පටිසම්භිදාමග්ග අටුවාව
ගන්ථාරම්භ කථා
යො සබ්බ ලොකාතිග සබ්බ සොභා,
යුත්තෙහි සබ්බෙහි ගුණෙහි යුත්තො,
දොසෙහි සබ්බෙහි සවාසනෙහි,
මුත්තො විමුත්තිං පරමඤ්ච දාතා
යමෙක් සියලු ලෝකයන් ඉක්මවා යන සියලු බැබලීම්වලින් යුක්ත වූයේ සියලු ගුණයන්ගෙන් යුක්ත වූයේ, මාගාත සහිත සියලු දෝෂයන්ගෙන් මිදුණේ, උතුම් විමුක්තිය දෙනුයේ,
නිච්චං දයාචන්‍දන සීත චිත්තො,
පඤ්ඤා රවිජ්ජොතිත සබ්බනෙය්‍යො,
සබ්බෙසු භූතෙසු තමග්ග භූතං,
භූතත්‍ථනාථං සිරසා නමිත්‍වා
නිතර දයාව නමැති සඳුන් සිසිලෙන් යුත් සිතැතියේ, ප්‍රඥාව නමැති සූර්යාලෝකයෙන් බැබලුණු, සියල්ල දතුයේ, සියලු සත්ත්වයන් අතර අග්‍ර වූ, සියලු සත්ත්වයින්ගේ යහපතට පිහිට වන්නා වූ ඒ බුදුරදුන් සිරසින් නමැද,
යො සබ්බ සත්තෙසු මුනීව අග්ගො, අනන්ත සබ්බෙසු ජිනත්‍රජෙසු,
ආහු දයා ඤාණ ගුණෙහි සත්‍ථු, ලීලානුකාරි ජනතා හිතෙසු
යමෙක් සියලු සත්ත්වයන් කෙරෙහිද අනන්තාපරිමාණ බුද්ධ පුත්‍රයින් කෙරෙහිද, ශ්‍රේෂ්ඨ මුනිවරයෙකු බඳුව, ජනතා හිතසුව කාර්යයන්හි දයා ඤාණ ගුණයන්ගෙන් යුක්තව, බුදුරදුන්ගේ, ආකාරයෙන් අනුකරණය කෙරේයයි කීහුද,
තං සාරිපුත්තං මුනි රාජ පුත්තං, ථෙරං ටිරානෙක ගුණාභිරාමං,
පඤ්ඤා පභාවුග්ගත චාරු කිත්තිං, සුසන්ත වුත්තිඤ්ච අථො නමිත්‍වා
ස්ථිර නොයෙක් සිත්කලු ගුණයන්ගෙන් යුත්, ප්‍රඥාලෝකයෙන් උද්ගත මනොඥ කීර්තියක් ඇති, සන්සුන් පැවැතුම් ඇති, මුනිරද පුත් ඒ සැරියුත් හිමියන් නැමද,
සද්ධම්ම චක්කානු පවත්තකෙන, සද්ධම්ම සෙනාපති සාවකෙන,
සුත්තෙසු වුත්තෙසු තථාගතෙන, භූතත්‍ථ වෙදිත්ත මුපාගතෙන
තථාගතයාණන් වහන්සේ විසින් සූත්‍රයන්හි දේශිත සද්ධර්ම චක්‍රය නොකඩවා පවත්වාගෙන එන, සත්ත්වහිතාභිවෘද්ධිය දත් බවට සපැමිණි සද්ධර්ම සේනාපති ශ්‍රාවකයාණන් වහන්සේ විසින්,
යො භාසිතො භාසිත කොවිදෙන, ධම්මප්පදීපුජ්ජල නායකෙන,
පාඨො විසිට්ඨො පටිසම්භිදානං, මග්ගොති තන්නාම විසෙසිතොච
කීමෙහි බිණීමෙහි දක්‍ෂ, ධර්ම ප්‍රදීපයෙන් බබලන ප්‍රධානියෙකු විසින්, ප්‍රතිසම්භිදාවන්ගේ මාර්ගයයි. යම් පාඨයක් විශිෂ්ටත්වයෙන් කියන ලද්දේද? එම නාමය විශේෂයෙන් සලකා,
විචිත්ත නානත්ත නයොපගාළ්හො, ගම්භීර පඤ්ඤෙහි සදාවගාළ්හො,
අත්තත්‍ථ ලොකත්‍ථ පරායණෙහි, සංසෙවනීයො සුජනෙහි නිච්චං
විසිතුරු නොයෙක් ක්‍රමයන්හි බැසගත්තේ, ගැඹුරු නැණැතියන් විසින් හැමකල් බැසගත්තේ, ආත්මාර්ථ ලෝකාර්ථ පිහිටකොට ඇති (අපේක්‍ෂිත) සත්පුරුෂයන් විසින් නිතර සේවනය කටයුතුය.
