1. මහා වර්‍ගය
ඥාන කතා
මාතෘකා වර්ණනාව
එහි, උද්දේශයෙහි පළමුව, සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං යන මෙහි සොත ශබ්දයෙහි විවිධාකාර අර්ථ බෙදීම් ඇත. ඒ මෙසේය.
මංස විඤ්ඤාණ ඤාණෙසු - තණ්හාදිසුච දිස්සති,
ධාරායං අරියමග්ගෙ - චිත්ත සන්තතියම්පිච
“සොතායතන, සොතධාතු, සොතින්‍ද්‍රියං යනාදි තන්හි මෙම සොත ශබ්දය මාංශ ශ්‍රෝතසෙහි (කනෙහි) යෙදේ. ‘සොතෙන සද්දං සුත්‍වා’ යනාදි තැන්වල ශ්‍රෝත විඤ්ඤාණයෙහි යෙදේ. ‘දිබ්බාය සොතධාතුයා’ යනාදි තැන්වල ඤාණ ශ්‍රෝතස අදහස් කෙරේ. යම් ඒ ශ්‍රෝතස් කෙනෙක් මා විසින් වර්ණනා කරන ලද්දේද (විස්තර) දේශනා කරන ලද්දේද, පනවන ලද්දේද (දක්වන) පිහිටුවන ලද්දේද, පැහැදිලි කරන ලද්දේද, බෙදන ලද්දේද, ප්‍රකට කරන ලද්දේද, ප්‍රකාශ කරන ලද්දේද, එබඳු යම් ඒ ශ්‍රෝතස, දුශ්චරිත ශ්‍රෝතස අවිද්‍යා ශ්‍රෝතස ආදි තන්හි තෘෂ්ණා ආදි පංච ධර්මයන්හි යෙදේ. මහදරකඩක් ගංගා නදියේ සැඩ පහරට හසුව ගසාගෙන යනු බුදුරජාණන් වහන්සේ දුටු සේක. මෙහි සෝත යනු ජල දහරාවයි. ඇවැත්නි, යම් ඒ සෝතයයි නාමයක් වේද, එය ආර්ය අෂ්ටාංගික මාර්ගයට යෙදෙන විශේෂ නාමයකි. මේ ආදි තැන්වල ආර්ය මාර්ගය අදහස් කරයි. මුල සිට පැවත එන මෙලොව පිහිටියා වූද පරලොව පිහිටියා වූද නොසිඳී පවත්නා විඤ්ඤාණ ශ්‍රෝතධාතුව පිළිවෙළින් දැනගනීද මෙහි චිත්ත සන්තතිය දැක්වේ. මෙහි වනාහි මාංශ ශ්‍රෝතසයයි සැලකිය යුතුය. (දැකිය යුතුය)න එම ශ්‍රෝතස් හේතුවීමෙන් කරුණු වීමෙන් අවබෝධ කරගනී. වටහා ගනී. කන් යොමු කෙරේනුයි සොතාවධානයයි. ඒ කිමෙක්ද? ශ්‍රවණයයි. ඒ ශ්‍රවණය යනු කුමක්ද? ශ්‍රවණය නම් බොහෝ ඇසූ දේ ඇත්තේ, ඇසූ දේ දරාගන්නේ, ඇසූ දේ සිත්හි තැන්පත් කරන්නේ යනාදි තන්හි මෙන් ශ්‍රොතද්වාරානුසාරයෙන් දැනගත්, සැලකිල්ලට ගත්, ධර්ම කොටසක් වේද, එය මෙහි ශ්‍රෝතාවධානයයි කියන ලදි. එම ශ්‍රෝතාවධාන සංඛ්‍යාත ශ්‍රවණයෙහි පවත්නා ප්‍රඥාව සොතාවධානෙ පඤ්ඤා යි. පඤ්ඤා යනු ඒ ඒ අර්ථයාගේ ප්‍රකට කිරීම් සංඛ්‍යාත දැනගැනීම් අර්ථයෙන් ප්‍රඥා යයි කියනු ලැබේ. ඒ ඒ අනිත්‍යාදී ආකාරයෙන් ධර්මයන් දැනගනීනුයි ප්‍රඥා නමි.
සුතමයෙ ඤාණං යන මෙහි සුත ශබ්දය උපසර්ග සහිතවද, උපසර්ග රහිතවද යෙදේ.
ගමනෙ විස්සුතෙ තින්තෙ’නුයොගො පචිතෙපිච,
සද්දෙච සොතද්වාරානුසාර ඤාතෙච දිස්සති
ගමන් කිරීමෙහි, ප්‍රකට, රාගයෙන් තෙත් වූ, යෙදීමෙහි රැස් කිරීමෙහි, ශබ්දයෙහි, ශ්‍රෝතද්වාරයෙන් ලබාගත් දැනුම් දරන්නෙක් යන අර්ථයන්හි දිස්වේ.
