2. ද්විතීය සූත්‍රාන්ත නිර්දේශ වර්ණනාව
නැවත අන් සූත්‍රාන්තයක් බහා ඉන්‍ද්‍රිය නියමය නිර්දේශ කරනු කැමැතියේ, පඤ්චිමානි භික්ඛවෙ යන ආදී සූත්‍රාන්තයේ දක්වයි. එහි යෙහි කෙචි යනු ශේෂ රහිත ගැනීමයි. හිකාරය පද පූරණ මාත්‍ර නිපාතයි. සමණාවා බ්‍රාහ්මණා වා යනු ලෝක ව්‍යවහාර වශයෙන් යූ.සේයි. සමුදයං යනු ප්‍රත්‍යයයි. අත්‍ථංගමං යනු හටගත් දෑහි අභාවයට යාම, නූපන් දෑහි නොඉපැත්ම හෝ, අස්සාදං යනු අනුසස්, ආදීනවං යනු දොස්, නිස්සරණං යනු නික්මයාමයි. යථාභූතං යනු තත්‍වාකාර, සමණෙසු යනු සංසිඳවූ පාපයන් ඇත්තවුන් කෙරෙහි, සමණ සම්මතා යනු මවිසින් ශ්‍රමණයන් සම්මත නුවූවාහු, සම්මතා යයි වර්තමාන කාල වශයෙන් කියනු ලබන කල්හි ශබ්ද ලක්‍ෂණ වශයෙන් මාගේ යයි මෙහි ෂෂ්ඨි වචනයම වෙයි. බ්‍රාහ්මණෙසු යනු බහා තැබූ පාපයන් ඇත්තවුන් කෙරෙහි, සමාඤ්ඤත්‍ථං ශ්‍රමණ භාවයාගේ අර්ථයයි. බ්‍රහ්මඤ්ඤත්‍ථං යනු බ්‍රාහ්මණ භාවයෙහි අර්ථයයි. ද්වයෙන්ම අර්හත් ඵලයම යූ.සේයි. නොහොත් සාමඤ්ඤත්‍ථං යනු යට ඵලත්‍රයයයි. බ්‍රහ්මඤ්ඤත්‍ථං යනු අර්හත් ඵලයයි. සාමඤ්ඤ බ්‍රහ්මඤ්ඤ යනු ආර්ය මාර්ගයමය. දිට්ඨෙව ධම්මෙ යනු වර්තමාන ආත්මභාවයෙහි, සයං අභිඤ්ඤා සච්ඡිකත්‍වා යනු තමා විසින්ම අධික වූ ඤාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට, උපසම්පජ්ජ යනු පැමිණ හෝ නිපදවා හෝ.
සූත්‍රාන්ත නිර්දේශයෙහි, පළමුව, ඉන්‍ද්‍රිය හටගැනීම් ආදීන්හි ප්‍රභේද සංඛ්‍යාව විචාරා නැවත ප්‍රභේද සංඛ්‍යාව විසඳන ලදි. එහි අසීති සතං යනු එක්සිය අසූවකි. පණ්ඩිතයන් විසින් එක්සිය අසූවකැයි කියන ලද ආකාරයන්ගෙන් යෙදීමයි.
