7. ඛෙමක සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ - “අත්තනියං” යනු තමාගේ පිරිකර කෙරෙහි හටගත් යනුයි. “අස්මීති අධිගතං” යනු මම වෙමියි මෙසේ පැවති තණ්හා මානයන්ට පැමිණ යනුයි. “සන්ධා වනිකාය” යනු නැවත නැවත ගමනාගමනයෙන්ය. “උපසංකමි” යනු බදරිකාරාමයෙන් ගවුවක් පමණ දුරින් පිහිටි ඝෝෂිතාරාමයට පැමිණි සේක යනුයි. දාසක තෙරුන් වනාහී සතර වරක් එම මාවතෙහි ගමනාගමන කිරීමෙන් එදින යොදුන් දෙකක් පමණ දුර ඇවිද්දේය. කුමක් නිසා ඒ තෙරවරු පණිවුඩ යැවුවාහු ද? ප්‍රසිද්ධ ධර්මකථිකයකුගේ සමීපයෙන් ධර්මය අසමු” යි යනුවෙන් සිතා පණිවුඩ යැවූහ. තමා කුමක් හෙයින් නොගියාහුද? තෙරුන්ගේ වසන තැන වූ ආරණ්‍යය කරදර සහිතය. එහි සැටක් පමණ භික්ෂූහු සිටීමට හෝ හිඳීමට අවසර නොලබයි. එබැවින් ඔවුහු නොගියහ. මෙහි පැමිණ අපට ධර්මය දෙසත්වායි කුමක් හෙයින් දන්වා නොයැවුවාහු ද? තෙරුන්ගේ ආබාධ සහිත බව නිසයි. ඉක්බිති පසුව පුන පුනා පණිවුඩ යැවුවේ කවර හෙයින්ද? “තමන් වහන්සේම දැන අපට ධර්මදේශනා කිරීමට පැමිණෙන්නාහ”යි සිතූ හෙයිනි. තෙරුන් වහන්සේ ද ඔවුන්ගේ අදහස දැනගෙනම එහි වැඩියහ.
“නඛ්වාහං ආවුසො රූපං” යනු යමෙක් රූපයම “මම වෙමි”යි කියයි. මෙයින් ඉතිරි සතර ස්කන්ධය ම ප්‍රතික්ෂේප කරන ලදී. යමෙක් රූපය අත්හැර කියයි ද එයින් රූපය ප්‍රතික්ෂේප කරන ලද්දේ වේ. වේදනාදියෙහි ද මේ ක්රමයම දතයුතුයි. තෙරුන් වහන්සේ වනාහී සමූහ වශයෙන්ම පංචස්කන්ධයෙහි “මම වෙමි”යි අවබෝධ කරගෙන සිටින බැවින් මෙසේ වදාළහ. “හොතෙවා” යනු සිදුවේමය යනුයි. “අණුසහගතො” යනු සූක්ෂම වූ සියුම් වූ යනුයි. “ඌසෙ” යනු අළුගඳයි. “ඛාරෙ” යනු කරගඳයි. “සම්මද්දිත්වා” යනු තෙමා, සෝදා පිරිසිදු කර යනුයි.
“එවමෙව ඛො” යනු මෙහි මේ උපමා සැසඳීමයි. කිලිටි වස්ත්‍රයක් මෙන් පුහුදුන් පුද්ගලයාගේ හිස් හැසිරීම දතයුතුයි. ත්‍රිවිධ ජලවර්ග මෙන් ත්‍රිවිධ අනුපස්සනාවන්ද ත්‍රිවිධ ජලයෙන් සේදූ වස්ත්‍රය මෙන් දේශනාවෙන් මැඩපවත්වාගෙන සිටි අනාගාමී චිත්ත චාරයද සියුම්ව පවතින අළු ආදී ගඳ මෙන් අර්හත් මාර්ගය වර්ජනය කරන ක්ලේශයෝද සුවඳ කරඬු මෙන් අර්හත් මාර්ග ඥානය ද දතයුතුයි. සුවඳ කරඬු ආදියේ දැමීමෙන් සියුම්ව පවතින අළුගඳ ආදිය සම්පූර්ණයෙන් නැසෙන්නාක් මෙන් අර්හත් මාර්ගයෙන් සියලු කෙලෙස් ක්ෂය වී ගඳ දුරුවූ පිරිසිදු වස්ත්‍රය හැඳ පොරවාගෙන උත්සව දිනයෙහි ඇතුලු වීථියේ සුවඳ හමමින් හැසිරීම මෙන් රහතන් වහන්සේගේ සිල්සුවඳ දසදිසාවෙහි කැමති පරිදි හමා යන්නේය.
