ඉන්ද්රිය කථා
1. ප්රථම සූත්රාන්ත නිර්දේශ වර්ණනාව
දැන් ආනාපාන සති කථා අන්තරව, කියන ලද ඉන්ද්රිය කථායෙහි, පෙර සඳහන් නොකළ අර්ථයන්ගේ, අනුවර්ණනාව පැමිණියේය. මෙම ඉන්ද්රිය කථාව වනාහි ආනාපාන සති භාවනාවට උපකාරක වූ, ඉන්ද්රියයන්ගේ, අභාවයෙහිදී, ආනාපන සති භාවනාවෙහි අභාවය වන හෙයින්, එයට උපකාර වූ, ඉන්ද්රියයන්ගේ පිරිසිදු කිරීම් ආදී ක්රම දැක්වීම සඳහා ආනාපන සති කථාවට, අනතුරුව කියන ලදැයි එයද කිවයුතුය. ඉන්ද්රිය කථාව තමා විසින්, භාග්යවතුන් හමුයෙහි, අසන ලද, දැනගත් අදහස් සූත්රාන්තික දේශනාව පූර්වාංගම කොට, එහි අර්ථ ප්රකාශ කිරීම් වශයෙන්, කියනු කැමැතියේ, පළමුව එවං මෙ සුතං යනාදිය වදාළහ.
එහි එවං යනු නිපාත පදයයි. මෙ යනාදිය නාම පදයන්ය. විහරති යන මෙහි ‘වි’ යනු උපසර්ග පදයයි. ‘හරති’ යනු ආඛ්යාත පදයයි සලකා මෙම ක්රමයෙන් පද බෙදීම දතයුතුය.
අර්ථ වශයෙන් වනාහි උපමා, උපදේශ, ගැරහීම්, ප්රශංසා කිරීම් ආදී ආකාර වචන සමූහයෙහි එවං ශබ්දය දක්නා ලැබේ. නිදර්ශනාර්ථයෙහිද, අවධාරණාර්ථයෙහිද යෙදේ. මෙහි වනාහි එවං ශබ්දය, ආකාරාර්ථයෙහිද, නිදර්ශනාර්ථයෙහිද, නැණැති ජනයා විසින් පනවන ලදී. (නියමකොට). එසේම අවධාරණාර්ථයෙහිද යෙදේ.
එහි ආකාරාර්ථයෙන් එවං ශබ්දයෙන් එම අර්ථය දක්වයි. නොයෙක් ක්රමවේදයන්හි දක්ෂ, නොයෙක් අදහස් හටගන්වන, අර්ථ හා අක්ෂර පරිපූර්ණව නොයෙක් ප්රාතිහාර්යයන්ගෙන් යුක්තව කරනු ලබන, සියලු සත්ත්වයින්ට තම තම භාෂානුරූපව, ස්රොතාභිමුඛයට පැමිණෙන, ප්රතිවේධ ගම්භීර, ඒ භාග්යවතුන් වහන්සේගේ ධර්මාර්ථ දේශනා වචනය සර්වාකාර පරිපූර්ණව අවබෝධ කරන්ට කවරෙක් සමර්ථද? සියලු ශක්තියෙන් ශ්රවණ කාම්යතාව උපදවාද, මා විසින් මෙසේ අසන ලදැයි යනු එක් ආකාරයකින් අසන ලද්දේ යනුයි.
නිදර්ශනාර්ථයෙන්, මම තෙමේම අවබෝධ කළේ නොවෙමි. මා විසින් මෙය සාක්ෂාත් නොකරන ලදීයයි තමා නිදහස් කරගනුයේ මා විසින් මෙය අසන ලදි. මා විසින් මෙසේ අසන ලදැයි දැන් කිවයුතු සමස්ත සූත්රය දක්වයි.
අවධාරණාර්ථයෙන්, සැරියුත් තෙරහු, ‘මහණෙනි, මාගේ ශ්රාවක මහාප්රාඥ භික්ෂූන් අතර, යම් ඒ සැරියුත් තෙර වේද, ඔහුම අග්රය. මහණෙනි, යමෙක් තථාගතයන් වහන්සේ විසින්, පවත්වන ලද, ශ්රේෂ්ඨ ධර්මචක්රය මනාව අනුව පවත්වයිද, මහණෙනි, මෙම සැරියුත් තෙරනුවෝ යම්සේ එය කරත්ද? එබඳු වූ අන් එකද පුද්ගලයෙකු හෝ මම නොදකින්නෙමි. මහණෙනි, සැරියුත් භික්ෂුව තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද, උතුම් ධර්මචක්රය මනාව අනුව පවත්වයි යන මේ ආදී ක්රමයෙන් භාග්යවතුන් වහන්සේ විසින් ප්රශංසා කරන ලද ආකාරයට අනුරූපව, තමාගේ ධාරණ බලය දක්වනුයේ සත්ත්වයින්ගේ අසනු කැමැත්ත උපදවයි. මා විසින් මෙසේ අසන ලදි. එයද වනාහි අර්ථ වශයෙන්, අක්ෂර වශයෙන්ද අඩුවැඩි නොවී එපරිද්දෙන්ම දැකිය යුතුය. අන් අයුරකින් නොවේ.
