8. 2. 9. 5.
තථාගතාධිවචන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, ශ්‍රමණ යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, බ්‍රාහ්මණ යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, වේදගූ යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, භිසක්ක යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි. මහණෙනි, නිර්‍මල යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, විමල යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, ඤාණී යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, විමුත්ත යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි,
1. බ්‍රාහ්මණ වූ වැස නිම වූ බඹසර ඇති මහණහු විසින් යමකට පැමිණිය යුතු ද, ඤාණයෙහි කෙළවරට පත් වෙදහු විසින් අනුත්තර වූ යමකට පැමිණිය යුතු ද,
2. විමල වූ මනා නුවණ ඇති නිර්‍මලහු විසින් යමකට පැමිණිය යුතු ද, ඤාණී වූ විමුක්තයා විසින් අනුත්තර වූ යමකට පැමිණිය යුතු ද,
3. දිනූ සඞ්ග්‍රාම ඇති ඒ මම් මිදුනෙම් භවබන්‍ධනයෙන් (සෙස්සන්) මුදවමි. දැමුණු කෙලෙස් පිරිනිවනින් පිරිනිවි අශෛක්‍ෂ වූ උතුම් නාග වෙමි යි.
8. 2. 9. 6.
නාගිත සූත්‍රය
එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට මහබික්සඟුන් හා සැරිසරන සේක් කෝසලයන්ගේ ඉච්ඡානඞ්ගල නම් බමුණුගමට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගලවන ලැහැබ්හි වසන සේක. ඉච්ඡානඞ්ගලක බමුණන් හා ගැහැවියෝ (සැහැපුත් සැහැකුලෙන් පැවිදි වූ) පින්වත් මහණ ගොයුම් ඉච්ඡානඞ්ගලයට පැමිණියේ ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගල වනළැහැබ්හි වාස කෙරෙ යයි ඇසූහ. “මෙ කරුණෙනුදු ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයහ ... එ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කලණකිත්ගොස උස්ව නැඟියේය. එබඳු රහතුන්ගේ දර්‍ශනය වේ නම් මැනැවැ”යි.
ඉක්බිති ඉච්ඡානඞ්ගලක බමුණන් හා ගැහැවියෝ ඒ රෑ ඉක්මයාමෙන් පසු බොහෝ ඛාද්‍ය භෝජ්‍යයන් ගෙන ඉච්ඡානඞ්ගල වනළැහැබට එළැඹියහ. එළැඹ උස්හඬ - මහහඬ ඇත්තාහු බිහිදොරටුයෙහි සිටගත්හ.
එසමයෙහි ආයුෂ්මත් නාගිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙත්. එකල භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන් ඇමතූසේක: නාගිතය, මසුන් මරා විකුණන තන්හි කෙවුළන් සෙයින් උස් හඬ - මහහඬ ඇති ඔහු කවරහ යි.
වහන්ස, තෙල ඉච්ඡානඞ්ගලක බමුණන් හා ගැහැවියෝ බොහෝ ඛාද්‍ය භෝජ්‍ය ගෙන භාග්‍යවතුන් වහන්සේ හා භික්‍ෂූසඞ්ඝයා උදෙසා බිහිදොරොටුයෙහි සිටියහයි.