3. ඵෙණ පිණ්ඩූපම සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයේ - “ගංගාය නදියා තීරෙ” අයෝධ්‍යා පුරවැසියෝ අප්‍රමාණ වූ භික්‍ෂූන් පිරිවර කරගත් චාරිකාවේ හැසිරෙන තථාගතයන් වහන්සේ, තමාගේ නගරයට වැඩම කළ බව දැක; එක් ගංගාව නැවතී සිටින තැනක වූ, මහා කැළයෙන් සැරසුණු ප්‍රදේශයක බුදුපියාණන් වහන්සේ විහාරයක් කරවා දුන්හ. භාග්‍යවතුන් වහන්සේ එහි වාසය කරයි. ඒ නිසා “ගංගානම් ගං ඉවුරෙහි” යනුවෙන් පවසන ලදී. “තත්‍ර ඛො භගවා භිකඛු ආමන්තෙසි” යනු ඒ විහාරයේ වැඩවෙසෙන භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි ගඳකිළියෙන් නික්ම, ගංතෙර පැනවූ උතුම් බුදු අසුනෙහි හුන්සේක්, ගංගානම් ගඟෙහි පැමිණි මහත් වූ එක් පෙණපිඬක් දුටු සේක් - “මගේ සසුනෙහි පැවිදි වූවන්ට පස්කඳ ආශ්‍රිත වූ එක් ධර්මයක් දේශනා කරන්නෙමි”යි සිතා, පිරිවරාගෙන සිටින භික්‍ෂූන් වහන්සේලා ඇමතූ සේක.
“මහන්තං පෙණපිණ්ඩං” යනු පැනනැගි තැනේදී ඩෙබර ඇටයක් හා සමාන වී පසුව අනුශ්‍රෝත ගමනයෙන් අනුපිළිවෙලින් වර්ධනය වී පර්වත කූටයක් පමණ වූ. යම්තැනක ජල සර්පාදී නොයෙක් ප්‍රාණීහු වාසය කරත්ද එබඳු වූ මහත් පෙනපිඬක් “ආවහෙය්‍ය” යනු ගෙනෙන්නේය යනුයි. ඒ මේ පෙනපිඬද නැගි නැගි තැන්හි බිඳෙයි. මද දුරක් ගොස් බිඳෙයි. නැතිනම් යොදුනක් දෙකක් හෝ ගොස් බිඳෙයි. ඇතැම් පෙනපිඬු අතරතුරදී නොබිඳීම මහමුහුද වෙත ගොස්, එහි දී අනිවාර්යයෙන්ම බිඳේ. “නිජ්ඣායෙය්‍ය” යනු බලන්නේය. සිතන්නේය යනුයි. “යොනිසො උපපරික්ඛෙය්‍ය” යන කරුණු හේතු සහිතව පරික්‍ෂා කර බලන්නේය යනුයි. “කිං හි භික්ඛවෙ ඵෙණපිණ්ඩෙ සාරො” යනු මහණෙනි, පෙණපිඬ හරයක් වන්නේ කෙසේද යනුයි. එය වියලී විනාශ වන්නේම ය.
“එවමෙව ඛො” යම්සේ පෙනපිඬ නිස්සාර වූවක් වේද එසේම රූපය ද නිත්‍ය-සාර-ස්ථිර ආත්මසාර වශයෙන් ගත නොහැකි නිසරු වූවක් ම ය. යම්සේ ඔහුට මේ පෙනපිඬ, පාත්‍රයක් හෝ තලියක් හෝ සාදාගන්නෙමියි ගත නොහැක. ගත්ත ද එම ප්‍රයෝජනය ඉටුකර ගත නොහැක. පෙනපිඬ බිඳෙන්නේමය. එසේම රූපය ද නිත්‍යය. ස්ථිරය. මමය, මාගේය වශයෙන් ගත නොහැක. එසේ එය නොසිටියි. රූපය අනිත්‍යය. දුක්සහගතය. අනාත්මය. අසුභයක්ම වේ. මෙසේ රූපය පෙණපිඬක් හා සමාන ම වේ. යම්සේ පෙණපිඬ කුඩා මහත් සිදුරුවලින් යුතුව - නොයෙක් සන්‍ධිවලින් ගටනා ලදුව, බොහෝ ජලජ ජීවීන්ට වාසස්ථානයක්ව පවතී ද එසේම රූපයත් කුඩාමහත් සිදුරු සහිතව, නොයෙක් සන්‍ධිවලින් ගටනා ලදුයේ වේ. කුල වශයෙන් පමණක් මෙහි අසූවක් පණු වර්ග වාසය කරති. එසේම ඔවුන්ගේ වදන ගෙයද, වැසිකිළිය ද, රෝහලද, සුසානයද වනුයේ මේ ශරීරයමයි. රූපයමයි. ඔවුහු අන් තැනක ගොස් ගැබින් බිහිවීම් ආදිය සිදු නොකරති. මෙසේ පෙණපිඬක් හා සමානය.
