8. 2. 8. 6.
ද්විතීය සම්පදා සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ සම්පත්හු අටදෙනෙකි. කවර අටදෙනෙක යත්: උත්‍ථානසම්පදා ය, ආරක්‍ෂසම්පදා ය, කල්‍යාණමිත්‍රතා ය, සමජීවිකතා ය, ශ්‍රද්ධාසම්පදා ය, ශීලසම්පදා ය, ත්‍යාගසම්පදා ය, ප්‍රඥාසම්පදා යි.
1. මහණෙනි, උත්‍ථානසම්පදා නම් කවර:
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් සීසෑමෙන් වේවයි, වෙණදහමින් වේවයි, ගෙරි රැක්මෙන් වේවයි, දුනුවා කමින් වේවයි, රජ මෙහෙවරින් වේවයි, අන්‍යතර ශිල්පයෙකින් වේවයි, යම් ම කර්‍මාන්තයකින් ජීවිකාව කෙරේ ද, එහි ලා දක්‍ෂ වෙයි, අනලස් වෙයි, තත්‍රෝපාය වීමංසායෙන් සමන්‍වාගත වෙයි, කරන්නට සමර්‍ත්‍ථ වෙයි, සංවිධානයට සමර්‍ත්‍ථ වෙයි. මහණෙනි, මේ උත්‍ථානසම්පදා යි කියනු ලැබේ.
2. මහණෙනි, ආරක්‍ෂසම්පදා නම් කවර:
මහණෙනි, මෙ ලොව්හි කුලපුතෙක් හට උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් රැස් කළ, සෝදිය වෑහීමෙන් රැස්කළ, එයින් දැහැමි වූ දැහැමින් ලත් භෝග කෙනෙක් වෙත් ද, හේ ඒ භෝගයන් ආරක්‍ෂායෙන් සැඟැවීමෙන් සපයා තබයි, කෙසේ ය: මා අයත් භෝගයන් කෙසේ රජදරුවෝ පැහැර නො ගනිත් ද, සොරු පැහැර නො ගනිත් ද, ගිනි නො දවා ද, දිය පා නො කෙරේ ද, අප්‍රිය වූ දායාදයෝ බන්‍ධූහු හෝ පැහැර නො ගනිත් ද කියා යි. මහණෙනි, මේ ආරක්‍ෂසම්පදා කියනු ලැබේ.
3. මහණෙනි, කල්‍යාණමිත්තතා කවර:
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් යම් ම ගම්කෙතෙක වේ වයි, නියම්ගමෙක වේවයි වෙසේ ද, එහි ශ්‍රද්ධාසම්පන්න, ශීලසම්පන්න, ත්‍යාගසම්පන්න, ප්‍රඥාසම්පන්න වෘද්ධශීලී දහරයේ වෙත්වයි, වෘද්ධශීලී වෘද්ධයෝ වෙත්වයි යම් ඒ ගැහැවි කෙනෙක් හෝ ගැහැවි පුත් කෙනෙක් හෝ ඇද්ද, ඔවුන් හා එක්ව සිටුනේ ය. එක්ව බණන්නේ ය. සාකච්ඡාවට වදනේ ය. යම්බඳු (නොවෙනස් ව සිටුනා) සැදෑ සපනුන්ගේ සැදෑ සපුව අනුව හික්මේ ද, යම්බඳු (නොවෙනස් ව සිටුනා) සිල් සපනුන්ගේ සිල්සපුව අනුව හික්මේ ද, යම් බඳු (නොවෙනස් ව සිටුනා) ත්‍යාගසම්පන්නයන්ගේ ත්‍යාගසම්පත් අනුව හික්මේ ද යම්බඳු (නොවෙනස් ව සිටුනා) ප්‍රඥාසම්පන්නයන්ගේ ප්‍රඥාසම්පත් අනුව හික්මේ ද, මහණෙනි, මේ කල්‍යාණ මිත්‍රතා යි කියනු ලැබේ.
4. මහණෙනි, සමජීවිතා නම් කවර:
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් භෝගයන්ගේ අයත් දැන භෝගයන්ගේ වැයත් දැන මෙසේ මාගේ අය වැය යට කොට ගෙන සිටුනේ ය, මගේ වැය අය යට කොටගෙන නො සිටුනේ ය යි අත්‍යවගාහ නො කොට අතිහීන නො කොට මොනොවට ජීවිකා කෙරෙයි. මහණෙනි, යම් පරිදි තුලධරයෙක් හෝ තුලධරු අතවැසියෙක් හෝ තුලාව නගා ගෙන මෙතෙකින් ම නතුවිය, මෙතෙකින් ම මතු වී යයි දන්නේ වේදැ, මහණෙනි, එපරිදි ම කුලපුත් භෝගයන්ගේ අයත් දැන භෝගයන්ගේ වැයත් දැන අත්‍යවගාහ නො කොට අතිහීන නො කොට මොනොවට ජීවිකා කරන්නේ ය. මෙසේ මාගේ අය, වැය යටකොට සිටුනේ ය. මාගේ වැය, අය යට කොටගෙන නොසිටුනේ යයි කියා යි.
මහණෙනි, ඉදින් මේ කුලපුත් මද අය ඇතියේ උදාර සේ ජීවිකා කෙරේ ද, එවිට ‘මේ කුලපුත් දිඹුල් කනුවක්හු සෙයින් භෝගයන් වළඳ කෙරේය’ යි, ඔහට නිගාබණනුවෝ ඇත. මහණෙනි, ඉදින් මේ කුලපුත් මහත් අය ඇතියේ දුකසේ ජීවිකා කෙරේ ද, ‘මේ කුලපුත් අනාථ මරණ ඇතියකු සෙයින් මැරේ’ය යි ඔහට නිගා බණනුවෝ ඇත.
මහණෙනි, යම් හෙයකින් මේ කුලපුත් ඉමහත් නො කොට අතිහීන නො කොට මෙසේ මා අයත් අය, වැය යට කොට සිටුනේ ය, මාගේ වැය, අය යට කොට නො සිටුනේ ය යි භෝගයන්ගේ අයත් දැන භෝගයන්ගේ වැයත් දැන මොනොවට ජීවිකාව කෙරෙයි ද, මහණෙනි, මේ සමජීවිතා යයි කියනු ලැබේ.
5. මහණෙනි, ශ්‍රද්ධා සම්පත් කවර:
මහණෙනි, මෙලොව්හි කුලපුත් සැදැහැතියේ වෙයි, ‘ඒ භාග්‍යවත්හු මෙසේත් ... දෙව්මිනිස්නට ශාස්ත්‍රැයම, සිවුසස් දතුවහ, භගවත්හ’යි තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බෝධිය අදහයි. මහණෙනි, මේ ශ්‍රද්ධාසම්පදා යි කියනු ලැබේ.
6. මහණෙනි, ශීල සම්පත් කවර:
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් පණිවායෙන් දුරු වෙයි ... මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙන් දුරු වෙයි. මහණෙනි, මේ ශීලසම්පදා යි කියනු ලැබේ.
7. මහණෙනි, ත්‍යාග සම්පත් කවර:
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් පහව ගිය මලමසුරු ඇති සිතින් ගෙහි වසන්නේ ය ... යදනට නිසි වූයේ දානසංවිභාගයෙහි ඇලුණේ වෙයි. මහණෙනි, මේ ත්‍යාගසම්පදා යි කියනු ලැබේ.