චතුක්ක නිපාත වර්‍ණණාව
1. ප්‍රථම පණ්ණාසකය
1. භණ්ඩගාම වර්ගය
1. අනුබුද්ධ සූත්‍ර වර්ණනාව
චතුෂ්ක නිපාතයේ පළමුවැනි සූත්‍රයෙහි අනනුබොධා යනු අවබෝධ නොකිරීමෙනි, නොදැනීමෙනි. අප්පටිවෙධා යනු මනාව වටහා නොගැනීමෙනි, ප්‍රත්‍යක්ෂ නොකිරීමෙනි, දීඝමද්ධානං යනු බොහෝ කාලයකි. සන්ධාවිතං යනු භවයෙන් භවයට යාම් වශයෙන් හැසිරෙන ලදි. සංසරිතං යනු යළියළිත් යාම් ඊම් වශයෙන් සැරිසරන ලදි. මමඤ්චෙව තුම්හාකඤ්ච යනු මාවිසින් ද ඔබලා විසින් ද යනුයි. නැතහොත් සන්ධාවිතං සංසරිතං යනු මගේ ද ඔබලාගේ ද හැසිරීම සැරිසැරීම වීය යනුවෙන් මෙසේ මෙහි අර්ථය දත යුතුය. අරියස්ස යනු නිදොස් වූවහුගේයි. සීලසමාධිඤ්ඤා යන මේ ධර්ම තුන සමඟ යුක්ත වූවාහුමයයි දතයුත්තාහ. විමුත්ති නමින් ඵලයම දක්වන ලදි. භවතණ්හා යනු භවයන්හි ඇල්මයි. භවනෙත්ති යනු භව රැහැනයි. මෙය තෘෂ්ණාවටම නමෙකි. එයින් වනාහි සත්ත්වයෝ ගොණුන් මෙන් ගෙලෙහි බැඳ ඒ ඒ භවයට පමුණුවනු ලැබෙත්. එබැවින් භව රැහැන යයි කියනු ලැබේ.
අනුත්තරා යනු ලෝකෝත්තරවූයි. දුක්ඛස්සන්තකරො යනු සංසාර දුක කෙළවර කරන්නේයි. චක්ඛුමා යනු පසැසින් ඇස් ඇත්තායි. පරිනිබ්බුතො යනු කෙලෙස් පිරිනිවුමෙන් පිරිනිවුනාවූයි. මෙය උන්වහන්සේගේ බෝමැඩ දී පළමු පිරිනිවීමයි. පසුව වනාහි සල්ගස් දෙකක් අතර අනුපාදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවියේ යැයි අනුසන්ධි පරිද්දෙන් දේශනාව අවසන් කළසේක.
2. පපතිත සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි පපතිතො යනු වැටුණේ, ගිලිහී ගියේයි. අප්පපතිතො යනු නොවැටුණේ, පිහිටියේයි. එහි ලෞකික මහජනයා වැටුණේම නම් වෙයි. සෝවාන් ආදීහු කෙලෙස් උපන් කෙරෙහි වැටුණාහු නම් වෙත්. ආස්‍රවයන් ක්ෂය කළ තැනැත්තා ඒකාන්තයෙන්ම පිහිටියේ නම් වෙයි.
චුතා පත්තති යනු යමෙක් චුත වූවාහුද ඔවුහු වැටෙත් නම් වෙත්. පතිතා යනු යමෙක් වැටුණාහුද ඔවුහු චුත වූවාහු නමි. චුත වූ බැවින් වැටුණාහුය. වැටුණු බැවින් චුත වූවාහු යයි අර්ථයි. ගිද්ධා යනු රාගයෙන් රත් වූවාහුයි. පුනරාගතා යනු නැවත උපතට, නැවත ජරාවට නැවත ව්‍යාධියට නැවත මරණයට ආවාහු නම් වෙත්. කතකිච්චං යනු සිවුමගින් කළයුතු කිසයි. රතං රම්මං යනු රමනය කළයුතු ගුණසමූහයෙහි සතුටු වූයේයි. සුඛෙන්නවාගතං සුඛං යනු සුවයෙන් සුවය අනුව පැමිණි එළැඹුණුයි. මිනිස් සුවයෙන් දිවසුවයට, ධ්‍යාන සුවයෙන් විදර්‍ශනා සුවයට, විදර්‍ශනා සුවයෙන් මාර්ග සුවයට, මාර්ග සුවයෙන් ඵලසුවයට, ඵල සුවයෙන් නිවන් සුවයට පැමිණි එළඹුණු යන අර්ථයයි.