නැවත ප්‍රභේද සංඛ්‍යා විමැසීම් පූර්වාංගම සංඛ්‍යා නිර්දේශයෙහි අධිමොක්ඛත්‍ථාය යනු ස්ථිර ලෙස පිහිටීම සඳහා, විශ්වාස කිරීම සඳහා, ආවජ්ජනාය සමුදයො යනු මනෝද්වාරාවර්ජන චිත්තයෙහි හටගැන්ම, සද්ධින්‍ද්‍රියස්ස පච්චයො යනු ශ්‍රද්ධෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වේ. ශ්‍රද්ධාව උපදවන්නෙමියි පූර්වභාග ආවර්ජනය ශ්‍රද්ධෙන්‍ද්‍රියට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. ශ්‍රද්ධෙන්‍ද්‍රිය ජවනයාගේ ආවර්ජනය ප්‍රථම ජවනයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. ද්විතීය ජවනාදීන් උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. අධිමොක්ඛවසෙන යනු ඡන්‍දය හා සම්ප්‍රයුක්ත සිතේ ස්ථිරත්වය වශයෙන්, ඡන්‍දස්ස සමුදයො යනු පූර්වභාග ආවර්ජන ප්‍රත්‍යයෙන් උපන්නා වූ අධිමොක්‍ෂ සම්ප්‍රයුක්ත අනුරූප නිසි ප්‍රමාණ වූ, ධර්මඡන්‍දයාගේ හටගැන්මයි. ඒ ශ්‍රද්ධෙන්‍ද්‍රියයට සහජාත, අඤ්ඤමඤ්ඤ නිස්සය සම්ප්‍රයුක්ත, අත්‍ථි, අවිගත වශයෙන් ප්‍රත්‍යය වේ. ඡන්‍දය අධිපති කල්හි අධිපති ප්‍රත්‍යයද වේ. එයම දෙවැන්නට අනන්තර සමනන්තර, අනන්තරූප නිශ්‍රය, ආසෙවන, නත්‍ථි, විගත වශයෙන් ප්‍රත්‍යය වේ. මෙම ක්‍රමයෙන්ම මනසිකාරයෙහිද යෙදීම් කළයුත්තාහ. හුදෙක් මෙහි මනසිකාරො යනු එය සිහිකරවීම් ලක්‍ෂණකොට ඇත්තේය. අනුරූප නිසිප්‍රමාණ මෙනෙහි කිරීම, එයට අධිපති ප්‍රත්‍යයතාව නොවේ. මේවා හා යෙදුණු ද්වයෙහිම ග්‍රහණය බලවත් ප්‍රත්‍යය හෙයිනැයි දතයුතුය. සද්ධින්‍ද්‍රියස්ස වසෙන යනු භාවනාභිවෘද්ධියෙන් ඉන්‍ද්‍රියභාවයට පත් ශ්‍රද්ධා ඉන්‍ද්‍රියයගේ වශයෙනි. එකත්තුපට්ඨානං යනු එක් අරමුණෙක්හි නොසෙල්වෙන ස්වභාවයෙන් බොහෝකලක් සිටීම (පැවතීම) මතු මතු ශ්‍රද්ධා ඉන්‍ද්‍රියයට ප්‍රත්‍යය වේ. ශ්‍රද්ධා ඉන්‍ද්‍රියයෙහි කියන ලද ආකාරයෙන්ම සෙසු ඉන්‍ද්‍රියයන්ද දතයුත්තාහ. මෙසේ එක් එක් ඉන්‍ද්‍රියයට සිව් සිව් සමුදය යැයි පඤ්ච ඉන්‍ද්‍රියයන්ට විසි සමුදයයෝ වෙත්. නැවත සිව් සමුදයන්ගේ එක් එක් සමුදයෙහි, පහක් පහක් බැගින්, ඉන්‍ද්‍රියයන් යොදා විසි සමුදය කෙනෙක් යූ.සේයි. ප්‍රථම විස්ස නානා මාර්ග වශයෙන් දතයුත්තාහ. ද්විතීය විස්ස එක් මාර්ගයක් වශයෙන් දතයුත්තේ යයි කියති. මෙසේ සතළිස් ආකාර වෙති. අස්තංගම වාරයද මෙම ක්‍රමයෙන් දතයුතුය. එම අස්තංගමය ඉන්‍ද්‍රිය භාවනාවෙහි නොයෙදුණහුට, නොලත් දෑ ලැබීම් අස්තංගමයයි, ඉන්‍ද්‍රිය භාවනාවෙන් පිරිහුණහුට ලත් දෑ පිරිහීම් අස්තංගම යයි, ඵලප්‍රාප්තිකයාට සන්සිඳීම් අස්තංගමයයි. එකත්ත අනුපට්ඨානං යනු ඒකත්වයෙහි නොසිටීම.