ග. නිස්සරණනිද්දෙසවණ්ණනා
නිස්සරණ නිර්දේශයෙහි, අධිමොක්ඛට්ඨෙන යන ආදීන්හි එකිනෙකෙහි ඉන්ද්රියයන් පහ, පහ බැගින්කොට, පඤ්ච ඉන්ද්රියයන්ගේ පස්විසි නිස්සරණයෝ මාර්ගඵල වහයෙන් විස්තර කරන ලදහ. එහි තතො පණීත තර සද්ධින්ද්රියස්ස පටිලාභා යන විදර්ශනා ක්ෂණයෙහි පැවැති ශ්රද්ධෙන්ද්රියයට වඩා, මාර්ගක්ෂණයෙහි ප්රණීතතර ශ්රද්ධෙන්ද්රියයාගේ ප්රතිලාභ වශයෙන්, පුරිමතර සද්ධින්ද්රිය නිස්සටං හොති යනු එම මාර්ගක්ෂණයෙහි පැවැති ශ්රද්ධෙන්ද්රිය පළමු විදර්ශනාක්ෂණයෙහි ශ්රද්ධෙන්ද්රිය කෙරෙන් නික්මුණේ වේ. මෙම ක්රමයෙන්ම ඵලක්ෂණයෙහි ශ්රද්ධෙන්ද්රියයද, දෙතැන්හි සෙසු ඉන්ද්රියයෝද යෙදිය යුත්තාහ.
පුබ්බහාගෙ පඤ්චහි ඉන්ද්රියෙහි යනු ප්රථම ධ්යානෝපචාරයෙහි පඤ්ච ඉන්ද්රියයන්ගෙන් ප්රථමධ්යානාදී අට සමවත් වශයෙන්, අට නිස්සරණයෙන්, අනිත්යානුපස්සනාදී, අටළොස් මහා විදර්ශනා වශයෙන් අටළොස් නිස්සරණයන් සෝතාපත්ති මාර්ගාදී වශයෙන් අට ලෝකෝත්තර නිස්සරණයෙන්, මෙසේ ධ්යාන, සමවත් මහා විදර්ශනා මාර්ග ඵල වශයෙන් තිස් සතරෙක් වූ නිස්සරණ පළමු පළමු ඉක්මවීමෙන් යයි විස්තර කරන ලදි. නෙක්ඛම්මෙ පඤ්චින්ද්රියානි යනාදී සත්තිස් නිස්සරණයෝ ප්රතිපක්ෂ ප්රහාණ වශයෙන් ප්රතිපක්ෂ වශයෙන් විස්තර කරන ලදහ. එහි නෛෂ්ක්රම්යාදී සතෙහි, සිත් නිස්සරණ උපචාර භූමි වශයෙන් යූ.සේයි. ඵල වනාහි ප්රතිපක්ෂ ප්රහාණයෙන් නොවන හෙයින් නොකියන ලදි.
දිට්ඨෙකට්ඨෙ යනු සෝවාන් මාර්ගය දක්වා දෘෂ්ටිය සමග එක් පුද්ගලයෙක් කෙරෙහි සිටියේ (පැවැතියේ) නුයේ දිට්ඨෙකට්ඨායි. එම දෘෂ්ටිය හා සමග එක්වැ සිටි කෙලෙසුන් කෙරෙන්. ඔළාරිකෙහි යනු දළ කාමරාග ව්යාපාදයන්ගෙන්, අනුසහගතෙහි යනු සියුම් වූ කාමරාග ව්යාපාදයන්ගෙන්ම, සබ්බ කිලෙසෙහි යනු රූපරාගාදියෙන්, ඒවා ප්රහීණ වූ කල්හි සියලු කෙලෙස්හු ප්රහීණ වූවාහු වෙති. එහෙයින් සියලු කෙලෙසුන්ගෙන් යයි යූ.සේයි. මෙහි නොකියන ලද පදයන්හි අර්ථ යූ.සේයි. සබ්බෙ සඤ්ඤෙව ඛීණාසවානං තත්ථ තත්ථ පඤ්චින්ද්රියානි යනු අධිමෝක්ෂාර්ථයෙන් යැයි ආදි පෙර කියන ලද ස්ථානයන්හි, ඒ ඒ ස්ථානයන්හි පංච ඉන්ද්රියයෝ, බුදු, පසේබුදු, බුද්ධශ්රාවක, ක්ෂීණාශ්රවයින්ට සුදුසු පරිදි නික්මුණාහු වෙති. මෙම වාරයෙහි පළමු කියන ලද ක්රමයෙන්ම සුදුසු පරිදි, ක්ෂීණාශ්රව වශයෙන් යූ.සේයි.
