8. 2. 9. 2.
පුණ්ණිය සූත්රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් පුණ්ණිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹිය හ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් පුණ්ණිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල කීහ:
වහන්ස, යම් කරුණෙකින් තථාගතහට කිසිකලෙක ධර්මදේශනාව වටහා නම්, කිසිකලෙක නො වටහා නම් එයට හේතු කවර යැ, ප්රත්යය කවර යැ යි?
පුණ්ණිය, භික්ෂු තෙමේ ශ්රද්ධා ඇතියේ ද වෙයි, එළඹෙන සුලු ද නො වෙයි. ඒ තාක් කල් තථාගතහට ධර්මදේශනාව නො වටහයි. පුණ්ණිය, යම් කලෙක භික්ෂු තෙමේ ශ්රද්ධා ඇතියේත් වේ ද, එළැඹෙන සුලුත් වේ ද, එසේවත් ම තථාගතහට ධර්මදේශනාව වටහයි.
පුණ්ණිය, භික්ෂු ශ්රද්ධා ඇතියේත් වෙයි, එළැඹෙනුයේත් වෙයි, ඇසුරු නො කරනුයේත් වෙයි. ... ඇසුරුකරනුයේත් වෙයි, පරිපෘච්ඡා නො කරනුයේත් වෙයි ... පරිපෘච්ඡා කරනුයේත් වෙයි, යොමුකළ කන් ඇතියේ දහම් නො ද අසයි ... යොමු කළ කන් ඇතියේ දහම් අස අසා දහම් නො ද ධරයි. ... අසා ධර්මය ධරන්නේත් වෙයි. දැරූ දහමුන්ගේ අරුත් නො පිරික්සයි ... දැරූ දහමුන්ගේ අර්ත්ථ ද පිරික්සයි අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපන්න නො වේ. ඒ තාක් තථාගතහට ධර්මදේශනාව නො වටහ යි.
පුණ්ණිය, යම් කලෙක භික්ෂු තෙමේ ශ්රද්ධා ඇතියේත් වේ ද, වෙත එළැඹෙනුයේත් වේ ද, ඇසුරු කරනුයේත් වේ ද, පරිපෘච්ඡාකරනුයේත් වේ ද, අවහිතශ්රෝත්ර වූයේත් දහම් අසා ද, අසා දහමත් ධරා ද, ධැරූ දහමුන්ගේ අරුත් පිරික්සන්නේ ද, අරුත් දැන, දහම් දැන ධර්මානුධර්ම ප්රතිපන්නත් වේ ද, මෙසේ තථාගතහට ධර්මදේශනාව වටහ යි. පුණ්ණිය, මේ දහම් අටින් සමන්වාගත වූවහුට තථාගතයන්ගේ ඒකාන්ත ප්රතිභාන ඇති ධර්මදේශනාව වේ ය යි.
8. 2. 9. 3.
කිංමූලක සූත්රය
[සැවැත්නිදාන යි]
ඉදින් මහණෙනි, අන් තොටු පිරිවැජියෝ මෙසේ පුළුවුස්නාහු ද: ඇවැත්නි, හැම දහම්හු (පඤ්චස්කන්ධයෝ) කුමක් මුල්කොට ඇත්තාහු ද, හැමදහම්හු කුමක් ප්රභවකොට ඇත්තාහු ද, හැමදහම්හු කුමක් සමුදයකොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් වැදගැනුම් කොට ඇත්තාහු ද, හැමදහම්හු කුමක් ප්රමුඛ කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ආධිපත්යය කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් උතුරු කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් හරකොට ඇත්තාහු ද? කියා යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි අන්තොටු පිරිවැජියනට කුමැයි පවසවු ද?
වහන්ස, අපගේ ධර්මයෝ භගවත්හු මුල්කොට ඇත්තාහ. භගවත්හු නේතෘකොට ඇත්තාහ. භගවත්හු පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, තෙල භාෂිතයාගේ අර්ත්ථය භාග්යවතුන් වහන්සේට ම වැටහේවා! භාග්යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්ෂූහු ධරත්යි.
එසේ නම් මහණෙනි, අසවු, මොනොවට මෙනෙහි කරවු, කියමි යි. වහන්ස, එසේ යයි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක:
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, හැම දහම්හු කුමක් මුල් කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ප්රභව කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් සමුදය කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් වැදගැනුම් කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ප්රමුඛ කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ආධිපත්ය කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් උතුරුකොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් හරකොට ඇත්තාහු දැයි මෙසේ පුළුවුස්නාහු නම් මහණෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසවු.
ඇවැත්නි, හැම දහම්හු ඡන්දය (අධ්යාශයඡන්දය, කත්තුකම්යතා ඡන්දය) මුල්කොට ඇත්තාහ, හැම දහම්හු මනසිකාරය ප්රභවකොට ඇත්තාහ, හැම දහම්හු ස්පර්ශය සමුදය කොට ඇත්තාහ, හැම දහම්හු වේදනාව වැදගැනුම් කොට ඇත්තාහ, හැම දහම්හු සමාධිය ප්රමුඛ කොට ඇත්තාහ, හැමදහම්හු ස්මෘතිය ආධිපත්යය කොට ඇත්තාහ, හැම දහම්හු ප්රඥාව උතුරු කොට ඇත්තාහ, හැමදහම්හු විමුක්තිය සාරකොට ඇත්තාහ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසවු යි.