8. චෙතොවිමුත්ති සූත්‍ර වර්ණනාව
අටවැනි සූත්‍රයෙහි සන්තං චෙතොවිමුත්තිං යන අෂ්ටසමාපත්තීන්ගෙන් එක්තරා සමාපත්තියකි, සක්කායනිරොධං යනු ත්‍රෛභූමික සංසාර සංඛ්‍යාත වූ සත්කායයාගේ නිරොධයයි, නිවන යන අර්‍ත්‍ථයයි, න පක්ඛන්ධති යනු අරමුණු වශයෙන් නොපැකිලෙයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි, න පාටිකඞ්ඛො යනු නොකැමති වියයුතුයි ලසගතෙන යනු මැලියම් (ලහටු) වැකුණාවූයි,
මෙහිදී ද පරතෙරට යනු කැමති පුරුෂයාගේ උපමාව ගෙනහැර දැක්විය යුතුය, එක් පුරුෂයෙක් සැඩපහර ඇති රුදුරු මසුන්ගෙන් ගැවසීගත් ගඟින් එගොඩට යනු කැමැත්තේ මෙතෙර සැකසහිතය, බිය සහිතය, එතෙර ආරක්‍ෂිතය, බිය රහිතය, කුමක්නම් කොට පරතෙරට යන්නෙම්දැයි පිළිවෙළින් සිටි කුඹුක්ගස් අටක් දැක මේ ගස් අනුපිළිවෙලින් යාහැකියයි සිතා කුඹුක්ගස් නම් සිලිටි අතු ඇත්තේය, අත්තෙහි අත නොපිහිටන්නේ යයි නුග අත්තික්කා ගස් අතුරින් එකෙක මැලියම් අත්පාවල අතුල්ලා දකුණු අතින් එක් අත්තක් අල්ලා ගත්තේය. අත එහිම ඇලුණි, යළි වමතින් ද දකුණු පයෙන් ද වම් පයෙන් දැයි අපා සතරම එහි ඇලුණි. හෙතෙම හිස යටිකුරුව එල්බෙන්නේ ගඟ මත්තෙහි වැසි දෙකකින් පිරුණු සැඩපහරෙහි ගිලුණේ කිඹුල් ආදීන්ගේ ගොදුරක් විය,
එහි ගඟදිය මෙන් සංසාර ස්‍රෝතස දැක්විය යුතුය, ගඟින් එතෙරට යනු කැමති පුරුෂයා මෙන් යෝගාවචරයා දැක්විය යුතුය, මෙතෙර සක්කාය මෙනි, එතෙර නිවන මෙනි, පිළිවෙළින් සිටි කුඹුක්ගස් අට මෙන් අෂ්ටසමාපත්තීහුය, ලහටු ඇති අතින් අතු අල්ලීම මෙන් ධ්‍යාන විදර්‍ශනාවන්ගේ තර්ජනයන් පිරිසුදු නොකොට සමවතට සමවැදීම දැක්විය යුතුය, මෙතෙර සත්කාය මෙනි, එතෙර නිවන මෙනි, පිළිවෙළින් සිටි කුඹුක්ගස් අට මෙන් අෂ්ටසමාපත්තීහුය, ලහටු ඇති අතින් අතු ඇල්ලීම මෙන් ධ්‍යාන විදර්‍ශනාවන්ගේ තර්ජනයන් පිරිසුදු නොකොට සමවතට සමවැදීම දැක්විය යුතුය, අත්පා සතරින් අත්තෙහි බැඳී එල්බීම මෙන් ප්‍රථම ධ්‍යානයෙහි ආශාවෙන් එල්ඹුණු කාලය දැක්විය යුතුයි, ගඟ මත්තෙහි වැස්ස මෙන් සදොරෙහි කෙලෙසුන් උපන් කාලයයි, පිරුණු ගඟෙහි සැඩපහරෙහි ගිලුණාහු කිඹුල් ආදීන්ගේ ගොදුරක් වූ කාලය මෙන් සංසාර ස්‍රෝතසෙහි ගිලුණු තැනැත්තාගේ සතර අපායෙහි දුක්විඳීමේ කාලය දතයුතුයි,
සුද්ධෙන හත්‍ථෙන යනු මනාව සේදූ පිරිසුදු අතිනි, මේ සූත්‍රයෙහි ද එබඳුමවූ උපමාවක් කළයුතුය, කලින් කී ලෙසම පරතෙරට යනු කැමැති පුරුෂයා කුඹුක් ගස් නම් සිලිටි අතු අත්තේය, කිළිටි අතින් අල්වන්නහුගේ අත ලෙස්සා යන්නේ යයි අත්පා පිරිසුදු කොට එක් අත්තක් අල්වාගෙන පළමුගසට නැග්ගේ එයින් බැස දෙවැනි ගසට - පෙ- අටවැනිගසට නැග්ගේ අටවැනි ගසින් බැස එතෙර ක්‍ෂේමභූමියට ගියේය.
