයි. “රාගක්ඛයො” යනාදියෙන් නිවන දක්වන ලදී.
සිවුවන සූත්‍රයයි.
5-10. සමණ ආදි සූත්‍ර වර්ණනා
පස්වන සූත්‍රයේ සිට ඇති සූත්‍ර සතරෙහි (5, 6, 7, 8) චතුරාර්ය සත්‍යය පැවසේ. නවවන හා දසවන සූත්‍ර දෙකෙහි ක්ලේශ ප්‍රහාණය කියැවේ.
පළමු අන්ත වර්ගයයි.
2. ධම්මකථික වර්ගය
1-2. අවිජ්ජා ආදි සූත්‍ර වර්ණනා
ධර්මකථික වර්ගයේ පළමු සූත්‍රයේ - “එත්තාවතාච අවිජ්ජාගතො හොති” යනු යම්තාක් කල් මේ චතුරාර්ය සත්‍යයන් නොදැන සිටිද්ද, අවිද්‍යාවෙන් යුක්තව සිටිද්ද ඒ තාක් කාලය “අවිද්‍යාගත” වේයැයි යන අර්ථයයි. දෙවැනි සූත්‍රයේ ද මේ ක්‍රමයමයි.
3. පඨම ධම්ම කථික සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයේ - පළමුව ධර්ම කථිකයා ද, දෙවැනිව සේඛ භූමිය ද, තෙවැනිව අසේඛ භූමියදැයි මෙසේ ධර්මකථික භික්‍ෂුවකගේ ප්‍රශ්නයක් නිසා විශේෂ කර දක්වා දෙවැදෑරුම් භූමියෝ කියන ලදී.
4. දුතිය ධම්ම කථික සූත්‍ර වර්ණනාව
සිවුවැනි සූත්‍රයේ - ත්‍රිවිධ ප්‍රශ්නයන්ගේ ත්‍රිවිධ පිළිතුරු දෙසන ලදී.
සිවුවන සූත්‍රය
5-9. බන්ධන ආදි සූත්‍ර වර්ණනා
පස්වන සූත්‍රයේ “අතීරදස්සී” යන්නෙහි තීරය යනු සංසාරයයි. සසර පැවැත්ම නොදක්නේ යනුයි. “අපාරදස්සී” පරතෙර යනු නිර්වාණයයි. ඒ නිවන නම් පරතෙර නොදකියි. “බද්ධො” යනු කෙලෙස් බැඳුමෙන් බැඳුණු යනුයි. එසේ බැඳී උපදියි. දිරායයි. මියයයි. මෙලොවින් පරලොවට යයි. මේ සූත්‍රයේ සංසාරික පැවතීම් දුක දේශනා කරන ලදී. සයවැනි සූත්‍රයේ සිට අර්ථ ඉතා ප්‍රකටය.
10. සීල සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ “අනිච්චතො” ආදියෙහි පැවතී නොපවතින ස්වභාවය “අනිච්චතො” නම් වේ. පෙළීම්-පීඩාවීම් අර්ථයෙන් “දුක්ඛතො” නම් වේ. ආබාධ ඇතිවීම් අර්ථයෙන් “රෝගතො” නම් වේ. ඇතුලත දොස් කිපීම් අර්ථයෙන් “ගණ්ඩතො” නම් වේ. ඒ ඒ ගඬුවල ප්‍රත්‍යභාවයෙන් හෝ කැණීම් අර්ථයෙන් හෝ “සල්ලතො” නම් වේ. දුක යන අර්ථයෙන් “අඝතො” නම් වේ. විෂම වූ මහා භූතයන්ගේ නැගීසිටීම්-ආබාධ ප්‍රත්‍ය වශයෙන් “ආබාධතො” නම් වේ. අනුන්ගේ අර්ථයෙන් “පරතො” නමි. පලුදුවීම්-කැඩීම් අර්ථයෙන් “පලොකතො” නමි. සත්වැදෑරුම් ශුන්‍ය අර්ථයෙන් “සුඤ්ඤතො” නමි. ආත්මයක් නොවීම් අර්ථයෙන් “අනත්තතො” නමි. මෙසේ මෙතැනදී අනිත්‍ය වශයෙන්, පලුදුවීම් වශයෙන් යැයි දෙපදයකින් අනිත්‍යය මෙනෙහි කරයි. ශුන්‍යයය, අනාත්මයැයි දෙපදයෙන් අනාත්මය මෙනෙහි කරයි. සෙසු පදයන්ගෙන් දුක මෙනෙහි කිරීම පවසන ලදැයි දතයුතුයි. සෙසු පදයන්හි විස්තර ප්‍රකටමය.