4. සිවුවැනි පණ්ණාසකය
1. ඉන්ද්‍රිය වර්ගය
1-5. ඉන්ද්‍රිය ආදි සූත්‍ර වර්ණනා
සිවුවැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි ශ්‍රද්ධා ධුරයෙන් අධිපති බව කෙරේනුයි සද්ධින්ද්‍රියං නමි, සෙසු තන්හිද මේ ක්‍රමයමයි, දෙවැනි සූත්‍රයෙහි නොසැලෙන අරුතින් සද්ධාබලං නමි. සෙසු තැන්හිද මේ ක්‍රමයමයි. තෙවැන්නෙහි අනවජ්ජබලං යනු නිර්‍දොෂ බලයයි, සඞ්ගාහබලං යනු සංග්‍රහ කළයුත්තවුන් සංග්‍රහ කිරීමේ බලයයි, සිවුවැනි පස්වැනි සූත්‍රයෝ පැහැදිලි අරුත් ඇත්තේමය.
6. අසඞ්ඛෙය්‍ය සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි සංවට්ටති යනු මෙහි ආපොසංවට්ටය, තෙජොසංවට්ටය, වායොසංවට්ට යයි සංවට්ට තුනෙකි, සංවට්ට සීමා තුන වනුයේ ආභස්සර, සුභකිණ්ණ හා වේහපඵල යන තුනයි, යම්විටෙක කල්පය තදින් විනාශවෙයි ද ආභස්සරයෙන් යට ගින්නෙන් දැවෙයි, යම්විටෙක දියෙන් විනාශවෙයි ද සුභකිණ්ණයෙන් යට ජලයෙන් වැසීයයි, යම්විටෙක වාතයෙන් විනාශවෙයි ද වෙහපඵලයෙන් යට සුළඟින් විනාශවෙයි, විස්තර වශයෙන් සැමවිටම එක් බුද්ධ ක්ෂේත්‍රයක් විනාශ වෙයි, මෙය මෙහි කෙටි විස්තරයයි, විස්තර කථාව විසුද්ධිමග්ගයෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.
7. රෝග සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි විඝාතවා යනු දැඩි ආශා හේතුවෙන් විනාශවීමේ දුකින් යුක්තවූයේයි, අසන්තුට්ඨො යනු සිවුපසයෙහි සන්තොස තුනෙන් අසතුටු වූයේයි, අනවඤ්ඤපටිලාභාය යනු අනුන් විසින් නොදන්නා දෙය ලැබීම සඳහාය, ලාභසක්කාරසිලොකපටිලාභාය යනු මනාව සකසන ලද සිවුපස නම්වූ ලාභසසත්කාරය ද ගුණකීම් සංඛ්‍යාත වූ කීර්තිය ද ලැබීම සඳහායි, සඞ්කාය කුලානි උපසංකමති යනු මොවුහු මා දැන ගන්නාහුයයි දැන ගැනීම සඳහා කුලයන්ට එළඹෙයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි.
8. පරිහාණි සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි ගම්භීරෙසු යනු අර්‍ත්‍ථයෙන් ගැඹුරු වූ දෙයෙහියි, ඨානාඨානෙසු යනු කරුණෙහි හා නොකරුණෙහිය, න කමති යනු ඇතුළට නොබසියි, නොපවසයි, ප්‍රඥාචක්ෂුසයැයි මෙහි ඉගෙනීමේ හා විමසීමේ ප්‍රඥාව ද වටීයි. සම්මර්‍ශන ප්‍රතිවෙධ ප්‍රඥාව ද වටින්නේමය.
9. භික්ඛුනී සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි එහි ත්‍වං යනු තෙරුන් කෙරෙහි පිළිබඳ සිත් ඇත්තී එය යවන්නට මෙසේ කීවාය, සසීසං පාරුපිත්වා යනු හිස සමඟ සිරුර පොරවායි, මඤ්චකෙ නිපජ්ජි යනු ඉක්මණින් ඇඳක් පනවා එහි වැදහොත්තේය, එතදවොච යනු ඇයගේ ආකාරය සලකා ලොභය දුරුකරනු සඳහා සියුම් ලෙසින් අසුභ කථාව කීමට මෙසේ කීවේය. ආහාර සම්භුනො යනු අහරින් හටගත්තේ ආහාරය නිසා වඩනා ලද්දේයි, ආහාරං නිස්සාය ආහාරං පජහති යනු වර්‍තමාන කැබලි ආහාරය එය මෙසේ නුවණින් සේවනය කරනු ලබන්නේ පූර්‍වකර්‍ම සංඛ්‍යාත ආහාරය දුරු කරයි, වර්‍තමාන කැබලි අහරෙහි මෙහෙයවන්නා වූ තෘෂ්ණාව දුරුකළ යුත්තේමය,
තණ්හං පජහති යනු දැන් මෙසේ පැවති වර්‍තමාන තෘෂ්ණාව නිසා සංසාරමූලක වූ පූර්‍වතෘෂ්ණාව දුරුකරයි, මේ වර්‍තමාන තෘෂ්ණාව කුශලද අකුශලද? අකුශලයි. ඇසුරු කළ යුතුද ඇසුරු නොකළ යුතුද ඇසුරු කළ යුතුය, ප්‍රතිසන්ධිය අදියිද නොඅදියිද? නොඅදියි, මේ ඇසුරු කළ යුතු වර්‍තමාන තෘෂ්ණාවට කැමැත්ත දුරුකළයුතුය. සොහි නාම ආයස්මා ආසවානං ඛයා උපසමපජ්ජ විහරිස්සති කිමංග පනාහං යන මෙහි කිමඞ්ගපන යන කරුණු විමසීමයි, මෙය කියන ලද්දේ වෙයි: ඒ ආයුෂ්මතුන් වහන්සේ අරහත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කොට වාසය කරති, මම කුමන කරුණක් නිසා ප්‍රත්‍යක්‍ෂ නොකොට වසන්නෙම්ද? ඒ ආයුෂ්මතුන් වහන්සේ ද සම්මා සම්බුදුන් වහන්සේගේම පුත්‍රයෙකි. මම ද සම්මා සම්බුදුන් වහන්සේගේම පුත්‍රයෙක්මි, මටද මේ රහත්ඵලය උපදින්නේය යනුවෙනි. මානං නිස්සාය යනු මේ එසේ උපන් සෙවිය යුතු මානය නිසායි. මානං පජහති යනු සංසාරමූලික පූර්‍වමානය දුරුකරයි, යමක් නිසා මෙතෙම එම මානය දුරුකරයිද? එය ද තෘෂ්ණාව මෙන්ම අකුශලයකි. ඇසුරු කළ යුතුය, ප්‍රතිසන්ධිය ඇද දමන්නේද නොවේ. එහි කැමැත්ත ද දුරුකළ යුත්තේමය,