එහි මේ ගස්වලින් පරතෙරට යන්නෙමැයි ඒ පුරුෂයා සිතු කාලය මෙන් යෝගියා අටසමවතට - සමවැදී සමවෙතින් නැගිට රහත්බව ගගන්නෙමැයි සිතූ කාලය දැක්විය යුතු ය, පිරිසුදු අතින් අත්ත අල්ලා ගැනීමට මෙන් ධ්‍යාන විදර්‍ශනාවන්ගේ උවදුරු පිරිසුදු කොට සමවතට සමවැදීමයි, පළමු ගසෙන් බැස දෙවැනි ගසට නැගුණු කාලය මෙන් ප්‍රථම ධ්‍යානයෙහි ආශාවෙන් නොබැඳුණු තැනැත්තාගේ එයින් නැගී ද්විතීය ධ්‍යානයට සමවත් කාලයයි, -පෙ- සත්වැනි ගසින් බැස අටවැනි ගසට නැගි කාලය මෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි ආසාවෙන් නොබැඳුණු තැනැත්තේ එයින් නැගට නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට සමවත් කාලයයි, අටවැනි ගසින් බැස පරතෙරෙහි ක්ෂෙම භූමියට ගියකාලය මෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ඇලීමෙන් නොබැඳුණු තැනැත්තා සමවතින් නැගිට සංස්කාරයන් විමසා බලා රහත් බවට පැමිණි කාලය දතයුතුය,
අවිජ්ජාපභෙදං මනසිකාරොති යනු අටතැනක නොදැනීම වූ ඝන හා පෘථුල වූ මහා අවිද්‍යාවගේ ප්‍රභේද සංඛ්‍යාත අර්හත්වය මෙනෙහි කරයි. න පක්ඛන්ධති යනු අරමුණු වශයෙන්ම නොපැකිලෙයි, ජම්බාලි නික්මෙන ජලය පිහිටන තැනක් වූ මහා ආවාටයයි. අනෙකවස්සගණිකා යනු ගම හෝ නගරය හෝ උපන් කාලයෙහිම උපන් බැවින් නොයෙක් වසර ගනන් උපන්නේ මැයටනුයි අනෙකවස්සගණිකා නමි, ආයමුඛානි යනු පිවිසෙන කඳුරු සතරයි, අපායමුඛානි යනු පිටට බැසයන සිදුරුයි, න ආළිප්පභෙදො පාටිකඞ්ඛො යනු වැටියේ බිඳීමක් බලාපොරොත්තු නොවිය යුතුය, එයින් දිය නැඟි වැටිය බිඳී රොඩු ගසාගෙන ගොස් මහ සමුදුරට නොපැමිණීමය.
මෙම අර්‍ත්‍ථය පැහැදිලි කිරීම සඳහා උයන සෙවීමේ උපමාව ගෙන හැර දැක්විය යුතුය, එක් නගර වැසි කුලපුත්‍රයෙක් උයනක් සොයන්නේ නගරයෙන් ඉතා නොදුරෙහි ද ඉනොළංහි ද මහත් ආවාටයක් දුටුවේය. හෙතෙම මෙතැන සිත්කලු උයනක් වන්නේයයි සලකා උදැල්ලක් ගෙන කඳුරැලි සතරම වසා පිටකරන සිදුරු ඇර සිටියේය, වැස්ස මොනවට නොවැස්සේය, ඉතිරි ජලය පිටවන සිදුරුවලින් පෙනී ගියේය, සම්කඩ රෙදිකැබලි ආදිය එහිම කුණුවිය, පණුවෝ ගැවසීගත්හ. හාත්පස නොඑළඹිය හැකි විය. එළඹුනවුන්ට ද නාස්පුඬු වසාගෙන එළඹිය යුතු තැනක් විය, හෙතෙම කිහිපදිනකින් පැමිණ ඉවත්ව සිටියේ බලා ළංවිය නොහැකැයි පිටවී ගියේය,