“ආචික්ඛිතුං” යනු කීමට-පැවසීමටය. “දෙසෙතුං” යනු ප්‍රකාශ කිරීමටය. “පඤ්ඤපෙතුං” දන්වන්නටය. “පට්ඨපෙතුං” පිහිටුවන්නටය. “විචරිතුං” විවර කිරීමටය. “විභජිතුං” මැනවින් බෙදා දැක්වීමටය. “උත්තානීකාතුං” ප්‍රකට වූවක් කිරීමටය. “සට්ඨිමත්තානං ථෙරානං” යනු ඔවුහු වනාහී තෙරුන් විසින් කියූ කියූ තැන්හි විදසුන්හි පිහිටා මතු මතු සිත් විමසා බලන්නාහු දේශනාව අවසානයේ රහත් බවට පත්වූහ. තෙරුන් වහන්සේ ද අනික් ආකාරයකින් කරුණු නොදක්වා විදර්ශනා සහගත වූ සිතින්ම දේශනාව පැවැත්වූ සේක. එනිසා උන්වහන්සේද රහත් බවට පත්වූහ. එනිසා “සට්ඨිමත්තානං ථෙරානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු ආයස්මතො ච ඛෙමකස්සාති”යි කියන ලදී.
සත්වන සූත්‍රයයි.
8. ඡන්න සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ “ආයස්මා ඡන්නො” යනු තථාගතයන් වහන්සේ සමග එම දින උපන්, මහභිනික්මන් කරන දවස්හි එක්ව රජගෙයින් නික්මුණු, නැවත මෑත පසුකාලයේදී උන්වහන්සේ ළඟ පැවිදි වී “බුදුරජ මගේය”, “ධර්මය මගේය” යනුවෙන් සිතන පතන, මෙසේ ගුණමකු වූ එමෙන්ම අනුන්ගේ දොස් කියන්නෙකු වූ, සබ්‍රහ්මචාරීන්ට පරුෂ වදනින් ගැටුම් ඇතිකරන්නා වූ තෙරුන් වහන්සේය. “අවාපුරණං ආදාය” යනු යතුර ගෙන යනුයි. “විහාරෙන විහාරං උපසංකමිත්වා” යනු එක් විහාරයකට පිවිස ඉන් තව විහාරයකට, ඉන් තව විහාරයකට ආදී වශයෙන් ඒ ඒ විහාරයෙන් ඒ ඒ විහාරයට පැමිණ “එතදවොච-ඔවදනතුමං” කුමක් නිසා මෙසේ මහත් වූ උත්සාහයෙන් ඒ ඒ තැනට ගොස් මෙසේ කීවේද? උපන් සංවේග ඇති බැවිනි. ඔහුට ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි, ධර්ම සංග්‍රාහක තෙරුන් විසින් යැවූ ආයුෂ්මත් ආනන්ද හිමියෝ කොසබෑවට ගොස් බ්‍රහ්මදණ්ඩනය පැනවූහ. ඔහු බ්‍රහ්මදණ්ඩනය පැනවූ කල්හි හටගත් පිරිතැවීම් ඇතිවී සිහිවිසංඥව වැටී, නැවත සිහිලැබ-නැගිට එක් භික්ෂුවක් සමීපයට ගියේය. එම භික්ෂුව ඔහුත් සමග කිසිවක් කථා නොකළේය. වෙනත් භික්ෂුවක් ළඟට ගිය විට ද ඡන්න සමග උන්වහන්සේද කථා නොකළ සේක. තවත් භික්ෂුවක් ළඟට ගියේය. ඔහුද කථා නොකළේය. මෙසේ මුලු විහාරය පුරාම සිටි භික්ෂූන් ළඟට ගියත්, පිළිතුරක් නොලැබ කළකිරුණේ පාත්‍ර සිවුරු ගෙන බරණැසට අවුත් උපන් සංවේග ඇතිව ඒ ඒ තැන යමින් මෙසේ පැවසුහ.
“සබ්බෙ සංඛාරා අනිච්චා” යන සියලු ත්‍රෛභූමික සංස්කාරයෝ අනිත්‍යයහ. “සබ්බෙ ධම්මා අනත්තා” යනු සියලු සිවුභූමික ධර්මයෝ අනාත්මය හ. මෙසේ ඒ සියලු ම භික්ෂූහු තෙරුන්ට අවවාද දෙමින් අනිත්‍ය හා අනාත්ම ලක්ෂණ දෙක පමණක්ම පැවසූහ. දුක්ඛ ලක්ෂණය පිළිබඳව කිසිවක් නො පැවසූහ. කුමක් නිසාද? උන්වහන්සේලාට මෙසේ සිතුණු බැවිනි. “මේ භික්ෂුව නිතර වාද කරන්නෙකි. දුක්ඛ ලක්ෂණය පෙන්වාදෙන කල්හි රූපය දුකයි -පෙ- විඤ්ඤාණය දුකයි, මාර්ගය දුකයි, ඵලය දුකයි යනුවෙන් ගන්නා නුඹලා දුකට පත් භික්ෂූහු යැයි අවබෝධ කරගන්නේය. මොහුට එසේ වැරදි අවබෝධයක් ගත නොහැකි සේ නිර්දෝෂ වූම පිළිතුරක් මොහුට දෙන්නෙමු”යි ලක්ෂණ දෙක පමණක්ම දෙසූහ.