‘මෙ’ ශබ්දය, කරණ, සම්ප්රදාන, ෂෂ්ඨී අර්ථයන්හි පෙනේ. මෙහි වනාහි, මා විසින් අසන ලදි. මාගේ ඇසීමයයි යන අර්ථද්වයයෙහි යෙදේ.
සුතං යන මෙම ශබ්දය උපසර්ග සහිතවද, උපසර්ග රහිතවද ප්රකට, ගමන, තෙත්, රැස්කළ, යෙදීම, කණින් ශබ්ද තේරුම් ගැනීම්, ස්රෝතද්වාරානුසාරයෙන් දැනගැනීම්හිද පෙනේ. මෙහි වනාහි ස්රෝත ද්වාරානුසාරයෙන් සලකා බලන ලදුයේ හෝ සලකා බැලීම යැයිද අර්ථය වන්නේය. ‘මෙ’ ශබ්දයෙහි මා විසින් යයි අර්ථය ඇතිකල්හි, මෙසේ මා විසින් අසන ලදි. ස්රෝත ද්වාරානුසාරයෙන් මෙසේ සලකා බලන ලදී යයි යෝග්යයයි මාගේ යැයි අර්ථය ඇතිකල්හි, මෙසේ මාගේ ඇසීම ස්රෝත ද්වාරානුසාරයෙන් සලකා බලන ලද්දේ යැයි සුදුසුයි.
තවද, එව මෙම සුතං යනු තමා විසින් උපදවන ලද බව නොපිළිගනුයේ ප්රථම ශ්රවණය විවර කරනුයේ, මා විසින් චතුර් වෛශාරද්ය විශාරද, දශබලධාරී, ශ්රේෂ්ඨ ස්ථානයෙහි සිට සිහනද නදන, සියලු සත්ත්වයින්ට උතුම්, ධර්මේශ්වර, ධර්මරාජ, ධර්මාධිපති, ධර්මදීප, ධර්ම සරණ, සද්ධර්මවර චක්රවර්ති සම්යක් සම්බුද්ධ, ඒ භාග්යවතුන් වහන්සේගේ, හමුයෙහි මෙය මා විසින් පිළිගන්නා ලදි. මෙම අර්ථයෙහි හෝ ධර්මයෙහි හෝ පදයෙහි හෝ අක්ෂරයෙහි හෝ සැකයක් හෝ විමතියක් හෝ නොකටයුත්තාහුය. මෙම ධර්මයෙහිදී අශ්රද්ධාවත් භාවය විනාශ කරයි. ශ්රද්ධා සම්පත උපදවයි. එහෙයින් එය යූ.සේයි.
විනාසයති අස්සද්ධං - සද්ධං වඩ්ඪෙති සාසනෙ,
එව ම්මෙ සුතමිච්චෙවං - වදං ගොතම සාවකො
එව ම්මෙ සුතමිච්චෙවං - වදං ගොතම සාවකො
මෙසේ මා විසින් අසන ලදැයි යනුවෙන් මෙසේ කියන්නා වූ, ගෞතම ශ්රාවක තෙමේ අශ්රද්ධාව විනාශ කරයි. ශ්රද්ධාව දියුණු කරයි.
එකං යනු ගණන පිරිසිඳීම් නිර්දේශයයි. සමයං යනු පිරිසිඳීම් නිර්දේශයයි. එකං සමයං යනු කාලය අනියමෙන් දැක්වීමයි.
සමවායෙ ඛණෙ කාලෙ - සමූහෙ හෙතු දිට්ඨීසු,
පටිලාභෙ පහාණෙච - පටිවෙධෙච දිස්සති
පටිලාභෙ පහාණෙච - පටිවෙධෙච දිස්සති
එහි සමය ශබ්දය, රැස්වීමෙහි, ක්ෂණයෙහි, කාලයෙහි, සමූහයෙහි, හේතුවෙහි, දෘෂ්ටීන්හි, ප්රතිලාභයෙහි, ප්රහාණයෙහි, ප්රතිවේධයෙහිද පෙනේ.
මෙහි වනාහි කාලය යන අර්ථයි. එයින් සංවත්සර, සෘතු, මාස, අඩමස්, දිවා රාත්රී, පූර්වාහ්න, මධ්යාහ්න, සවස්කාලය, ප්රථම, මධ්යම, පශ්චිමාදී යාමයන්, මුහුර්තාදී කාලප්රභේද වූ සමයයන් අතරෙහි එක් සමයයකයැයි දක්වයි.