8. 2. 8. 5.
ප්රථම සම්පදා සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ සම්පත් අට දෙනෙකි. කවර අට දෙනෙක යත්: උත්ථානසම්පදා ය, ආරක්ෂාසම්පදා ය, කල්යාණමිත්රසම්පදා ය, සමජීවිතා ය, ශ්රද්ධාසම්පදා ය, ශීලසම්පදා ය, ත්යාගසම්පදා ය, ප්රඥාසම්පදා යි. මහණෙනි, මේ අෂ්ට සම්පත් වෙයි.
1. කමතෙහි (කර්මාන්ත කරන තන්හි) නැඟි සිටුනා වැර ඇතියේ නො පමා වූයේ විධාන ඇතියේ සම ව ජීවිකා කෙරෙයි. රැස්කළ දෑ රක්නේ ය.
2. සැදැහැතියේ ශීලයෙන් යුතු වූයේ බිණූ බස්හි අරුත් දන්නේ හළ මසුරුමල ඇතියේ පරලොව ඇසිරි කළ සුව ලැබීමට හේතු වූ කුසල් මඟ නිරතුරු හෙළි කෙරෙයි.
3. ගිහිගෙයිවැසි සැදැහැති කුලපුත්හට දෙලොව සුව එළවන තෙල අට දහම්හු සත්යනාම (අන්වර්ත්ථ නාම) ඇති බුදුන් විසින් මෙසේ වදාරන ලදහ.
4. ගිහියනට දෘෂ්ටධර්මහිතය පිණිස ද සම්පරායික සුවය පිණිස ද මෙසේ තෙල දහම වෙයි. ත්යාගය පින් වඩනේ යයි.
8. 2. 8. 6.
ද්විතීය සම්පදා සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ සම්පත්හු අටදෙනෙකි. කවර අටදෙනෙක යත්: උත්ථානසම්පදා ය, ආරක්ෂසම්පදා ය, කල්යාණමිත්රතා ය, සමජීවිකතා ය, ශ්රද්ධාසම්පදා ය, ශීලසම්පදා ය, ත්යාගසම්පදා ය, ප්රඥාසම්පදා යි.
1. මහණෙනි, උත්ථානසම්පදා නම් කවර:
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් සීසෑමෙන් වේවයි, වෙණදහමින් වේවයි, ගෙරි රැක්මෙන් වේවයි, දුනුවා කමින් වේවයි, රජ මෙහෙවරින් වේවයි, අන්යතර ශිල්පයෙකින් වේවයි, යම් ම කර්මාන්තයකින් ජීවිකාව කෙරේ ද, එහි ලා දක්ෂ වෙයි, අනලස් වෙයි, තත්රෝපාය වීමංසායෙන් සමන්වාගත වෙයි, කරන්නට සමර්ත්ථ වෙයි, සංවිධානයට සමර්ත්ථ වෙයි. මහණෙනි, මේ උත්ථානසම්පදා යි කියනු ලැබේ.
2. මහණෙනි, ආරක්ෂසම්පදා නම් කවර:
මහණෙනි, මෙ ලොව්හි කුලපුතෙක් හට උත්ථානවීර්ය්යයෙන් ලැබූ, බාහුබලයෙන් රැස් කළ, සෝදිය වෑහීමෙන් රැස්කළ, එයින් දැහැමි වූ දැහැමින් ලත් භෝග කෙනෙක් වෙත් ද, හේ ඒ භෝගයන් ආරක්ෂායෙන් සැඟැවීමෙන් සපයා තබයි, කෙසේ ය: මා අයත් භෝගයන් කෙසේ රජදරුවෝ පැහැර නො ගනිත් ද, සොරු පැහැර නො ගනිත් ද, ගිනි නො දවා ද, දිය පා නො කෙරේ ද, අප්රිය වූ දායාදයෝ බන්ධූහු හෝ පැහැර නො ගනිත් ද කියා යි. මහණෙනි, මේ ආරක්ෂසම්පදා කියනු ලැබේ.
3. මහණෙනි, කල්යාණමිත්තතා කවර:
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් යම් ම ගම්කෙතෙක වේ වයි, නියම්ගමෙක වේවයි වෙසේ ද, එහි ශ්රද්ධාසම්පන්න, ශීලසම්පන්න, ත්යාගසම්පන්න, ප්රඥාසම්පන්න වෘද්ධශීලී දහරයේ වෙත්වයි, වෘද්ධශීලී වෘද්ධයෝ වෙත්වයි යම් ඒ ගැහැවි කෙනෙක් හෝ ගැහැවි පුත් කෙනෙක් හෝ ඇද්ද, ඔවුන් හා එක්ව සිටුනේ ය. එක්ව බණන්නේ ය. සාකච්ඡාවට වදනේ ය. යම්බඳු (නොවෙනස් ව සිටුනා) සැදෑ සපනුන්ගේ සැදෑ සපුව අනුව හික්මේ ද, යම්බඳු (නොවෙනස් ව සිටුනා) සිල් සපනුන්ගේ සිල්සපුව අනුව හික්මේ ද, යම් බඳු (නොවෙනස් ව සිටුනා) ත්යාගසම්පන්නයන්ගේ ත්යාගසම්පත් අනුව හික්මේ ද යම්බඳු (නොවෙනස් ව සිටුනා) ප්රඥාසම්පන්නයන්ගේ ප්රඥාසම්පත් අනුව හික්මේ ද, මහණෙනි, මේ කල්යාණ මිත්රතා යි කියනු ලැබේ.