8. 2. 9. 6.
නාගිත සූත්රය
එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කොසොල්රට මහබික්සඟුන් හා සැරිසරන සේක් කෝසලයන්ගේ ඉච්ඡානඞ්ගල නම් බමුණුගමට වැඩිසේක. භාග්යවතුන් වහන්සේ ඒ ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගලවන ලැහැබ්හි වසන සේක. ඉච්ඡානඞ්ගලක බමුණන් හා ගැහැවියෝ (සැහැපුත් සැහැකුලෙන් පැවිදි වූ) පින්වත් මහණ ගොයුම් ඉච්ඡානඞ්ගලයට පැමිණියේ ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගල වනළැහැබ්හි වාස කෙරෙ යයි ඇසූහ. “මෙ කරුණෙනුදු ඒ භගවත් අර්හත් සම්යක්සම්බුද්ධයහ ... එ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කලණකිත්ගොස උස්ව නැඟියේය. එබඳු රහතුන්ගේ දර්ශනය වේ නම් මැනැවැ”යි.
ඉක්බිති ඉච්ඡානඞ්ගලක බමුණන් හා ගැහැවියෝ ඒ රෑ ඉක්මයාමෙන් පසු බොහෝ ඛාද්ය භෝජ්යයන් ගෙන ඉච්ඡානඞ්ගල වනළැහැබට එළැඹියහ. එළැඹ උස්හඬ - මහහඬ ඇත්තාහු බිහිදොරටුයෙහි සිටගත්හ.
එසමයෙහි ආයුෂ්මත් නාගිත තෙරණුවෝ භාග්යවතුන් වහන්සේගේ උපස්ථායක වෙත්. එකල භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන් ඇමතූසේක: නාගිතය, මසුන් මරා විකුණන තන්හි කෙවුළන් සෙයින් උස් හඬ - මහහඬ ඇති ඔහු කවරහ යි.
වහන්ස, තෙල ඉච්ඡානඞ්ගලක බමුණන් හා ගැහැවියෝ බොහෝ ඛාද්ය භෝජ්ය ගෙන භාග්යවතුන් වහන්සේ හා භික්ෂූසඞ්ඝයා උදෙසා බිහිදොරොටුයෙහි සිටියහයි.
නාගිතය, මම යශස් හා නො එක්වෙම්වා! යශස් ද මා හා නො එක් වේවා! නාගිතය, මම් යම් ම නෙක්ඛම්මසුඛයක් පවිවේකසුඛයක්, උපසමසුඛයක්, සම්බෝධසුඛයක්, කැමැතිසේ ලබනුයෙම් නිදුක්සේ ලබනුයෙම්, විපුල කොට ලබනුයෙම් වෙම් ද, යමෙක් මේ නෙක්ඛම්මසුඛය පවිවේක සුඛය උපසමසුඛය සම්බෝධසුඛය කැමැතිසේ නො ලබනුයේ නිදුක්සේ නො ලබනුයේ විපුල සේ නො ලබනුයේ වේ නම් හෙ මීඪසුඛ වූ මිද්ධ සුඛ වූ ඒ ලාභසත්කාර කීර්ත්ති සුඛය ඉවසනේ ය.
වහන්ස, දැන් භාග්යවතුන් වහන්සේ ඉවසන සේක්වා! සුගතයන් වහන්සේ ඉවසන සේක්වා! වහන්ස, දැන් භාග්යවතුන් වහන්සේගේ අධිවාසන කාලයයි. වහන්ස, දැන් භාග්යවතුන් වහන්සේ යම් යම් තැනෙකින් ම වඩනා සේක් ද, නියම්ගම් වැසිවූත් දනවු වැසිවූත් බමුණන් හා ගැහැවියෝ එතැනට නතුවූවාහු ම වෙත්. වහන්ස, යම්පරිදි දළ පොද ඇති මේඝය වස්නා කල්හි නතු තැන් නො ඉක්මැ දිය වැටේ ද, වහන්ස, එපරිදිම දැන් භාග්යවතුන් වහන්සේ යම් යම් තැනෙකින් ම වඩනා සේක් ද, නියම්ගම් වැසි වූත් දනවු වැසිවූත් බමුණන් හා ගැහැවියෝ එතැනට නතු වූවාහු ම වෙත්. ඒ කවර හෙයින: වහන්ස, භාග්යවතුන් වහන්සේගේ ශීලය හා ප්රඥාව එසේ මැයි.
නාගිතය, මම යශස් හා නො එක්වෙම්වා! යශස් ද මා හා නො එක් වේවා! නාගිතය, මම යම් ම නෙක්ඛම්මසුඛයක් පවිවේක සුඛයක් උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම්, නිදුක්සේ ලබනුයෙම්, විපුලකොට ලබනුයෙම් වෙම් ද, යමෙක් මේ නෙක්ඛම්ම සුඛය, පවිවේක සුඛය, උපසම සුඛය, සම්බොධ සුඛය කැමැතිසේ නො ලබනුයේ නිදුක්සේ නො ලබනුයේ විපුලසේ නො ලබනුයේ වේ නම් හෙතෙමේ මීඪසුඛ (අසුවිසුඛ) වූ මිද්ධ සුඛ (නිද්රාසුඛ) වූ ඒ ලාභසත්කාර ශ්ලෝකසුඛය ඉවසන්නේ ය.
නාගිතය, මම යම් නෙක්ඛම්මසුඛයක් පවිවේක සුඛයක් උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම් නිදුක්සේ ලබනුයෙම් විපුලසේ ලබනුයෙම් වෙම් නම් ඇතැම් දෙවතාවෝත් මේ නෙක්ඛම්මසුඛය පවිවේක සුඛය උපසම සුඛය සම්බොධ සුඛය කැමැතිසේ ලබන්නාහු නිදුක්සේ ලබන්නාහු විපුලසේ ලබන්නාහු නො වෙත්.