4. ගොමය පිණ්ඩූපම සූත්ර වර්ණනාව
සිවුවන සූත්රයේ - “සස්සතිසමං” යනු මහාමේරුව, මහපොළව, සඳ-හිරු ආදී සැමදා පවතින්නා වූ ශාස්වත වස්තු සමවූ යනුයි. “පරිත්තං ගොමය පිණ්ඩං” යනු අල්පමාත්ර වූ මීමලක් පමණ වූ ගොමපිඩක්ය. කොතැනින් මේ ගොමපිඩ ලැබුණේද? ගොම මැටි ගෑම පිණිස එළවූ ගොම ගොඩකින් ගන්නා ලදැයි ඇතැම්හු පවසති. මේ දේශනාවේ අර්ථ මනාව අවබෝධ කරවීමට ඍද්ධියෙන් මවා අතට පත්වූවක් කරන ලදැයි දතයුතුයි. “අත්තභාව පටිලාභො” යනු ලබන ලද ආත්මභාවයයි. “නයිදං බ්රහ්මචරියවාසො පඤ්ඤායෙථ” යනු මේ මාර්ග බ්රහ්මචරිය වාසය නම් නොපනවන්නේය යනුයි.
මාර්ගය වනාහි ත්රෛභූමික සංස්කාරයන්ගේ සසර පැවැත්ම නැවැත්වීමෙන් ඇතිවේ. “ඉදින් මෙපමණ වූ හෝ ආත්මභාවය නිත්ය වන්නේ නම් මාර්ගය ඇතිවුවත් සංස්කාර වර්තය නැවැත්වීමට නොහැකි වන්නේයැ”යි බ්රහ්මචරිය වාසය නොපනවන්නේය.
දැන් කිසි සංස්කාරයක් නිත්ය වන්නේ නම්, මවිසින් මහා සුදස්සන රජ දවස අනුභව කළ සම්පත් ද නිත්යවිය යුතුය. නමුත් එය අනිත්ය වූයේ යැයි එම පුවත දැක්වීමට “භූත පුබ්බාහං භික්ඛූ රාජා අහොසිං” යනාදිය වදාළහ. එහි “කුසාවතී රාජධානිප්පමුඛානී” යනු කුසාවතී රාජධානිය ඒ නගරයන්ගෙන් ප්රමුඛ විය. සියල්ලට ම ශ්රේෂ්ඨ විය යන අර්ථයි. “සාරමයානී” යනු රත්සඳුන් හරමය වූ යනුයි. හිස තබන කොට්ට සියල්ලම නූල්වලින්ම කරන ලදී. “ගොණකත්ථතානී” යනු සතරහලකට අධික වූ ගනකම ඇති කළු පලසින් අතුරන ලද මහා පිටක් වේද එය “කෝජව” යැයි කියත්. “පටිකත්ථතානි” යනු දෙපසින් ඉතා සියුම් ලෝමයෙන් කරන ලද සුදු කම්බිලි අතුරන ලද යනුයි. “කාදලිමිගපවරපච්චත්ථරණානී” යනු කෙසෙල්මුව සමින් කරන ලද උතුම් පලස්-ඇතිරිලි අතුරන ලද යනුයි. ඒ අතුරන ලද සුදු ඇතිරිලි මත කෙසෙල් මුවසම් අතුරා මසා කරන ලද පලස් “ස උත්තරච්ඡදානී” යනු ඇඳවියන් සහිතව මත්තෙහි බඳින ලද රතුවියන් සහිත යන අර්ථයි. “උභතො ලොහිතකූපධානානි” හිස්තබන හා පාතබන රතුපාට කොට්ට දෙපස තැබූ කවිච්චි ඇති යනුයි. “වෙජයන්ත රථප්පමුඛානි” යනු මෙහි වෛජයන්ත නම් ඒ රජුගේ රියයි. යමක රෝදවල ඉන්ද්රනීල මැණිකෙන් කල නාභිය වේද, සප්ත රත්නයෙන් කළ රෝද දැති වේද, පබලුමය නිම්වලල්ල වේද, රිදීමය අක්ෂය වේද, ඉන්ද්රනීල මාණික්යමය උප අක්ෂයන් ද, රිදීමය බොන් ලීය වේද, ඒ රථය ඒ සියලු රථ අතර ප්රමුඛ-අග්ර වේ. “දුකූල සන්දනානි” දුහුල් අතුරන ලද යනුයි. “කංසූපධාරණානි” යනු රිදීමය දොවන බඳුන්ය. “වත්ථ කොටි සහස්සානි” යනු කැමති පරිදි අනුභව කරන්නේ යැයි දිය නා සිටි කාලයේ එළවන ලද වස්ත්ර සඳහා ම මෙය කියන ලදී. “භත්තාභිහාරො” ඉදිරියට එළවිය යුතු බවත්ය.