ඤාණප්පභෙදාවහනස්ස තස්ස, යොගීහි නෙකෙහි නිසෙවිතස්ස,
අත්‍ථං අපුබ්බං අනුවණ්ණයන්තො, සුත්තඤ්ච යුත්තිඤ්ච අනුක්කමන්තො
නොයෙක් යෝගීන් විසින් සෙවුණා ලද ඤාණ ප්‍රභේද ගෙන එන එහි පෙර නොදක්වන ලද අර්ථ, සූත්‍රයද, යුක්තියද අනුක්‍රමයෙන් ගෙන, විශේෂයෙන් වර්ණනා කරනුයේ,
අවොක්කමන්තො සමයා සකාච, අනාමසන්තො සමයං පරඤ්ච,
පුබ්බොපදෙසට්ඨකථා නයඤ්ච, යථානුරූපං උපසංහරන්තො
ස්වකීය සමය නොඉක්මවමින්, අන්‍ය ආගම් වාද ස්පර්ශ නොකරමින් පූර්වයෙහි පැවති අර්ථ කථා ක්‍රමයන්, සුදුසු පරිද්දෙන් ගෙනහැර දක්වනුයේ,
වක්ඛාමහං අට්ඨකථං ජනස්ස, හිතාය සද්ධම්ම චිරට්ඨිතත්‍ථං,
සක්කච්ච සද්ධම්ම පකාසනිං තං, සුනාථ ධාරෙථච සාධු සන්තො
සද්ධර්මයාගේ චිරස්ථිතිය උදෙසාද, ජනහිත සුව සඳහාද, එම සද්ධර්ම ප්‍රකාසනිය මම කියමි. සත්පුරුෂ සාධූහු එය මනාසේ අසත්වා! දරත්වා.
පටිසම්භිදානං මග්ගොති තන්නාම විසෙසිතොච යනුවෙන් කියන ලද හෙයින් ප්‍රතිසම්භිදා මාර්ගයාගේ, ප්‍රතිසම්භිදා මාර්ගතාවය පළමුකොට කිවයුතුය. ප්‍රතිසම්භිදා සතරක් වන්නේය. අර්ථ ප්‍රතිසම්භිදා, ධර්ම ප්‍රතිසම්භිදා, නිරුක්ති ප්‍රතිසම්භිදා, ප්‍රතිභාන ප්‍රතිසම්භිදා යනු ඒවා වෙති. ඒ ප්‍රතිසම්භිදාවන්ගේ මාර්ගය නවලොව්තුරු දහමයයි කියනු ලබන අධිගමයට උපාය මාර්ගය වේනුයි ප්‍රතිසම්භිදා මාර්ග නම් වේ. ප්‍රතිසම්භිදා ලැබීමට හේතුවේයයි කියන ලදි. කෙසේ මෙය ඒවාට පැමිණීමේ මාර්ගය වේද යත්? විවිධාකාරයෙන් දේශනා කරන ලද දේශනාවන්ගේ ප්‍රතිසම්භිදා ඥානය ගෙන එන බැවිනි. නොයෙක් කොටස්වලට කැඩුණු ධර්මයන්ගේ නොයෙක් කොටස්වලට කැඩුණු දේශනා අසන ආර්ය පුද්ගලයන්ට ප්‍රතිසම්භිදා ඥාන ප්‍රභේද (කොටස්) හැඳින ගැනීමට හැකිවෙයි. පෘථග්ජනයින්ට මතු මත්තෙහි ප්‍රතිසම්භිදා ඥාන විශේෂ ලබාගැනීමට උපකාරී වේ. කියන ලද්දේද වේ. ප්‍රභේද වශයෙන් වනාහි එකට ඝනව ඇති දෑ වෙන්කොට දක්වන දේශනාව ප්‍රතිසම්භිදා ඥාන ගෙන එන්නේ වෙයි. (උපදවයි). මෙයද නොයෙක් ආකාර බිඳුම්වලින් බිඳී ඇති දේශනාවකි. එහෙයින් මෙය ඒ ප්‍රතිසම්භිදාවන්ගේ මාර්ග සිද්ධියට අදාළ වර්ණනයකි.