3. පඨමඛත සූත්‍ර වර්ණනාව
තෙවැන්න දුක නිපාත වර්‍ණණාවෙහි කියන ලද්දේමය. ගාථාවන්හි වනාහි නින්දියං යනු නින්දා කටයුතු වූයි. නින්දති යනු ගර්භා කරයි. පසංසියො යනු පැසසිය යුතු වූයේයි. විචිනාති මුඛෙන සො කලිං යනු මෙසේ පැවති හෙතෙම ඒ මුවෙන් පාපය රැස්කරයි නමි. කලිනා තෙන සුඛං නවින්දති යනු ඒ පාපයෙන් සුවය නොලබයි. සබ්බස්සාපි සහාපි අත්තනා යනු සියලු සිය ධනයෙන් මෙන්ම තමන්ද සමඟ යම් පරාජයක් වේ ද එය ස්වල්පමාත්‍ර වූම අභාග්‍යයක් යන අර්ථයයි. සො සුගතෙසු යනු යමෙක් වනාහි මනාව ගිය පුද්ගලයින් කෙරෙහි සිත දූෂ්‍ය කරන්නේ ද, මෙම චිත්තදූෂණය ඒ පාපයෙන් ඉතා මහත්වූ පාපයයි. දැන් එහි ඉතා මහත්බව දක්වමින් සතං සහස්සානං යනාදිය කීහ. සතං සහස්සානං යනු නිරබ්බුද ගණනින් ලක්ෂයකි. ඡත්තිංසති යනු අන්‍ය වූ ද සතිස් නිරබ්බුදයෝයි. පඤ්ච ච යනු අබ්බුද ගණනින් අබ්බුද පසෙකි. යමරියගරහී යනු ආර්යයන් ගරහන්නා යම් නිරයක උපදී ද එහි එපමණ ආයුෂ ඇත්තේයි.
4. දුතියඛත සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි මාතරිපිතරී ච යනාදියෙහි මිත්තවින්දක තෙමේ මව කෙරෙහි වැරදි සේ පිළිපන්නේ නමි. ආජාතසත්තු තෙමේ පියා කෙරෙහි වැරදි සේ පිළිපන්නේ නමි. දෙව්දත් තෙමේ තථාගතයන් කෙරෙහි වැරදි සේ පිළිපන්නේ නමි. කොකාලික තෙමේ තථාගත ශ්‍රාවකයා කෙරෙහි වැරදි සේ පිළිපන්නේ නමි. බහුඤ්ච යනු බොහෝ වූවක්මය, පසවති යනු ලබයි. තාය යනු ඒ මිථ්‍යා ප්‍රතිපත්ති සංඛ්‍යාත අධර්ම චර්යාවෙනි. පෙච්ච යනු මෙයින් ගොය. අපායං ගච්ඡති යනු නිරයාදීන් අතුරෙහි එක් නිරයක උපදියි. පුණ්‍ය පක්ෂයෙහි ද මේ ක්‍රමයමැයි.
5. අනුසෝත සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි ස්‍රෝතය අනුව යන්නේනුයි අනුසොතගාමී නමි. කෙලෙස් වසයෙන් ඔහුගේ විරුද්ධ ප්‍රතිපත්තියෙන් ප්‍රතිස්‍රෝතසට යන්නේනුයි පටිසොතගාමී නමි. ඨිතතෙනා යනු පිහිටි ස්වභාවය ඇත්තේයි. තිණ්ණො යනු සැඩපහර තරණයකොට සිටියේයි. පාරංගතො යනු පරතෙරට ගියේයි. ථලෙ තිට්ඨති යනු නිවන්තලයෙහි සිටියි. බ්‍රාහ්මණො යනු ශ්‍රේෂ්ඨ වූයේ නිර්දෝෂ වූයේයි. ඉධ යනු මෙලොවෙහියි. කාමෙ ච පටිසෙවති කිලෙසකාමයෙන් වස්තුකාමයන් ඇසුරු කරයි. පාපඤ්ච කම්මං කරොති යනු පරපණ නැසීම් ආදී පාපකර්මය ද කරයි. පාපඤ්ච කම්මං න කරොති යනු වෛරකර්‍ම පස (පස්පවු) නොකරයි. අයං වුච්චති භික්ඛවෙ ඨිතත්තො යනු මේ අනාගාමී පුද්ගලයා එලොවින් යළි පිළිසිඳ ගැනීම් වශයෙන් නොපැමිණීම් වශයෙන් සිටියේ නමි.
