6. අස්සජි සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයේ - “කස්සපකාරාමෙ” යනු කස්සප සිටු විසින් කරවූ ආරාමයේය. “කාය සංඛාරෙ” යනු ආශ්වාස-ප්‍රශ්වාසයන්ය. ඔහු වනාහි චතුත්‍ථ ධ්‍යානයට සමවැදී වැඩහුන්හ. “එවං හොති” යනු දැන් එම සමාධිය නොලබන හෙයින් මෙසේ විය යනුයි. “නොචක්ඛාහං පරිහායාමි” “මම කෙසේ නම් සසුනින් නොපිරිහෙම්ද?” උන්වහන්සේ ආබාධ දෝෂයෙන්-දුක් වේදනාව ඇතුලට පිවිසි හෙයින් සමවතින් පිරිහුණු සේක. එනිසා මෙසේ සිතූහ. “සමාධි සාරකා සමාධි සාමඤ්ඤා” යනු සමාධියම සාරය ලෙසද ශ්‍රවන බව ලෙසද සිතයි යනුයි. මගේ සසුනෙහි මෙය සාර වශයෙන් නොගනියි. විදර්ශනා මාර්ග ඵලයන්ම සාර වශයෙන් ගනියි. එනිසා නුඹ සමාධියෙන් පිරිහෙන කල්හි “සසුනින්ද පිරිහේ” යැයි කුමක් නිසා සිතුවේද? මෙසේ තෙරුන් වහන්සේ අස්වසා, දැන් උන්වහන්සේට තිපර්වර්ත ධර්මදේශනාව අරඹන සේක් “තං කිං මඤ්ඤසි” යනාදිය වදාළහ.
එවිට උන්වහන්සේට තිපරිවර්ත ධර්මදේශනාව අවසන්හි රහත් බවට පත්වූ විට නිතර විහරණය කළයුතු අයුරු දක්වන සේක් “සො සුඛඤ්චෙ වෙදනං වෙදියති” යනාදිය වදාළහ. එහි “අනභිනන්‍දිතාති පජානාති” යනුවෙන් සැප වේදනාව නිසා පළමුව සතුටුවීම වෙත්වා. දුක් වේදනාවෙන් කෙසේ සැප ඇතිවේද? දුකට පත්වූ තැනැත්තා සැප ප්‍රාර්ථනා කරයි. යම්තැනක පටන් දුකට පත්වීද එතැන් පටන් සැප ප්‍රාර්ථනා කරන්නේමය. “සැප විපරිණාමයට පත්වීමෙන් දුක පැමිණෙන්නේ ම වේ.” මෙසේ දුකේදී සතුටුවීම දතයුතුයි. සෙසු පදාර්ථ හා විස්තර ඉතා ප්‍රකට ය.
සයවන සූත්‍රයයි.
7. ඛෙමක සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ - “අත්තනියං” යනු තමාගේ පිරිකර කෙරෙහි හටගත් යනුයි. “අස්මීති අධිගතං” යනු මම වෙමියි මෙසේ පැවති තණ්හා මානයන්ට පැමිණ යනුයි. “සන්‍ධා වනිකාය” යනු නැවත නැවත ගමනාගමනයෙන්ය. “උපසංකමි” යනු බදරිකාරාමයෙන් ගවුවක් පමණ දුරින් පිහිටි ඝෝෂිතාරාමයට පැමිණි සේක යනුයි. දාසක තෙරුන් වනාහී සතර වරක් එම මාවතෙහි ගමනාගමන කිරීමෙන් එදින යොදුන් දෙකක් පමණ දුර ඇවිද්දේය. කුමක් නිසා ඒ තෙරවරු පණිවුඩ යැවුවාහු ද? ප්‍රසිද්ධ ධර්මකථිකයකුගේ සමීපයෙන් ධර්මය අසමු” යි යනුවෙන් සිතා පණිවුඩ යැවූහ. තමා කුමක් හෙයින් නොගියාහුද? තෙරුන්ගේ වසන තැන වූ ආරණ්‍යය කරදර සහිතය. එහි සැටක් පමණ භික්‍ෂූහු සිටීමට හෝ හිඳීමට අවසර නොලබයි. එබැවින් ඔවුහු නොගියහ. මෙහි පැමිණ අපට ධර්මය දෙසත්වායි කුමක් හෙයින් දන්වා නොයැවුවාහු ද? තෙරුන්ගේ ආබාධ සහිත බව නිසයි. ඉක්බිති පසුව පුන පුනා පණිවුඩ යැවුවේ කවර හෙයින්ද? “තමන් වහන්සේම දැන අපට ධර්මදේශනා කිරීමට පැමිණෙන්නාහ”යි සිතූ හෙයිනි. තෙරුන් වහන්සේ ද ඔවුන්ගේ අදහස දැනගෙනම එහි වැඩියහ.
“නඛ්වාහං ආවුසො රූපං” යනු යමෙක් රූපයම “මම වෙමි”යි කියයි. මෙයින් ඉතිරි සතර ස්කන්‍ධය ම ප්‍රතික්‍ෂේප කරන ලදී. යමෙක් රූපය අත්හැර කියයි ද එයින් රූපය ප්‍රතික්‍ෂේප කරන ලද්දේ වේ. වේදනාදියෙහි ද මේ ක්‍රමයම දතයුතුයි. තෙරුන් වහන්සේ වනාහී සමූහ වශයෙන්ම පංචස්කන්‍ධයෙහි “මම වෙමි”යි අවබෝධ කරගෙන සිටින බැවින් මෙසේ වදාළහ. “හොතෙවා” යනු සිදුවේමය යනුයි. “අණුසහගතො” යනු සූක්‍ෂම වූ සියුම් වූ යනුයි. “ඌසෙ” යනු අළුගඳයි. “ඛාරෙ” යනු කරගඳයි. “සම්මද්දිත්‍වා” යනු තෙමා, සෝදා පිරිසිදු කර යනුයි.
“එවමෙව ඛො” යනු මෙහි මේ උපමා සැසඳීමයි. කිලිටි වස්ත්‍රයක් මෙන් පුහුදුන් පුද්ගලයාගේ හිස් හැසිරීම දතයුතුයි. ත්‍රිවිධ ජලවර්ග මෙන් ත්‍රිවිධ අනුපස්සනාවන්ද ත්‍රිවිධ ජලයෙන් සේදූ වස්ත්‍රය මෙන් දේශනාවෙන් මැඩපවත්වාගෙන සිටි අනාගාමී චිත්ත චාරයද සියුම්ව පවතින අළු ආදී ගඳ මෙන් අර්හත් මාර්ගය වර්ජනය කරන ක්ලේශයෝද සුවඳ කරඬු මෙන් අර්හත් මාර්ග ඥානය ද දතයුතුයි. සුවඳ කරඬු ආදියේ දැමීමෙන් සියුම්ව පවතින අළුගඳ ආදිය සම්පූර්ණයෙන් නැසෙන්නාක් මෙන් අර්හත් මාර්ගයෙන් සියලු කෙලෙස් ක්‍ෂය වී ගඳ දුරුවූ පිරිසිදු වස්ත්‍රය හැඳ පොරවාගෙන උත්සව දිනයෙහි ඇතුලු වීථියේ සුවඳ හමමින් හැසිරීම මෙන් රහතන් වහන්සේගේ සිල්සුවඳ දසදිසාවෙහි කැමති පරිදි හමා යන්නේය.