4. ථෙර වර්ගය
1. ආනන්ද සූත්‍ර වර්ණනාව
ථෙර වර්ගයේ පළමු සූත්‍රයේ “මන්තාණි පුත්තො” යනු මන්තාණි නම් බැමිණියගේ පුත්‍රයාය. “උපාදාය” යනු පැමිණ, අරබයා, සඳහා, නිසා යනුයි. “අස්මීති හොතී” යනු “මම වෙමි”යි මෙසේ පවතින තණ්හා-මාන-දෘෂ්ටි ප්රපංචත්රය වේ. “දහරො” යනු තරුණ වූ යනුයි. “යුවා” යනු යෞවන බවින් යුක්ත වූ යනුයි. “මණ්ඩනක ජාතියො” යනු සැරසෙන ස්වභාවයයි. සැරසීම් ස්වභාවයයි. “මුඛ නිමිත්තං” මුවෙහි පිළිබිඹුවයි. එය වනාහී පිරිසිදු වූ කැටපත් මණ්ඩලයක් මෙන් ප්‍රකට වේ. කිම එය බලන කල්හි සිය මුහුණ පෙනේද? නැතිනම් වෙනත් අයෙකුගේ මුහුණක් පෙනේද? ඉදින් සිය මුහුණ නම් ඉවතට හැරවී පෙනෙන්නේය. ඉක්බිති අනිකකුගේ වේනම් වර්ණාදියෙන් අසමාන වී පෙනෙන්නේය. එනිසා කැඩපතින් පෙනෙන රුව තමාගේද නොවේ. අනුන්ගේද නොවේ. කැඩපත නිසා සමාන වූම රූපයක් පෙනෙන්නේයැයි කියති. ඉක්බිති යමක් දියෙහි පෙනෙනුයේද ඒ කිනම් කරුණක් නිසාද? මහාභූතයන්ගේ ඉතා පිරිසිදු බව නිසයි. “ධම්මො මෙ අභිසමෙතා” මවිසින් ඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන “සෝවාන් වූයෙමි”යි කියයි.
පළමු සූත්‍රයයි.
2. තිස්ස සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයේ - “මධුරකජාතො විය” යනු හටගත් ගරුභාව ඇත්තාක් මෙන් අකර්මණ්‍ය වූයේ යනුයි. “දිසාපි මෙ” යනු මේ පෙරදිගයි. මේ දකුණු දිගයි. මෙසේ දිශාවන්ද මට නොවැටහේ යනුයි. ප්‍රකට නොවේයැයි කියයි. “ධම්මාපි මං නප්පටිභන්ති” යනු ‘පර්යාප්ති ධර්මය ද මට නොවැටහේ යනුයි. උත්ග්රහණය කළ දේද සජ්ඣායනා කළ දේද නොපෙනේ” යැයි කියයි. “විචිකිච්ඡා” යනු අපට මහා සැකයක් ඇත යනුයි. මේ ශාසනය සසරින් නික්මීම ගෙනදෙන්නක්ද? නැද්ද?යි සැක උපදියි. මෙසේ ඔහුට “මහණදම් කිරීමට හැකිද?” යන සැකය ඇතිවේ. නැතිනම් පාසිවුරු දැරිම පමණක්ම කරන්නෙමියි සිතයි.
“කාමානමෙතං අධිවචනං” යනු යම් සේ නිම්නයක්, මඩවලක් බලන්නාට දැකීමට තරම් සිත්කලු දෙයක් නොමැති ද යමෙක් ඊට බසිත් ද ඔහු චණ්ඩ මාලු සමූහයා විසින් ඇද අනේක වූ ව්‍යසනයන්ට පමුණුවයි. මේ අයුරින් ම පඤ්චකාම ගුණයන්හි චක්ෂුද්වාරාදියේ අරමුණු ගැනීමෙහි සිත් අලවන බවක් පමණකුදු නැත. යමෙක් රූපයේ ගිජු බවට පැමිණේද ඔහු නිරයාදියට ඇදගෙන ගොස්ම දමති. “කාමයේ අල්ප වූ ආශ්වාදයක් ඇත. බොහෝ දුක් - බොහෝ කරදර ඇති කාමයෙහි ආදීනව අධිකය.” මේ අර්ථ වශයෙන් දකිමින් කාමයන්ට මේ තවත් වචනයකැයි කියන ලදී. “අහමාමිසධම්මානුග්ගහෙන” යනු මම ධර්ම-ආමිෂ අනුග්රහයන්ගෙන් අනුග්‍රහ කරමි යනුයි. “අභිනන්දති” යනු පිළිගත්තේය යනුයි. හුදෙක් සතුටු වීම පමණක් නොවේ. මොහු ශාස්තෲන් වහන්සේ සමීපයේ දී අස්වැසිල්ලක් ලැබ උත්සාහ කරනුයේ වෑයම් කරනුයේ කිහිප දිනකින්ම රහත්බවෙහි පිහිටියේය.
දෙවන සූත්‍රයයි.
3. යමක සූත්‍ර වර්ණනාව
තෙවන සූත්‍රයේ - “දිට්ඨිගතං” යනු ඉදින් ඔහුට “මෙසේ සංස්කාරයෝ උපදිති. එමෙන්ම නිරුද්ධ වෙති. සංස්කාර පැවතීම ද නොපැවතීම ද වේ” යන හැඟීම වේනම් එය දෘෂ්ටිගතයක් නම් නොවන්නේය. ධර්මයෙහි ඥානයක් වන්නේ නම් “යම් හෙයකින් මේ සත්ත්වයා වැනසෙන්නේය. විනාශවන්නේය.” යන අදහස වේ නම් එය දෘෂ්ටිගතයක් වන්නේය යනුයි. “ථාමසාපරාමාස්ස” යනු දෘෂ්ටි වීර්යයෙන්ය. මෙන් ම දෘෂ්ටිය අල්ලා ගැනීමෙන්.
“යෙනායස්මා සාරිපුත්තො” යම්සේ ප්‍රත්‍යන්ත ජනපදයක කෝලහලයක් ඇතිවූ විට - එය සන්සිඳවීමට නොහැකි වූ විට රාජපුරුෂයෝ යුධ සේනාපති හෝ රජතුමා හමුවට යන්නේ ද මෙසේ දෘෂ්ටි ගැනීමෙන් මේ තෙරුන් වහන්සේ කෝපවූ කල්හි එය සන්සිඳවීමට නොහැකි වූ ඒ භික්ෂූහු යම්තැනක ධර්මරාජයන් වහන්සේගේ ධර්මසේනාපති වූ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සිටිත් ද එතැනට පැමිණියහ.