තණ්හාධිපන්නා යනු තෘෂ්ණාවට පිවිසියේ, ඇතුළත් වූයේයි හෝ තෘෂ්ණාවට පිවිසියේ ඇතුළත් වූයේයි. පරිපුණ්ණසෙඛො යනු ශික්ෂා සපිරීමෙහි සිටියේයි. අසහානධම්මො යනු නොපිරිහුණු ස්වභාවයයි. වෙතොවසිප්පත්තො යනු සිතෙහි වසඟ බවට පැමිණියේයි. මෙබඳු වූ ක්ෂීණාශ්‍රවයෙක් වෙයි. මෙහි වනාහි අනාගාමි පුද්ගලයා කියන ලදි. සමාහිතින්ද්‍රියො යනු මනාව පිහිටුවන ලද ඉඳුරන් සය ඇත්තේයි. පරොවරා යනු උසස් පහත් උතුම්ලාමක කුසල් අකුසල්ය යන අර්ථයයි. සමෙව්ව යනු නුවණින් එක්වීයි. විධූපිතා යනු විනාශ කරනලද හෝ දවන ලද්දාවූයි. වුසිතබ්‍රහ්මචරියො යනු මග බඹසර වැස සිටියේයි. ලොකන්තගු යනු තෙවැදෑරුම් ලෝකයේ කෙළවරට ගියේයි. පාරගතො යනු සය අයුරකින් පරතෙරට ගියේයි. මෙහි ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේම කියන ලදහ. මෙසේ සූත්‍රයෙහි ද ගාථාවන්හි ද සසර හා නිවනම කියනලදී.
6. අප්පස්සුත සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි අනුප්පන්නො යනු නොපැමිණියේයි. සුත්තං යනාදියෙහි උභතොවිභංග, නිද්දෙස, ඛන්ධක, පරිවාර, සුත්තනිපාත, මංගලසුත්ත, රතනසුත්ත, නාලකසුත්ත, තුවටක යන සුත්‍රයෝ ද අන්‍ය වූ සුත්‍ර නාමය ඇති බුද්ධ වචනය සුත්ත යයි දතයුතුය. සියලුම ගාථා සහිත වූ සූත්‍ර ගෙය්‍ය යයි දතයුතුය. විශේෂයෙන් සංයුත්ත නිකායෙහි සගාථක වර්‍ගයයි. සියලු අභිධර්ම පිටකය ද ගාථා නැති සූත්‍රය ද අංග අටෙහි සංග්‍රහ නොවූ යම් වෙනත් බුද්ධ වචනයක් වේ ද, එය වෙය්‍යාකරණ යයි දතයුතුය. ධම්මපද ථෙරගාථා, ථෙරීගාථා සුත්ත නිපාතයෙහි නොසුත්ත නම් දරන සුද්ධික ගාථා ද ගාථා යයි දතයුතුය. සොමනස්ස ඤාණමය ගාථාවන්ගෙන් යුක්ත වූ දෙඅසූවක් සූතාන්තයෝ උදානයැයි දතයුතුය. වුත්තමිදං භගවතා යනාදී ක්‍රමයෙන් පැවති එකසිය දහයක් සූත්‍රාන්තයෝ ඉතිවුත්තක යයි දතයුත්තාහ. අපණ්ණක ජාතක ආදී වූ පන්සිය පණසක් ජාතකයෝ ජාතක යයි දතයුත්තාහ. චත්තාරොමෙ භික්ඛවෙ අච්ඡරියා අබ්භූතා ධම්මා ආනන්ද යනාදි ක්‍රමයෙන් පැවති සියලුම ආශ්චර්ය අද්භූතධර්‍ම ප්‍රතිසංයුත්ත වූ සූත්‍රාන්තයෝ අබ්භූත ධම්ම යැයි දතයුත්තාහ. චුල්ලවේදල්ල, මහාවේදල්ල, සම්මාදිට්ඨි, සක්කපඤ්හ, සංඛාරහාජනිය, මහාපුණ්ණම සූත්‍රාදියද දැනීම ද සතුට ද ලබමින් අසනලද සියලු සූත්‍රාන්තයෝ ද වේදල්ල යැයි දතයුතුය. න අත්ථමඤ්ඤාය න ධම්මමඤ්ඤාය යනු අර්‍ත්‍ථ කථාත් පාළියත් නොදැනයි. ධම්මානුධම්මපටිපන්නො යනු නව ලොවුතුරා දහමට අනුරූප ධර්‍මය වූ සීලය සහිත පූර්‍වභාග ප්‍රතිපදාවට පිළිපන්ණේ නොවෙයි. මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි අර්ථය දත යුතුය. මෙහි ප්‍රථම වාරයෙහි වනාහි ඇසූපිරූතැන් නැති දුශ්ශීලයා කියනලදී. දෙවැනි වාරයෙහි ඇසූපිරූ තැන් නැති ක්ෂීණාශ්‍රවයන් වහන්සේ කියන ලදහ. තෙවැන්නෙහි ඇසූපිරූ තැන් ඇති දුශ්ශීලයා ද සිවුවැන්නෙහි ඇසූපිරූ තැන් ඇති ක්ෂීණාශ්‍රවයන් වහන්සේ ද (කියන ලදහ.)