“යමහං තෙන සමයෙන අජ්ඣාවසාමි” යන යම්තැනක වසන්නෙම්ද එය එකම නගරය වේ යනුයි. ඉතිරි නගරයන්හි දූපුතුන් මෙන් දැඩි කම්කරුවෝ ද වාසය කළහ. ප්රාසාද-කුළු ගෙවල් ආදියෙහිද මෙසේමය. කවිච්චි ආදියේ ද එකක් ම රජු පරිහරණය කරයි. ඉතිරිය පුත්රාදීන්ගේ පරිහරණයට පවතියි. ස්ත්රීන් අතුරින් ද එක් තැනැත්තියක් ම ළඟට පැමිණෙන්නීය. සෙසු ස්ත්රීහු පිරිවරාගෙන සිටිනු පමණි. “වෙලාමිකා” යනු බමුණකුට දාව ක්ෂත්රිය කාන්තාවකගේ හෝ ක්ෂත්රියයෙකුට දාව බැමිණියකගේ කුසින් උපන් යනුයි. “පරිදහාමි” යනු එකම වස්ත්ර යුගලයක් පොරවමි. සෙසු වස්ත්ර පිරිවරාගෙන හැසිරෙන පුරුෂයන් සොළොස් ලක්ෂ අසූදාහකට වන්නේයැයි දක්වයි. “භුඤ්ජාමී” යනු උතුම් ප්රමාණයෙන් බත් නැලියක් පමණ අනුභව කරමි යනුයි. සෙසු බත් පිරිවරාගෙන හැසිරෙන අටලක්ෂ හතලිස් දාහක් පුරුෂයන්ට වේයැයි දක්වයි. එක් පිසූ නැලියක බත් පුරුෂයන් දස දෙනෙකුට ප්රමාණවත් වේ.
මෙසේ මේ මහාසුදස්සන රජදවස තිබූ සම්පත්ති දක්වා දැන් එහි අනිත්යභාවය දක්වන සේක් - “ඉති ඛො භික්ඛූ” යනාදිය වදාළහ. එහි “විපරිණතා” යනු ප්රකෘති දහනයෙන් නිවුණු පහනක් මෙන් නොපැණවූ බවට ගිය යනුයි. “එවං අනිච්චා ඛො භික්ඛූ සංඛාරා” යනු මෙසේ වී නොවීම් අර්ථයෙන් අනිත්යය යනුයි.
මෙපමණකින් භාග්යවතුන් වහන්සේ, යම්සේ පුරුෂයෙක් රියන් හතක් උස සපු ගසට හිණිමඟක් බැඳ, නැග සපුමල් ගෙන හිණිමග අත්හරිමින් බසින්නේ ද එලෙසින්ම හිණිමඟක් බඳින්නාක් මෙන් නොයෙක් වර්ෂ කෙළ ලක්ෂ ගණනකට ඉහතින් වූ මහාසුදස්සන රජුගේ සම්පත්තියට නැග, එම බස්නා සේක්. “එවං අනස්සාසිකා” යනු මෙසේ සිහිනෙන් බිවූ පානයක් මෙන් ද සිහිනෙන් ගෑ සඳුනක් මෙන් ද ආශ්වාද රහිතව යනුයි. මෙසේ මෙම සූත්රයේ අනිත්ය ලක්ෂණය කියන ලදී.
සිවුවන සූත්රයයි.
5. නඛසිඛොපම සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ එන පදයන්ගේ අර්ථ මුලදී පැවසූ පරිදිමය.
පස්වන සූත්රයයි.
6. සුද්ධික සූත්ර වර්ණනාව
සවැනි සූත්රය ද එසේමය. අවබෝධ කරන්නාගේ අදහස අනුව දෙසන ලදී.
සවැනි සූත්රයයි.
7. ගද්දුලබද්ධ සූත්ර වර්ණනාව
සත්වන සූත්රයේ - “යං මහා සමුද්දො” යනු යම් සමයක සූර්යයන් පස්දෙනෙකු පහළවූ කල්හි (නැගීසිටිවිට) මහමුහුද වියලේ යනුයි. “දුක්ඛස්ස අන්තකිරියං” යනු චතුරාර්ය සත්යය අවබෝධ නොකර, අවිද්යාවෙන් වසාගන්නා ලද්දේම සසර පවතින දුකෙහි අවසන් කිරීම, ක්ෂය කිරීම නොදෙසමි. “සාගද්දූලබද්ධො” යනු දම්වලින් බැඳි සුනඛයා යනුයි. “ඛීලෙ” යනු පොළවෙහි තලා මට්ටම් කළ මහා හුලකය. “ථම්භෙ” යනු හාරා තබන ලද, සිටවූ ටැඹෙහිය. “එවමෙව ඛො” යන මෙහි සුනඛයා මෙන් සසර පවතින සංසාරික වූ බාල පුහුදුන් පුද්ගලයාත් දම්වැල මෙන් දෘෂ්ටියත් (වැරදි පිළිගැනීම්) ටැඹ කණුව මෙන් සත්කාය දෘෂ්ටියත් (සිය කය සාර වශයෙන් ගැනීමත් දතයුතුයි. දම්වැලින් ටැඹෙහි බඳින ලද සුනඛයාගේ ටැඹ වටා දිවීම පමණක් වීම මෙන් දෘෂ්ටි තණ්හාවෙන් කය සාර වශයෙන් ගෙන බැඳුණු පුහුදුන් පුද්ගලයාගේ සිය ශරීරය වටා දිවීම දතයුතුයි.