කෙසේ වනාහි එම නිස්සරණ එක්සිය අසූවක් වේද යත්? කියනු ලැබේ. මාර්ගඵල වශයෙන් විසිපහකි. සමතික්රම වශයෙන් තිස්හතරකි. ප්රතිපක්ෂ වශයෙන් තිස්හතක්දැයි ප්රථම වාරයෙහි කියන ලද අනූහයක් නිස්සරණයෝ වෙති. ඒවාම දෙවනවර ක්ෂීණාශ්රවයන්ගේ වශයෙන් දොළස ඉවත් කළ කල්හි, අසූහතරක් වෙයි. මෙසේ පළමු අනූහයද, මෙම අසූහතරද එක්වූ කල එක්සිය අසූවක් වෙයි. කවර දොළසෙක් ක්ෂීණාශ්රවයන්ගෙන් ඉවත් කළයුතුද? සමති ක්රමයෙන් යැයි කී කල්හි මාර්ගඵල වශයෙන් කියන ලද අට නිස්සරණයන්ද, ප්රතිපක්ෂ වශයෙන් කියන ලද්දෙහි මාර්ග වශයෙන් කියන ලද සතරදැයි මෙම දොළොස ඉවත් කළයුතුය. අර්හත් ඵල වශයෙන් කියන ලද ඒවා කවර හෙයින් ඉවත් කළයුතුද යත්? සියල්ලට පළමුව කියන ලද පස්විසි නිස්සරණයන් මාර්ගඵල වශයෙන් ලැබෙන හෙයින්, අර්හත්ඵල වශයෙන් නිස්සරණයෝ කියන ලද්දාහුම වෙති. යට යට ඵල සමවතට, මතු මතු ඵල සමාපත්තිලාභීහු සම නොවදිත්මයැයි යට යට ඵලයන් නොලබත්මය. මෙම ඉන්ද්රිය පසම කල් ඇතිවම ප්රතිපක්ෂයන් සංසිඳවූ හෙයින් ප්රතිපක්ෂ වශයෙන් නික්මුණාහුම වෙති.
ද්විතීය සූත්රාන්ත නිර්දේශ වර්ණනාව නිමි.
3. තෘතීය සූත්රාන්ත නිර්දේශ වර්ණනාව
නැවත අන් සූත්රයක් බහා, ඉන්ද්රිය නියමය, නිර්දේශ කරනු කැමැතියේ, ‘පඤ්චිමානි භික්ඛවෙ’ යනාදිය වදාළහ. එහි සොතාපත්ති යංගෙසු යන මෙහි සොත යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එම ස්රෝතසට පැමිණීම බොහෝකොට පැමිණීම සෝතාපත්තියි. ස්රෝතසට පැමිණීමේ අංගනුයි, කොටස්නුයි. ස්රෝතාපත්ති අංගයෝය, ස්රෝතසට පැමිණීමේ ස්වභාවයෙහි පූර්වභාග ප්රතිලාභ අංගයෝය. සත්පුරුෂ සේවනය ස්රෝතාපත්ති අංගයකි. සද්ධර්ම ශ්රවණය ස්රෝතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම ස්රෝතාපත්ති අංගයකි. ධර්මානුධර්ම ප්රතිපත්තිය ස්රෝතාපත්ති අංගයකි. මෙම සතර ස්රෝතාපත්ති අංගය, සෙස්ස යට යූ.සේයි. මෙයද මෙම ඉන්ද්රියයන්ගේ තම විෂයයෙහි ජ්යෙෂ්ඨකත්වභාවය දැක්වීම සඳහා යූ.