9. සති වර්‍ගය
8. 2. 9. 1.
සතිසම්පජඤ්ඤ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, ස්මෘතිසම්ප්‍රජන්‍යය නැති කල්හි ස්මෘතිසම්ප්‍රජන්‍යය නටුවහුගේ හිරිඔතප් හතොපනිඃශ්‍රය (නටඋපනිඃශ්‍රය ඇතියේ) වෙයි. හිරිඔතප් නැති කල්හි නට හිරිඔතප් ඇතියහුගේ ඉන්‍ද්‍රිසංවරය හතොපනිඃශ්‍රය වෙයි. ඉන්‍ද්‍රිය සංවරය නැති කල්හි ඉන්‍ද්‍රියසංවර විපන්නයාගේ සීලය හතොපනිඃශ්‍රය වෙයි. ශීලය නැති කල්හි ශීලවිපන්නයාගේ සම්‍යක්සමාධිය හතොපනිඃශ්‍රය වෙයි. සම්‍යක්සමාධිය නැතිකල්හි සම්‍යක්සමාධි විපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය හතොපනිඃශ්‍රය වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිකල්හි යථාභූත ඥානදර්‍ශනවිපන්නයාගේ (බලවත් විදර්‍ශනා සඞ්ඛ්‍යාත) නිර්වේදය හා (ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත) විරාගය හතොපනිඃශ්‍රය වෙයි. නිර්වේද විරාගය නැතිකල්හි විරාග විපන්නයාගේ (අර්‍හත්‍වඵල හා ප්‍රත්‍යවේක්‍ෂාඥාන සඞ්ඛ්‍යාත) විමුක්තිඥාන දර්‍ශනය හතොපනිඃශ්‍රය වේ.
මහණෙනි, අතුකොළ නැති රුකෙක් යම්සේ වේ නම් එහි පොතු ද පිරිපුන්බවට නො යෙයි, සිවියත් බොරුද් හරත් පිරිපුන්බවට නො යේ. මහණෙනි, එසෙයින් ම ස්මෘතිසම්ප්‍රජන්‍යය නැතිකල්හි ස්මෘති සම්ප්‍රජන්‍යය විපන්නයාගේ හිරිඔතප් නටුවා වු ප්‍රත්‍යය ඇත්තේ වෙයි. හිරිඔතප් නැති කල්හි හිරිඔතප් විපන්නයාගේ ... විමුක්තිඥානදර්‍ශනය නටුවාවූ ප්‍රත්‍ය ඇත්තේ වේ.
මහණෙනි, ස්මෘතිසම්ප්‍රජන්‍යය ඇතිකල්හි ස්මෘතිසම්ප්‍රජන්‍යය සම්පන්නයාගේ හිරිඔතප් උපනිඃශ්‍රය සම්පන්න වෙයි. හිරිඔතප් ඇතිකල්හි හිරිඔතප් සපන්හුගේ ඉන්‍ද්‍රියසංවරය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. ඉන්‍ද්‍රිය සංවරය ඇතිකල්හි ඉන්‍ද්‍රිය සංවරසම්පන්නයාගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ශීලය ඇතිකල්හි ශීලසම්පන්නයා ගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇතිකල්හි සම්‍යක්සමාධිසම්පන්නයා ගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිකල්හි යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිර්වේදවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිර්වේදවිරාගය ඇතිකල්හි නිර්වේදවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වේ.
මහණෙනි, යම්පරිදි අතුකොළින් යුතු රුකෙක් වේ නම් එහි පොතුත් පිරිපුන් බවට යෙයි ද, සිවියත් බොරුත් හරත් පිරිපුන් බවට යෙයි ද, මහණෙනි, එපරිදි ම ස්මෘතිසම්ප්‍රජන්‍යය ඇතිකල්හි ස්මෘතිසම්ප්‍රජන්‍ය සම්පන්නයාගේ හිරිඔතප් උපනිඃශ්‍රය වෙයි. හිරිඔතප් ඇතිකල්හි හිරිඔතප් සපන්හුගේ ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වේ යයි.
8. 2. 9. 2.
පුණ්ණිය සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් පුණ්ණිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් පුණ්ණිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:
වහන්ස, යම් කරුණෙකින් තථාගතහට කිසිකලෙක ධර්‍මදේශනාව වටහා නම්, කිසිකලෙක නො වටහා නම් එයට හේතු කවර යැ, ප්‍රත්‍යය කවර යැ යි?
පුණ්ණිය, භික්‍ෂු තෙමේ ශ්‍රද්ධා ඇතියේ ද වෙයි, එළඹෙන සුලු ද නො වෙයි. ඒ තාක් කල් තථාගතහට ධර්‍මදේශනාව නො වටහයි. පුණ්ණිය, යම් කලෙක භික්‍ෂු තෙමේ ශ්‍රද්ධා ඇතියේත් වේ ද, එළැඹෙන සුලුත් වේ ද, එසේවත් ම තථාගතහට ධර්‍මදේශනාව වටහයි.
පුණ්ණිය, භික්‍ෂු ශ්‍රද්ධා ඇතියේත් වෙයි, එළැඹෙනුයේත් වෙයි, ඇසුරු නො කරනුයේත් වෙයි. ... ඇසුරුකරනුයේත් වෙයි, පරිපෘච්ඡා නො කරනුයේත් වෙයි ... පරිපෘච්ඡා කරනුයේත් වෙයි, යොමුකළ කන් ඇතියේ දහම් නො ද අසයි ... යොමු කළ කන් ඇතියේ දහම් අස අසා දහම් ද නො ද ධරයි. ... අසා ධර්‍මය ධරන්නේත් වෙයි. දැරූ දහමුන්ගේ අරුත් නො පිරික්සයි ... දැරූ දහමුන්ගේ අර්‍ත්‍ථ ද පිරික්සයි අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න නො වේ. ඒ තාක් තථාගතහට ධර්‍මදේශනාව නො වටහ යි.
පුණ්ණිය, යම් කලෙක භික්‍ෂු තෙමේ ශ්‍රද්ධා ඇතියේත් වේ ද, වෙත එළැඹෙනුයේත් වේ ද, ඇසුරු කරනුයේත් වේ ද, පරිපෘච්ඡාකරනුයේත් වේද, අවහිතශ්‍රෝත වූයේත් දහම් අසා ද, අසා දහමත් ධරා ද, ධැරූ දහමුන්ගේ අරුත් පිරික්සන්නේ ද, අරුත් දැන, දහම් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නත් වේ ද, මෙසේ තථාගතහට ධර්‍මදේශනාව වටහ යි. පුණ්ණිය, මේ දහම් අටින් සමන්‍වාගත වූවහුට තථාගතයන්ගේ ඒකාන්ත ප්‍රතිභාන ඇති ධර්‍මදේශනාව වේ ය යි.