8. 2. 9. 3.
කිංමූලක සූත්රය
[සැවැත්නිදාන යි]
ඉදින් මහණෙනි, අන් තොටු පිරිවැජියෝ මෙසේ පුළුවුස්නාහු ද: ඇවැත්නි, හැම දහම්හු (පඤ්චස්කන්ධයෝ) කුමක් මුල්කොට ඇත්තාහු ද, හැමදහම්හු කුමක් ප්රභවකොට ඇත්තාහු ද, හැමදහම්හු කුමක් සමුදයකොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් වැදගැනුම් කොට ඇත්තාහු ද, හැමදහම්හු කුමක් ප්රමුඛ කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ආධිපත්යය කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් උතුරු කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් හරකොට ඇත්තාහු ද? කියා යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි අන්තොටු පිරිවැජියනට කුමැයි පවසවු ද?
වහන්ස, අපගේ ධර්මයෝ භගවත්හු මුල්කොට ඇත්තාහ. භගවත්හු නේතෘකොට ඇත්තාහ. භගවත්හු පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, තෙල භාෂිතයාගේ අර්ත්ථය භාග්යවතුන් වහන්සේට ම වැටහේවා! භාග්යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්ෂූහු ධරත්යි.
එසේ නම් මහණෙනි, අසවු, මොනොවට මෙනෙහි කරවු, කියමි යි. වහන්ස, එසේ යයි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක:
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, හැම දහම්හු කුමක් මුල් කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ප්රභව කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් සමුදය කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් වැදගැනුම් කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ප්රමුඛ කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ආධිපත්ය කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් උතුරුකොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් හරකොට ඇත්තාහු දැයි මෙසේ පුළුවුස්නාහු නම් මහණෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසවු.
ඇවැත්නි, හැම දහම්හු ඡන්දය (අධ්යාශයඡන්දය, කත්තුකම්යතා ඡන්දය) මුල්කොට ඇත්තාහ, හැම දහම්හු මනසිකාරය ප්රභවකොට ඇත්තාහ, හැම දහම්හු ස්පර්ශය සමුදය කොට ඇත්තාහ, හැම දහම්හු වේදනාව වැදගැනුම් කොට ඇත්තාහ, හැම දහම්හු සමාධිය ප්රමුඛ කොට ඇත්තාහ, හැමදහම්හු ස්මෘතිය ආධිපත්යය කොට ඇත්තාහ, හැම දහම්හු ප්රඥාව උතුරු කොට ඇත්තාහ, හැමදහම්හු විමුක්තිය සාරකොට ඇත්තාහ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසවු යි.
8. 2. 9. 4.
මහාචෝරඞ්ග සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අටඟෙකින් සමන්වාගත මහසොර වහා අවසානයට පැමිණෙයි, චිරස්ථිතික නො වෙයි. කවර අටෙකින යත්:
නො පහරනුවහට පහර දෙයි, නිඃශේෂ කොට ගනියි, ස්ත්රිය නසයි. කුමරිය දුෂණ කෙරෙයි, පැවිද්දා පැහැර ගනියි, රාජභාණ්ඩාගාරය පැහැර ගනියි, ඉතා නුදුරෙහි සොරකම් කෙරෙයි, නිධානයෙහි (ලද දෙය පරලොව තකා දක්ෂිණාර්හයන් වෙත් පිදීමෙහි) දක්ෂ නො වේ. මහණෙනි, මේ අටඟින් සමන්වාගත මහසොර වහා ගැනුමට යෙයි, චිරස්ථිතික නො වේ.
මහණෙනි, අටඟෙකින් සමන්වාගත මහසොර වහා අවසානයට නො යෙයි, චිරස්ථිතික වෙයි. කවර අටෙකින යත්:
නො පහරනුව හට නො පහරයි, නිඃශේෂකොට නො ගනියි, ස්ත්රිය නො නසයි, කුමරිය දුෂණ නො කරයි, පැවිද්දා වොලො ගැනුම් නො කෙරෙයි, රාජකොෂය වොලො ගැනුම් නො කෙරෙයි, ඉතා නුදුරෙහි සොරකම් නො කෙරෙයි, නිධානයෙහි කුශල වේ, මහණෙනි, මේ අටඟින් සමන්වාගත මහසොර වහා ගැනුමට නො යෙයි, චිරස්ථිතික වේ.
8. 2. 9. 5.
තථාගතාධිවචන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, ශ්රමණ යන මේ තථාගත අර්හත් සම්යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, බ්රාහ්මණ යන මේ තථාගත අර්හත් සම්යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, වේදගූ යන මේ තථාගත අර්හත් සම්යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, භිසක්ක යන මේ තථාගත අර්හත් සම්යක් සම්බුද්ධනයට නමෙකි. මහණෙනි, නිර්මල යන මේ තථාගත අර්හත් සම්යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, විමල යන මේ තථාගත අර්හත් සම්යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, ඤාණී යන මේ තථාගත අර්හත් සම්යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, විමුත්ත යන මේ තථාගත අර්හත් සම්යක් සම්බුද්ධනයට නමෙකි,