සේයි. යම්සේ සිවු සිටු පුත්හු රජුද යැයි රාජපංචම යහළුවන් අතරෙහි නැකැත් ක්රීඩා කරන්නෙමුයි, වීථියට බටකල්හි එක් සිටුපුත්රයෙකුගේ නිවසට ගියකල්හි අනෙක් සිව්දෙනා නිශ්ශබ්දව හිඳත්. ගෙහිමියාම කෑයුතු දෑ බුදිය යුතු දෑ දෙවු. මොවුන්ට, සුවඳ මල්මාලා ලංකාරාදිය දෙවු යයි ගෙයි විධාන කරයි. දෙවැන්නාගේ, තෙවැන්නාගේ, සිව්වැන්නාගේ ගෘහයට ගියකල්හි අනෙක් සිව්දෙන නිශ්ශබ්දව හිඳිත්. ගෙහිමියාම මොවුන්ට කෑයුතු දෑ, බිය යුතු දෑ දෙවු. මොවුන්ට සුවඳ මල්මාලාලංකාර දෙවු යයි ගෙයි විධාන කරයි. ඉක්බිති සියල්ලම රජුගේ ගෘහයට ගියකල්හි කිසිසේත් රජු හැමතැන ඓශ්වර්යවත්වයෙන් යුක්ත වූයේ නමුදු මෙම අවස්ථාවෙහි තමාගේ ගෘහයෙහිම මොවුන්ට කෑයුතු දෑ බිය යුතු දෑ දෙවු. මොවුන්ට සුවඳ මල් මාලාලංකාර දවෙු යයි විධාන කරයි. එපරිද්දෙන්ම ශ්රද්ධා පංචම ඉන්ද්රියයන්හි ඒවාහි සයෝගයෙන්ම එක්ව වීථියට බස්නාක් මෙන් එක් අරමුණෙක් උපදනා කල්හිද, යම්සේ පළමු ගෘහයෙහි අනෙක් සිව්දෙන නිශ්ශබ්දව හිඳිත්ද, ගෙහිමියාම විධාන කරයිද, එපරිද්දෙන් ස්රෝතාපත්ත්යාංගයන්ට පත්ව තිර ලක්ෂණයෙන් යුත් ශ්රද්ධෙන්ද්රියයම ජ්යෙෂ්ඨ වේ. පූර්වාංගම වේ. සෙසු ඉන්ද්රියයෝ ඒ හා අනුගත වෙති. යම්සේ දෙවැන්නාගේ ගෘහයෙහිදී, අනෙක් සතරදෙන නිශ්ශබ්දව හිඳිත්ද, ගෙහිමියාම විධාන කෙරේද, එපරිද්දෙන් සම්යක් ප්රධානයන්ට පත්ව දැඩිව අල්ලාගැනීම් ලක්ෂණැති වීර්යෙන්ද්රියයම ජ්යෙෂ්ඨ වේ. පූර්වාංගම වේ. සෙසු ඉන්ද්රියයෝ ඒ හා අනුගත වෙති. යම්සේ තෙවැන්නාගේ ගෘහයෙහිදී අනෙක් සිව්දෙන නිශ්ශබ්දව හිඳිත්ද, ගෙහිමියාම විධාන කරයිද, මෙසේ සතිපට්ඨානයන්ට පත්ව එළැඹ සිටීම් ලක්ෂණ සතින්ද්රියම ජ්යෙෂ්ඨ වේද, පූර්වාංගම වේද, සෙසු ඉන්ද්රියයෝ ඒ හා අනුගත වෙත්ද, යම්සේ සිව්වැන්නාගේ ගෘහයෙහිදී අනෙක් සිව්දෙන නිශ්ශබ්දව හිඳිත්ද? ගෙහිමියාම විධාන කෙරේද? එසේම ධ්යානයන්ට පත්ව නොවිසිරීම් ලක්ෂණ වූ සමාධින්ද්රියයම ජ්යෙෂ්ඨ වේ. පූර්වාංගම වේ. සෙසු ඉන්ද්රියයෝ ඒ හා අනුගත වෙති. සියල්ලන්ට පසුව රජුගේ ගෘහයට ගිය කල්හි වනාහි යම්සේ අනෙක් සතරදෙන නිශ්ශබ්දව හිඳිත්ද? රජම විධාන කෙරේද? එපරිද්දෙන් චතුරාර්ය සත්යයන්ට පත්ව දැනගැනීම් ලක්ෂණ වූ ප්රඥෙන්ද්රියයම ජ්යෙෂ්ඨ වෙයි. පූර්වාංගම වෙයි. සෙසු ඉන්ද්රියයෝ ඒ හා අනුගත වෙති.