එසේ වන්නේය. සෙනාය පසුතො ආදී තන්හි ගමන් කරන්නේ යන අර්ථයි. සුත ධම්මස්ස පස්සතො ආදී තන්හි ප්‍රකට වූ ධර්මයෙහි යන අර්ථයි. අපස්සුතා නවස්සුතස්ස පුරිස පුග්ගලස්ස යනාදී තන්හි රාගයෙන් තෙත් නොවූ යන අර්ථයි. යෙ ඣාන පසුතා ධීරා ආදී තන්හි යෙදෙන ලද්දාහු යන අර්ථයි. තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං යන තන්හි රැස්කරන ලද්දේ යන අර්ථයි. දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං යන තන්හි ශබ්දය යන අර්ථයි. බහුස්සුතොහොති සුතධරො සුත සන්නිචයො යන තන්හි ශ්‍රෝත ද්වාර අනුසාරයෙන් උගත් දෑ ධාරණය කරන්නේ යන අර්ථයි. මෙහිද ශ්‍රෝතද්වාරානුසාරයෙන් දැනගත් දෑ සලකන ලද්දේ යන අර්ථයි. සුතමයෙ ඤාණං යනු යම් ආකාර ඇසූ, දැනගත්, අවධාරණය කළ ධර්මය අරභයා එය අරමුණුකොට සියල්ලට පළමුවද වරින්වරද හටගන්නා ප්‍රඥාවයි. එය සුතමය ඤාණයයි කියනු ලැබේ. සුතමය ඤාණය යන අර්ථයි. සුතමයෙ යනු ප්‍රථමා විභක්තියයි. නහෙවං වත්තබ්බෙ, වනප්පගුම්බෙ, යථා ඵුස්සිතග්ගෙ, නත්‍ථි අත්තකාරෙ, නත්‍ථිපරකාරෙ, නත්‍ථි පුරිසකාරෙ යනාදී තැන්වල ප්‍රථමා විභක්තිය යෙදේ. මෙහිද එසේ දතයුතුය. එහෙයින් කියන ලදි, සුතමය ඤාණය යන නම් වේ.
ඒ ශ්‍රැතමය දහම් කොටසෙහි පැවති ඒ හා යෙදුණු ඤාණය ශ්‍රැතමය ඤාණයි. ස්වභාව සමාන ලක්‍ෂණ වශයෙන් ධර්මයන් දනීනුයි ඤාණ නම් වේ. එම ධර්මයම වෙනත් වචනවලින් අදහස් ප්‍රකාශ කිරීම අනියමින් ප්‍රඥායයි කියා, පසුව ඤාණය අදහස් කරන ලද්දේ යයි නියමකොට කියන ලද්දේ යයි දතයුතුය. ඤාණයෙහි පහත සඳහන් ලක්‍ෂණ ඇත. ඇති තතු අවබෝධ කරගැනීම පැකිලීමකින් තොරව අවබෝධ කරගැනීම, දක්‍ෂ දුනු ශිල්පියෙකු විසින් විදින ලද ඊතලයක් බඳු වීම, පහනක් මෙන් අදාල විෂය බබලවන ස්වභාව ඇත්තේය. වනයට ගිය යහපත් මාර්ගෝපදේශකයකු මෙන් නුමුළාව නැගිටින ස්වභාව ඇත්තේය. සමාහිතො භික්ඛවෙ භික්ඛු යථාභූතං පජානාති යන වචනයෙන් සමාධිය ආසන්න කරුණයි. ලක්‍ෂණාදීන් අතර ස්වභාවික තත්ත්වය, සාමාන්‍ය තත්ත්වය අවබෝධ කරගැනීම ලක්‍ෂණකොට ඇත. කෘත්‍යය හෝ සම්පත්තිය රසය වේ. වැටහෙන කාරණය හෝ ප්‍රතිඵලය එළඹ සිටි කරුණයි. ආසන්න කරුණ පදට්ඨාන යයි දතයුතුය.
