2. දෙවන පණ්ණාසකය
6. ගෝතමී වර්ගය
8. 2. 6. 1.
ගෝතමී සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයෙහි කපිලවත්ථු සමීපයෙහි නිග්රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි මහාපජාපතීගෝතමී භාග්යවතුන් වහන්සේ වෙත එළඹියාය, එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා. එකත්පසෙක සිට ගත් මහාපජාපතී ගෝතමී භාග්යවතුන් වහන්සේට තෙල සැලකළා ය:
වහන්ස, මාගම තථාගත ප්රවිදිත වූ ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවැයි.
ගෞතමිය, කම් නැත. තථාගත ප්රවිදිත වූ ධර්මවිනයෙහි ගිහි ගෙන් නික්ම මාගමගේ අනගාරිය පැවිද්ද තොපට රිසි නො වේව යි.
දෙවන වටත් මහාප්රජාපතී ගෝතමී භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළා ය: වහන්ස, තථාගත ප්රවිදිත වූ ධර්මවිනයෙහි මාගම ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්යාත පැවිද්ද ලබන්නේ නම් මැනැවැ යි.
ගෞතමිය, කම් නැත. තථාගත ප්රවිදිත වූ ධර්ම විනයෙහි ගිහි ගෙන් නික්ම මාගම්හුගේ අනගාරිය පැවිද්ද තොපට රිසි නො වේවා යි.
තෙවන වටත් මහාපජාපතී ගෝතමී භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළා ය: වහන්ස, මාගම තථාගත ප්රවිදිත ධර්මවිනයෙහි අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවැයි.
ගෝතමිය, කම් නැත. තථාගත ප්රවිදිත වූ ධර්මවිනයෙහි මාගමගේ අනගාරිය පැවිද්ද රිසි නො වේව යි.
ඉක්බිති මහාප්රජාපතී ගෝතමී භාග්යවතුන් වහන්සේ මාගමට තථාගත ප්රවිදිත ධර්මවිනයෙහි අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැ යි දුක් ඇත්තී නො සතුටු සිතැත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී භාග්යවතුන් වැඳ පැදකුණු කොට බැහැර ගියා ය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ කපිලවත්ථුවෙහි කැමති තාක් කල් වැස වේසාලිය බලා චාරිකාවට පිටත්ව වැඩි සේක. අනුපිළිවෙළින් සැරිසරන සේක් වෛශාලියට වැදගත් සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ වේසාලියෙහි මහාවනයෙහි වූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක.
එකල්හි මහාපජාපතී ගෝතමී කෙස් බහවා කසාවත් හැඳ බොහෝ සැහැදුන් හා සමග වේසාලිය බලා පිටත් වූ, අනුපිළිවෙළින් වේසාලියෙහි මහාවනයෙහි කූටාගාරශාලාවට එළඹියා ය.
ඉක්බිති මහාපජාපතී ගෝතමී ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් යුතුව දුක් ඇත්තී දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී බිහි දොර කොටුවෙහි සිටියා ය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් දුක් ඇති දොම්නසින් යුත් කඳුළු පිරි මුහුණැතිව හඬනා බිහි දොර කොටුවෙහි සිටි මහා ප්රජාපතී ගෝතමිය දුටහ. දැක මහාපජාපතී ගෝතමියට තෙල කරුණ කීහ:
ගෝතමිය, කවර හෙයින් තෙපි ඉදිමුණු පයින් හා රජස් වැකි සිරුරින් යුක්ත වූවා දුක් ඇත්තී දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී බිහිදොර කොටුවෙහි සිටිය වු ද?
වහන්ස ආනන්දයෙනි, එසේ මැයි; භාග්යවතුන් වහන්සේ තථාගත ප්රවිදිත වු ශාසනයෙහි මාගම්ට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැ යි.
ගෞතමිය, එසේ වී නම් තථාගත ප්රවිදිත ධර්මවිනයෙහි මාගමක්හට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද භගවතුන් අතින් මම් යම් තාක් යදිම් ද, ඒතාක් මෙහි ම වෙව.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළකළහ:
“වහන්ස, භාග්යවතුන් වහන්සේ මාගමට තථාගත ප්රවිදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැයි තෙල මහාපජාපතී ගෝතමී තොමෝ ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් යුතුව දුක් ඇත්තී දොම්නස් ඇත්තී කදුළුපිරි මුහුණැත්තී හඬන්නී බිහිදොර කොටුවෙහි සිටියා ය.