8. 2. 8. 4.
දෙවැනි මරණසති සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ නාදික ගම්හි ගිඤ්ජකාවස්ථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක.
මහණෙනි, භාවිත බහුලීකෘත මරණස්මෘතිය මහත්ඵල මහානෘශංස වෙයි, අමෘතාවගාහ වේ, අමෘතපර්ය්යාවසාන වේ. මහණෙනි, කෙසේ භාවිත කෙසේ බහුලීකෘත මරණස්මෘතිය මහත්ඵල වේ ද, මහානෘශංස වේ ද, අමෘතාවගාහ වේ ද, අමෘතපර්ය්යාවසාන වේ ද:
මහණෙනි, මේ සස්නෙහි මහණ දාවල ඉක්මගිය කල්හි රෑ නැවත එළඹි කල්හි මෙසේ පස්විකයි: මාගේ මරණයට ප්රත්යයයෝ බොහෝ වෙති. සර්පයෙක් හෝ මා ඩස්නේ ය, ගෝනුස්සෙක් හෝ මා ඩස්නේ ය, පත්තෑයෙක් හෝ මා ඩස්නේ ය. එයින් මාගේ කාලක්රියාව වෙයි. ඒ මට ජීවිතාන්තරාය වෙයි. පැකිල හෙන්නෙම් නම් හෝ වෙමි. මා වැළඳූ බත හෝ නො දිරන්නේ ය. මාගේ පිත හෝ කිපෙයි. මාගේ සෙම හෝ කිපෙයි. මාගේ ශස්ත්රක වාතයෝ හෝ කිපෙති. මිනිස්සු හෝ මට උපක්රම කෙරෙති. අමනුෂ්යයෝ හෝ මට උපක්රම කෙරෙත්. එයින් මාගේ කාලක්රියාව වන්නේ ය. ඒ මට අන්තරාය වෙයි.
මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සිතිය යුතු යි: “රෑ කාලක්රියා කරන මට අන්තරාය පිණිස යම් අකුශල කෙනෙක් වෙත් නම් එබඳු ලමු අකුසල් දහම්හු මට අප්රහීණ වූවාහු ඇත් ද කියා යි. මහණෙනි, ඉදින් මහණ මෙසේ ප්රත්යවේක්ෂා කරනුයේ මෙසේ දන්නේ ද: “රෑ කාලක්රියා කරන මට යම් අකුශලධර්ම කෙනෙක් අන්තරාය පිණිස වෙත් නම් මට අප්රහීණ වූ එබඳු ලමු අකුශල ධර්මයෝ ඇතැයි. මහණෙනි, ඒ මහණහු විසින් ඒ ලමු අකුසල් දහමුන්ගේ ම ප්රහාණය පිණිස අධිමාත්ර ඡන්දයත් ව්යායාමයත් උත්සාහයත් අධිමාත්ර උත්සාහයත් නො කලකිරුමත් ස්මෘතියත් සම්ප්රජන්යයත් කටයුතු.
මහණෙනි, යම් සෙයින් ඇවිළ දන වස්ත්රය ඇතියෙක් වේවයි ඇවිළ දන හිසැතියේ වේවයි එම වස්ත්රය හෝ හිස නිවීම පිණිස අධිමාත්ර ඡන්දයත් ව්යායාමයත් උත්සාහයත් අධිමාත්ර උත්සාහයත් උකටලී නොවීමත් ස්මෘතියත් සම්ප්රජන්යයත් කෙරේ ද, මහණෙනි, එසෙයින් ම ඒ මහණු විසින් එම ලාමක අකුසල් දහමුන්ගේ ප්රහාණය පිණිස අධිමාත්ර ඡන්දයත්, ව්යායාමයත්, උත්සාහයත්, අධික වීර්ය්යයත්, උකටලී නො වීමත්, ස්මෘතියත්, සම්ප්රජන්යයත් කටයුතු යි.
මහණෙනි, ඉදින් මහණ ප්රත්යවේක්ෂා කරනුයේ ‘යම් අකුසල් දහම් කෙනෙක් රෑ කලුරිය කරන මට අන්තරාය පිණිස වෙත් නම් එබඳු අප්රහීණ වූ ලාමක අකුසල් දහම්හු මට නැතැ යි මෙසේ දන්නේ වේ ද, මහණෙනි, එ මහණහු විසින් දවරෑහි කුසල් දහම්හි හික්මෙනුවහු විසින් එම ප්රීතිප්රමෝද්යයෙන් වාස කටයුතු යි.
මහණෙනි, මෙ සස්නෙහි මහණ රෑ නික්ම ගිය කල්හි දවස නැවත ආ කල්හි මෙසේ නුවණින් සිතයි: මාගේ මරණයට බොහෝ ප්රත්යයෝ වෙත්: සර්පයෙක් හෝ මා ඩස්නේ ය, වෘශ්චිකයෙක් හෝ මා ඩස්නේ ය, ශතපදිකයෙක් හෝ මා ඩස්නේ ය, එයින් මාගේ කාලක්රියාව වෙයි. එය මට අන්තරාය පිණිස වෙයි, පා පැකිළ හෝ හෙන්නෙම වෙමි, මා වැළඳූ බත හෝ නොදිරයි, මාගේ පිත හෝ කිපෙයි, මාගේ සෙම හෝ කිපෙයි, මගේ ශස්ත්රකවාතයේ හෝ කිපෙත්, මිනිස්සු හෝ මට උපක්රම කරත්, අමනුෂ්යයෝ හෝ මට උපක්රම කරත්, එයින් මාගේ කාලක්රියාව වෙයි, ඒ මට අන්තරාය පිණිස වෙයි, කියා යි. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ සිතිය යුතු යි: දවල් කාලක්රියා කරන මට අන්තරාය පිණිස යම් අකුසල් කෙනෙක් වෙත් නම්, එබඳු අප්රහීණ වූ ලාමක අකුසල් දහම්හු ම ඇත කියා යි.
මහණෙනි, ඉදින් මහණ ප්රත්යවේක්ෂා කරනුයේ මෙසේ දන්නේ ද: “දාවල් කාලක්රියා කරන මට අන්තරාය පිණිස යම් අකුශල ධර්ම කෙනෙක් වෙත් නම් එබඳු අකුශල ධර්මයෝ අප්රහීණ වූවාහු මට ඇත කියා යි. මහණෙනි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්රහාණය පිණිස අධිමාත්ර ඡන්දයත්, ව්යායාමයත්, උත්සාහයත්, උස්සොළ්හියත්, අප්රතිවානියත්, ස්මෘතියත්, සම්ප්රජන්යයත් කට යුතු යි.