[missing trans]
පාතිමොක්ඛා සතීචෙව ඤාණං ඛන්ති තථෙව ච,
විරියඤ්ච පඤ්චිමෙ ධම්මා සංවරාති පකාසිතා
මේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුක්ත වූයේ, මනාව යුක්ත වූයේ එළඹියේ, මනාව එළඹියේ, හටගත්තේ, මනාව හටගත්තේ, යුක්ත වූයේ යයි දක්වන ලද්දේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයයි. ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නොගනී. (අවයවයන් මනෝඥයයි නොසිතීම). අනුව්‍යංජන වශයෙන් (ස්ත්‍රී පුරුෂ වශයෙන්) නොගනී. යම් හේතුවක් නිසා චක්‍ෂුන්ද්‍රිය අසංවරව වාසය කරන්නහුට දැඩි ලෝභය දොම්නස ආදී පාපී අකුසල සිතිවිලි ඔහු තදින් මැඩගෙන යන්නේද, එවැනි තත්ත්වයන්ගෙන් තමන් වැළකී සංවරය සඳහා පිළිපදියි. (ක්‍රියා කරයි) චක්‍ෂුන්ද්‍රිය රකියි. චක්‍ෂුන්ද්‍රියයේ සංවරයට පැමිණේ යනාදී ක්‍රමයෙන් දැක්වූයේ සති සංවරයයි. භාග්‍යවතුන් වහන්සේ අජිතයැයි අමතා,
යානි සොතානි ලොකස්මිං (අජිතානි භගවා),
සතිතෙසං නිවාරණං,
සොතානං සංවරං බ්‍රෑමි, පඤ්ඤායෙතෙ පිථීයරෙ
ලෝකයෙහි යම්කිසි ශ්‍රෝතස් (ගලාබැසීම්) කෙනෙක් වෙත්ද, ඒවා සිහියෙන් වැළැක්විය යුතුය. ශ්‍රෝතසුන්ගේ සංවරය වදාරමි. ප්‍රඥාවෙන් ඒවා වසනු ලැබේ.
මේ ඤාණ සංවරයයි. මහණෙනි, කවර ආශ්‍රවයෝ සේවනයෙන් ප්‍රහාණ කළ යුතුද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව නුවණින් සලකා සිවුරු පරිභෝජනය කරයි ආදි ක්‍රමයෙන් දක්වා ඇත්තේ ප්‍රත්‍ය පරිභෝජන සංවරයයි. එයද ඤාණ සංවරයෙහිම සංග්‍රහ කරන ලදි. සීත, උෂ්ණ, සාගිනි, පිපාසා, මැසිමදුරු දෂ්ට, නොමනා අව්සුළං, සර්පදෂ්ට, නොමනාව කියන ලද වචන, නොමනාව පැමිණි වචන, දුක්වූ, දරුණු වූ, කර්කශ වූ කටුක වූ, අමිහිරි වූ, නොමනා වූ, ප්‍රාණය ඉවත්කර දැමීමට සමත්, උපන් ශාරීරික දුක් ඉවසන්නේ වේද, මේ ක්‍ෂාන්ති සංවරයයි. උපන් කාම විතර්කය නොඉවසයි. අත්හරියි. දුරුකරයි. ඉවත්කරයි. නොමැති තත්ත්වයට පත්කරයි යනුවෙන් දක්වන ලද්දේ වීර්ය සංවරයයි. මේ ශාසනයෙහි ආර්යශ්‍රාවක තෙම මිථ්‍යා ආජීවය හැර සම්‍යග් ආජීවයෙන් ජීවිකාව ගෙන යයි දැක්වූයේ ආජීව පාරිශුද්ධි සංවරයයි. එය වීර්ය සංවරයෙහි ඇතුළත්ය. ඒ සත් සංවරයන් අතර ප්‍රාතිමෝක්‍ෂ සංවරය, ඉන්‍ද්‍රිය සංවරය, ආජීව පාරිශුද්ධිය, ප්‍රත්‍යය ප්‍රතිසන්නිශ්‍රිත යන සතර සංවරය මෙහි අදහස් කරන ලදි. ඔවුන් අතරින්ද විශේෂයෙන් ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලය විශේෂයෙන් අදහස් කරන ලදි. මේ සියලුම සංවරයන් හැකි අයුරින් සංවරවිය යුතු කාය දුශ්චරිතාදීන් වළක්වන හෙයින් සංවරයයි කියනු ලැබේ. ශ්‍රැතමය ඤාණයෙහි කියන ලද ධර්මය අසා සංවර වන්නහුට සංවර කරන්නහුට, ඒ සංවරයෙහි පවතින, ඒ හා යෙදුණු ප්‍රඥාව ‘සුත්‍වාන සංවරෙ පඤ්ඤායි’ කියන ලදි, හෙවත් හේතු අත්‍ථෙ සුත්‍වා යන වචනයෙන් ප්‍රකාශ වන්නේ, ඇසීම් හේතුවෙන් ප්‍රඥාවෙන් සංවරවීමයි.