එහි චතස්සො යනු ගණන්කොට වෙන් කිරීමයි. පටිසම්භිදා යනු ප්‍රභේදයි. වෙන් කිරීමයි. එහි අර්ථයෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. ධර්මයෙහි ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි. අර්ථ, ව්‍යාකරණ කී මෙහි (දැනීමෙහි) ඤාණය නිරුක්ති ප්‍රතිසම්භිදාවයි. ඤාණයන්හි ඤාණය ප්‍රතිභාන ප්‍රතිසම්භිදාවයයි කියන ලද හෙයින් වෙන අන් කිසිවක ප්‍රභේදයක් නොව මේ ඤාණයෙහිම ප්‍රභේදයි. එහෙයින් සතර ප්‍රතිසම්භිදා යනු ඤාණයන්ගේ සතරාකාර ප්‍රභේදයෝය යනු තේරුමයි. අර්ථයෙහි ප්‍රභේද සිතා බැලීම විශේෂයෙන් සලකා බැලීම, වෙන්කොට තේරුම් ගැනීමට දක්ෂ වූ අර්ථයෙහි ප්‍රභේදගත ඤාණය අත්‍ථ පටිසම්භිදා යි. ධර්මයෙහි ප්‍රභේද සිතා බැලීම විශේෂයෙන් සලකා බැලීම වෙන්කොට තේරුම් ගැනීමට දක්ෂ වූ ධර්මයෙහි ප්‍රභේදගත ඤාණය ධම්මපටිසම්භිදා යි. නිරුක්ති ප්‍රභේදයන්හි ප්‍රභේද සිතා බැලීම, විශේෂයෙන් සලකා බැලීම වෙන්කොට තේරුම් ගැනීමට දක්ෂ වූ නිරුක්තියෙහි ප්‍රභේදගත ඤාණය නිරුත්ති පටිසම්භිදා යි වැටහීම් ප්‍රභේදයන්හි ප්‍රභේද සිතා බැලීම, විශේෂයෙන් සලකා බැලීම වෙන්කොට තේරුම් ගැනීමට දක්ෂ වූ ඤාණය පටිභාන පටිසම්භිදා යි.
එහි අත්‍ථො යනු සංක්‍ෂේපයෙන් හේතුව හා ඵලයයි. යම් හේතුවක් අනුසාරයෙන් පත්වේද, අවබෝධ කෙරේද, පමුණුවනු ලැබේද එහෙයින් එයට අර්ථයයි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් වනාහි හේතුවකින් හටගත් යමක් වේද එයද, නිර්වාණය ද දේශිය ධර්මය, විපාකය, ක්‍රියාව යන මේ පස (5) අර්ථයයි දතයුතුය. ඒ අර්ථය මෙනෙහි කරන්නාට ඒ අර්ථයෙහි ප්‍රභේදගත ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි.
ධම්මො යනු සංක්‍ෂේපයෙන් ප්‍රත්‍යයයි. එය වනාහි ඒ ඒ දෙය නියම කරයිද පවත්වයිද පමුණුවයිද එහෙයින් ධර්මයයි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් වනාහි, ඵලය නිපදවන හේතුව ද, ආර්ය මාර්ගය ද, බුද්ධ දේශනාව ද කුසලය ද, අකුසලය ද යන මේ කරුණු පහ ධර්මයයි දතයුතුය. ඒ ධර්මය මෙනෙහි කරන්නහුට ඒ ධර්මයෙහි ප්‍රභේදගත ඤාණය ධර්ම ප්‍රතිසම්භිදා නම් වේ. අභිධර්මයෙහිද මෙම අර්ථයම වේ.
දුකෙහි දැනුම අර්ථ ප්‍රතිසම්භිදාවයි. දුක හට ගැනුමෙහි ඤාණය (දැනුම) ධර්ම ප්‍රතිසම්භිදාවයි. දුක නිරුද්ධ කිරීමෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. දුක නිරුද්ධ කිරීමට පමුණුවන ප්‍රතිපදා ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි. හේතුවෙහි ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි. හේතුවෙහි හා ඵලයෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි.
යම් ධර්ම කෙනෙක් උපන්නේද, ඇතිවීද, හටගත්තේද, උපන්නේද, විශේෂයෙන් උපන්නේද, පහළ වූයේද මේ ස්වභාවයන්හි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදා නමි. යම් ස්වභාවයකින් ඒ ස්වභාවයන් උපන්නේද, ඇතිවීද, හටගත්තේද, උපන්නේද, විශේෂයෙන් හටගත්තේද, පහළවූයේද, ඒ ස්වභාවයන්හි ඤාණය ධර්මප්‍රතිසම්භිදාවයි.
ජරාමරණ පිළිබඳ දැනුම අර්ථ ප්‍රතිසම්භිදාවයි. ජරාමරණ නැති කිරීමෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. ජරාමරණ නිරුද්ධ කිරීමට පමුණුවන ප්‍රතිපදාවෙහි ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි.