8. 2. 9. 7.
පත්තනිකුජ්ජන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අටඟින් සමන්වාගත උපාසකයාහට සඞ්ඝ තෙමේ කැමැති වේ නම් පත්තනික්කුජ්ජන කර්මය කරන්නේ ය. කවර අටඟෙකින් යත්:
භික්ෂූන්ගේ අලාභය පිණිස උත්සාහ කෙරෙයි. භික්ෂූන්ගේ අනර්ත්ථය පිණිස උත්සාහ කෙරෙයි. භික්ෂූන්ගේ අවාසය පිණිස උත්සාහ කෙරෙයි, භික්ෂූන්ට ආක්රෝශ කෙරෙයි, පරිභව කෙරෙයි, මහණුන් මහණුන් හා බිඳුවයි. බුදුන්ගේ අයුණු කියයි, දහම්හි අයුණු කියයි, සඟුන්ගේ අයුණු කියයි. මහණෙනි, මේ අටඟින් සමන්වාගත උපාසකයාහට කැමැති වේ නම් සඞ්ඝයා පත්තනික්කුජ්ජන කර්මය (පිඬුවා නො පිළිගැනුම්) කරන්නේ ය.
මහණෙනි, අටඟෙකින් සමන්වාගත උපාසකයාහට කැමැති වේ නම් සඞ්ඝයා පත්ත උක්කුජ්ජන කර්මය කරන්නේ ය. කවර අටඟෙකින් යත්:
භික්ෂූන්ගේ අලාභය පිණිස උත්සාහ නො කෙරෙයි, භික්ෂූන්ට අනර්ත්ථය පිණිස උත්සාහ නො කෙරෙයි. භික්ෂූන්ට අවාසය පිණිස උත්සාහ නො කෙරෙයි. භික්ෂූන්ට ආක්රෝශ නො කෙරෙයි, පරිභව නො කෙරෙයි. භික්ෂූන් භික්ෂූන් හා නො බිඳුවයි, බුදුන්ගේ ගුණ වනයි. දහම්හි ගුණ වනයි. සඟුන්ගේ ගුණ වනයි. මහණෙනි, මේ අටඟින් සමන්වාගත උපාසකයාහට කැමැති වේ නම් සඞ්ඝයා පත්ත උක්කුජ්ජන කර්මය කරන්නේ යි.
8. 2. 9. 8.
අප්පසාදප්පසාද සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අටඟෙකින් සමන්වාගත මහණහට උපාසකයෝ කැමැති වෙත් නම් අප්රසාදය දන්වන්නාහ. කවර අටඟෙකින් යත්:
ගිහියනට අලාභය පිණිස උත්සාහ කෙරෙයි. ගිහිනට අනර්ත්ථය පිණිස උත්සාහ කෙරෙයි. ගිහිනට ආක්රෝශ කෙරෙයි, පරිභව කෙරෙයි, ගිහියන් ගිහියන් හා බිඳුවයි. බුදුන්ගේ අයුණු කියයි, දහම්හි අයුණු කියයි, සඟුන්ගේ අයුණු කියයි, අගෝචරයෙහිදු ඔහු දකිති. මහණෙනි, මේ අටඟින් සමන්වාගත මහණහට උපාසකයෝ කැමැති වන්නාහු නම් අප්රසාදය දන්වන්නාහ.
මහණෙනි, දහම් අටකින් සමන්වාගත මහණහට උපාසකයෝ කැමැති වෙත් නම් ප්රසාදය දන්වන්නාහ. කවර අටකරුණෙකින යත්:
ගිහීන්ගේ අලාභය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට අනර්ත්ථය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට ආක්රෝශ නො කෙරෙයි, පරිභව නො කෙරෙයි, ගිහියන් ගිහියන් හා නො බිඳුවයි, බුදුන්ගේ ගුණ කියයි, දහම්හි ගුණ කියයි, සඟුන්ගේ ගුණ කියයි, ගෝචරස්ථානයෙහිදු ඔහු දකිති. මහණෙනි, උපාසකයෝ කැමැති වෙත් නම් මේ අටකරුණින් සමන්වාගත මහණහට ප්රසාදය දන්වන්නාහු යි.