4. අනුරාධ සූත්‍ර වර්ණනාව
සිවුවන සූත්‍රයේ - “අරඤ්ඤකුටිකායං” යනු ඒ විහාරයේම ඈත කෙළවරක පන්සලක්ය. “තං තථාගතො” යනු ඒ තථාගත සත්ත්‍වයෙක් වේද උන්වහන්සේ නුඹගේ ශාස්තෲ වූ තථාගතයෝය. “අඤ්ඤත්‍රිමෙහි” යනු උන්වහන්සේට මෙසේ සිත්විය. “මොවුහු බුදුසසුනට ප්‍රතිපාක්‍ෂිකයෝය. විරුද්ධකාරයෝය. මොවුහු පවසන අයුරින් ශාස්තෲන් වහන්සේ ප්‍රකට නොවන්නේය. අනු අයුරකින් ප්‍රකට කරන්නෙමි”යි මෙසේ වදාළහ. “එවං වුත්තෙ තෙ අඤ්ඤතිත්‍ථියා” මෙසේ තෙරුන් විසින් තමාගේද අනුන්ගේද ආගමික ඉගැන්වීම් නොදන පිළිතුරු දුන් කල්හි, එක් පැත්තකින් පමණක් බුදුසමය දන්නා වූ තෙරුන්ගේ වාදයෙහි දොස් දක්වනු කැමති ඒ අන්‍ය තීර්ථක පිරිවැජියෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට මෙසේ පැවසූහ.
“තං කිං මඤ්ඤසි අනුරාධ” යනුවෙන් ශාස්තෲන් වහන්සේ උන්වහන්සේගේ කථාව අසා මෙසේ සිතු සේක. “මේ භික්‍ෂුව තමා පිළිගත් ලබ්ධියෙහි දොස් නොදනියි. මොහු කාරකයෙක් සිටීයැයි ගත් අදහස් ඇත්තෙකි. ධර්ම දේශනාවෙන් ම මොහුට මෙය අවබෝධ කරවමියි තිපරිවර්ත දේශනාව පවත්වනු කැමති සේක් “තං කිං මඤ්ඤසි අනුරාධ” යනාදිය දෙසූහ. ඉක්බිති උන්වහන්සේට, මෙම දේශනාවෙන් රහත්බවට පත්වීමට අවශ්‍ය වත්පිළිවෙත් මාර්ගය පෙන්වා ඊට යොමුකරන සේක් - “තං කිං මඤ්ඤසි අනුරාධ! රූපං තථාගතො” යනාදිය දෙසූහ. “දුක්ඛඤ්චෙව පඤ්ඤාපෙමි දුක්ඛස්සච නිරොධං” යනු සසර පවත්නා දුක මෙන්ම සසර පවත්නා දුකෙහි නිරෝධය වූ නිර්වාණය ද පනවමි. දේශනාකරමි. “දුක්ඛං” යන වචනයෙන් දුක්ඛ සත්‍යය ගන්නා ලදී. අදහස් කරන ලදී. එසේ ගත්කල්හි එම වචනයෙන් ම සමුදය සත්‍යය ද අදහස් කළා වේ. එහි මූලය වූ “නිරොධං” යන වචනයෙන් නිරෝධ සත්‍යය අදහස් කරන ලදී. එය ගත් කල්හි මාර්ග සත්‍යය ද අදහස් කළේ වේ. මේ ක්‍රමයෙන් මෙහිදී පෙර “අනුරාධය! මම දැන් චතුරාර්ය සත්‍යයම දේශනා කරමි”යි දැක්වූ සේක. මෙසේ මෙම සූත්‍රයෙහි සංසාරික පැවැත්ම හා නැවැත්වම දේශනා කරන ලදී.
සිවුවන සූත්‍රයයි.
5. වක්කලි සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ “කුම්භකාර නිවෙසනෙ” යනු කුම්භකාර ශාලාවෙහි තෙරුන් වහන්සේ වස් වැස නිමවී පවාරණය කොට, භාග්‍යවතුන් වහන්සේ දැකීමට පැමිණේ. ඒ නුවර මැද දී උන්වහන්සේට මහා ආබාධයක් උපන්නේය. පාදයෝ ගමන් කිරිමට නොහැකි වෙයි. එවිට සෙසු ජනයා උන්වහන්සේ ඇඳක හොවා කුම්භකාර ශාලාවේ තැබූහ. ඒ ශාලාව ද කර්මාන්ත ශාලාවක් හෝ වාසය කරන ශාලාවක් නොවේ. ඒ සඳහා කියන ලදී. කුම්භකාර ශාලාවේ වාසය කරයි’ යනුවෙන්. “බාළ්හගිලානො” යනු දැඩිසේ රෝගාතුරවය. “සමධොසි” යනු හාත්පසින් යට වූ. සෙලවෙන ආකාරයෙන් ගෞරව දැක්වීම් දැක්වීය. මෙය ඉතා සුදුසුමය. දැඩිසේ ගිලන් වුවත් තමාට වඩා වැඩිමහල්ලෙකු දැක නැගිටින ආකාරයෙන් ගෞරව දැක්විය යුතුමය. ඔහු විසින් “නොසෙලවෙන්න. නොසෙලවෙන්න”යි කිව යුතුයි. “සන්ති මානි ආසනානි” යනු බුද්ධකාලයේ එක භික්‍ෂුවක් වසන තැන වුවත් ඉදින් ශාස්තෲන් වහන්සේ වැඩම කරන්නේ නම් “මෙහි හිඳින සේක්වා!”යි අසුනක් පැනවූයේම වේ. යටත් පිරිසෙන් ඵලකයක් මත හෝ තණපත් ඇතිරියක් මත හෝ මේ අසුන පනවනු ලැබේ. “ඛමනීයං යාපනීයං” “කිම දුක් වේදනා ඉවසිය හැකිද?” “ඉරියව් පැවැත්විය හැකිද?”යි විමසූ සේක යනුයි. “පටික්කමන්තී” යනු නැවතේ ද? අඩුවේද? යනුයි. “අභික්කමනත” යනු වැඩිවේද? ඉහල යයි ද? යනුයි. “පටික්කමොසානං” යනු මේවායේ ඉවත්වීම පසෙකට වීමයි. “සීලතො න උපදවති” යනු සීලය අරබයා ශීල භාවයෙන් උපවාද නොකරයි යනුයි. “චිරපටිකාහං” යනු “මම බොහෝ කාලයක පටන්”ය. “මීට පෙර බොහෝ කාලය සිට” යන අර්ථයි. “පූතිකායෙන” තමාගේ රන්වන් වූ කය පිළිබඳව මෙසේ නිති වැගිරෙන අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “යෙ ඛො වක්කලී ධම්මං” යනු මෙහි භාග්‍යවතුන් වහන්සේ “මහරජ! ධර්මකාය නම් තථාගතයෝයැ”යි දෙසු බැවින් ධර්මකාය බව දක්වයි. ලෝකෝත්තර ධර්මයෙහි තථාගතයන් වහන්සේගේ “කය” නව වැදෑරුම් වේ.