යම්සේ පෙනපිඬ ආරම්භයේදී ඩෙබර ඇටයක් වී පසුව අනුපිළිවෙලින් පර්වත කුටයක් පමණ වනුයේද මෙසේ රූපයත් මුලදී කලලයක් පමණ වී, පසුව අනුපිළිවෙලින් ආහාර ලැබ, බඹයක් පමණ ද ගව-මීහරක්-ඇත් ආදීන්ගේ වශයෙන් පර්වත කුටයක් පමණ ද වේ. මත්ස්‍ය-කැසුබු ආදීන්ගේ ශරීරයෙන් නොයෙක් යොදුන් සිය ගණනක් විශාල වේ. මෙසේ ද පෙනපිඬ හා සමානය. යම්සේ පෙනපිඬ හටගත් කෙණෙහි හෝ බිඳෙයි. ටිකදුරක් ගොස් හෝ බිඳෙයි. ඉතා දුර ගොස් හෝ මුහුදට පැමිණ අනිවාර්යයෙන්ම බිඳෙයි. මේ අයුරින් රූපය ද කලල අවස්ථාවේ බිඳී වැනසෙයි. අබ්බුද ආදී අවස්ථාවකදී හෝ නැතිනම් පරමායුෂ වූ වර්ෂ සීයක් ගතකර හෝ අනිවාර්යයෙන්ම බිඳී වැනසී යයි. මරණයේදී සුණුවිසුණුව යයි. මෙසේද පෙනපිඬක් හා සමානය.
“කිංහි සියා භික්ඛවෙ වෙදනාය සාරො” යනාදියෙහි වේදනාදියේද දියබුබුල හා මෙසේ සමානත්වය දතයුතුයි. යම්සේ දියබුබුල අසාරවේද එලෙසින්ම වේදනාව ද සාරවත් දෙයක් නොවේ. යම්සේ එය දුර්වලද ගත නොහැකි ද එය රැගෙන ඵලකයක් හෝ අසුනක් හෝ කිරීමට නොහැකිද එය ගත් කෙනෙහි ම බිඳෙන්නේද වේ. මෙසේ වේදනාවද අබලය. බලයක් නැත. පැමිණ ගත නොහැක. නිත්‍ය-ස්ථිර වූවක් ලෙස ගත නොහැක. ගත්ත ද එසේ නොසිටියි. මෙසේ ප්‍රයෝජනයට ගත නොහැකි බැවින් වේදනාව ද දියබුබුලක් හා සමානය. යම්සේ ඒ ඒ දියබිඳුවෙහි දිය බුබුලක් උපදින්නේද බිඳෙන්නේ ද වේ. එය බොහෝ වේලා නොපවතියි. මෙසේ ම වේදනාව ද උපදින්නේ ද නිරුද්ධ වන්නේද බොහෝවේලා නොපවතින්නේ ද වේ. එක් ඇසුරු සැණෙක කෙළ ලක්‍ෂ ගණනක් වේදනාවෝ ඉපිද නිරුද්ධ වෙති. යම්සේ දියබුබුල, දියතලය, දියබිඳුවක්, ජල තට්ටුවක් ඇදගෙන හා බැඳගෙන වාතය අල්ලාගැනීමෙන් යන සතර කරුණින් උපදියි. මෙසේ වේදනාව ද වස්තුව, අරමුණ, කෙලෙස් තට්ටුව හා ස්පර්ශ-එකට ගැටීම් යන සතර කරුණින් උපදියි. මෙසේද වේදනාව දියබුබුලක් හා සමාන ය.