3. සඤ්චෙතනිය වර්ගය
1. සඤ්චෙතනා සූත්ර වර්ණනාව
තෙවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි කායෙ යනු කායද්වාරයෙහියි, කායවිඥප්තිය ඇතිවිට යන අරුත්ය, කායසඤ්චෙතනාහෙතු යනාදියෙහි කායසංඤ්චෙතනා නම් කායද්වාරයෙහි චේතනා ඇතිකොට ගැනීමයි, එය කාමාවචර කුසල් වශයෙන් අටවැදෑරුම් හා අකුසල වශයෙන් දොළොස් වැදෑරුම් යයි විසිවැදෑරුම්ය, එසේම වාග්සංචෙතනා ද මනොසංචෙතනා ද වෙයි, තවද මෙහි නවවැදෑරුම් මහග්ගත චෙතනා ද ලැබෙයි, කායසංචෙතනා හෙතු යනු කායසංචෙතනයන්ට ප්රත්යයෝයි, උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං යනු අටවැදෑරුම් කුශලකර්ම ප්රත්යයෙන් ස්වකීය අධ්යාත්මයෙහි සුවය උපදියි, දොළොස් අකුශලකර්ම ප්රත්යයෙන් දුක උපදියි, සෙසු දොරටුවල ද මේ ක්රමයමැයි, අවිජ්ජා පච්චයා යනු අවිද්යා හේතුවෙන්මය, ඉදින් අවිද්යාව වසනු ලබන්නා වූ ප්රත්යයක් වේද? එසේ ඇති කල්හි තිදොරෙහි සුවදුක්වලට හේතු වූ චෙතනාව උපදියි, මෙසේ මූලභූත වූ අවිද්යාව වශයෙන් මෙය කියන ලදි.
අවිජ්ජාපච්චයා වා සාමං වා යනාදියෙහි අනුන් විසින් නොඅණවන ලද්දේ තෙමේම පිළියෙල කරන්නේ තමා කායසංස්කාරය අභිසංස්කරණය කරයි නමි, යම් සංස්කාරයක් අනුන් සමාදන්කරවා අණවා කෙරෙත් ද ඔහුට එම කායසංස්කාරය අනුන් පිළියෙල කෙරෙත් නමි, යමෙක් කුශලය කුශල යයි ද, අකුශලය අකුශල යයි ද කුශල විපාකය කුශල විපාක යයි ද අකුශල විපාකය අකුශල විපාක යයි ද දන්නේ කායද්වාරයෙහි විසිවැදෑරුම් කායසංස්කාරය අභිසංස්කරණය කරයි, මෙතෙම දන්නේ අභිසංස්කරණය කරයි’ නමි, යමෙක් මෙසේ නොදන්නේ අභිසංස්කරණය කරයි ද මෙතෙම ‘නොදන්නේ අභිසංස්කරණය කරයි’ නමි, සෙසු දොරටුවල ද මේ ක්රමයමැයි,
එහි අසම්පජාන කර්මය මෙසේ දතයුතුය: කුඩාදරුවෝ මාපියන් කළ දෙය කරමැයි චෛත්ය වඳිත්, මල් පුදත්, භික්ෂු සංඝයා වඳිත්, කුසලයයි නොදන්නාවූ ද ඔවුනට එය කුසලයක්ම වෙයි, එසේම මෘගපක්ෂි ආදී තිරිසන්නු ධර්මය අසති, සංඝයා වඳිති, සෑ වඳිති, දන්නාවුව ද නොදන්නාවුව ද ඔවුනට එය කුසලයක්ම වෙයි, කුඩා දරුවෝ මාපියන්ට අත්පාවලින් පහරදෙත්, භික්ෂූන්ට තර්ජනය කරත්, ගල් විසිකරත්, බැණවදිත්, දෙන්නු භික්ෂු සංඝයා ලුහුබඳිත්, බල්ලෝ ලුහුබඳිත්, සපාකත්, සිංහව්යාඝ්රාදීහු ලුහුබඳිත්, දිවිතොර කරත්, දන්නාවුව ද නොදන්නාවුව ද ඔවුනට අකුසල කර්මයක් වේයයි දතයුතුය.
දැන් දොරටු තුනෙහි ආයූහන (එක්රැස් වීමේ) චේතනාව එක්කොටගත යුතුය, කෙසේදයත්? කායද්වාරයෙහි තමාකළ බව මුල්කොට ඇති චෙතනා විස්සය, ඇණවීම මුල්කොට ඇති විස්සය, දැනීම මුල්කොට ඇති විස්සය, නොදැනීම මුල්කොට ඇති විස්සයයි චෙතනා අසූවක් වෙයි, වාග්ද්වාරයෙහි එසේමය, මනොද්වාරයෙහි වනාහි එක් එක් විකල්පයෙහි විසිනවය බැගින් එකසියදහසක් වෙයි, මෙසේ දොරටුතුනෙහි සියල්ලම දෙසිය සැත්තෑසයක් චෙතනා වෙයි, ඒ සියල්ලම සංස්කාර ස්කන්ධ යයි පිළිගැනීමට යයි. එක්ව යෙදුනු විඳවීම් ආකාර ඇති වේදනාස්කන්ධය, හැඳිනීම් ආකාර ඇති සංඥාස්කන්ධය, දිත්ත සංඛ්යාත විඥානස්කන්ධය ශරීරය, උපාදාරූප, එයට හේතු වන ධාතු සතර, මහාභූත සතර යන මේ පඤ්චස්කන්ධයෝ දුක්ඛ සත්යය නමි,
ඉමෙසු භික්ඛවෙ ධම්මෙසු අවිජ්ජානුපතිතා යනු කියන ලද ප්රභේද ඇති මේ චේතනා ධර්මයන්හි අවිද්යාව එක්ව හටගැනීම් වශයෙන් ද උපනිශ්රය වශයෙන් ද යෙදී ඇත, මෙසේ සසර ද සංසාමූලක අවිද්යාව ද දක්වන ලද්දේ වෙයි,
මෙපමණකින් විදර්ශනා වඩා රහත්බවට පත් ක්ෂීණාශ්රවයාට දැන් ස්තුති කරන්නේ ‘අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා’ යනාදිය කීහ. අස්සෙවිරාගනිරොධා යනු ඉතිරි නැති විරාගයෙන් මෙන්ම ඉතිරි නැති නිරෝධයෙන් ද වේ. සො කායො න හොති යනු ක්ෂීණාශ්රවයාගේ කයින් කරන කර්මය පැනෙයි, සෑ මිඳුල හැමදිම් බෝමලු සැමදීම් යාම්-ඊම්, වත් අනුවත් කිරීම් මේ ආදී ඔහුගේ කායද්වාරයෙහි චෙතනා විස්සක් විපාක ස්වභාවය නොමැති බවට පැමිණෙයි. එහෙයින් මෙසේ කියන ලදි. ‘සො කායො න හොති, යං පචචයාසස තං උපපජජති, අජ්ඣතතං සුඛදුක්ඛං’, යනුවෙනි. කායද්වාරයෙහි පැවති චෙතනාවම මෙහි කායයි අදහස් කරන ලදි. සෙසු දෙකෙහි ද මේ ක්රමයමයි, ඛෙත්තං යනාදිය ද කුසලාකුසල කර්මයටම නම්ය, එය විපාකය වැඩෙන යන අර්ත්ථයෙන් ක්ෂෙත්රය නමි, පිහිටීම් අරුතින් වස්තුවයි, හේතු අර්ත්ථයෙන් ආයතනයයි, අධිකරණාර්ත්ථයෙන් අධිකරණ යයි කියනු ලැබේ.