8. 2. 8. 3.
ප්‍රථම මරණසති සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගම්හි ගිඤ්ජකාවස්ථයෙහි (ගඩොළුමුවා පායෙහි) වැඩ වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භගවත් හට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
මහණෙනි, භාවිත, බහුලීකෘත මරණානුස්මෘතිය මහත්ඵල වෙයි, මහානිශංස වෙයි, අමෘතයට බැස සිටියා වෙයි. අමෘතය කෙළවර කොට ඇත්තේ ද වෙයි. මහණෙනි, තෙපි මරණසී වඩව් දැයි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: මම මරණානුස්මෘතිය වඩමැයි කියා යි.
මහණ, තෝ කෙබඳු කෙසේ නම් මරණසී වඩනේ දැයි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: ‘මම එක් රෑදවාලක් ජීවත්වන්නෙම් නම් යෙහෙක, භගවත්හුගේ සස්න (ආර්‍ය්‍යමාර්‍ග ප්‍රතිවේධාවහ වූ අවවාදය) මෙනෙහි කරන්නෙම් නම් මාවිසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කරන ලද්දේ වෙයි, කියායි. වහන්ස, මම මෙසේ මරණානුස්මෘතිය වඩමි.
2. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණානුස්මෘතිය වඩමැ”යි කියා යි.
මහණ තෝ කෙසේ නම් මරණසී වඩනෙහි දැයි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: ‘මම දවසක් ජීවත් වෙම් නම් යෙහෙක, භගවත්හුගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණසකිස කරන ලද්දේ වන්නේ ය කියා යි. වහන්ස, මෙසේ වනාහි මම මරණානුස්මෘතිය වඩමැ යි.
3. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණානුස්මෘතිය වඩමැ”යි කියා යි.
මහණ කෙසේ නම් තෝ මරණානුස්මෘතිය වඩනේ දැ යි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: මම අඩ දවසක් ජීවත් වෙම් නම් යෙහෙක, භගවත්හුගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේත් වන්නේ ය කියා යි, වහන්ස, මෙසේ වනාහි මම මරණානුස්මෘතිය වඩමි යි.
4. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය:
“වහන්ස, මමත් මරණානුස්මෘතිය වඩමි”යි කියා යි. මහණ තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩහි දැ යි? වහන්ස, මට මේ කරුණෙහි මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් එක් පිඬුවායක් (එක් දවසක් පමණ යැපෙන අහරක්) වළඳම් නම් එතෙක් කල් ජීවත්වන්නෙම් නම් මනාය. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් එකතින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේ වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ මරණස්මෘතිය වඩමැ යි.
5. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය:
“වහන්ස, මමත් මරණස්මෘතිය වඩමි”යි කියා යි. මහණ, තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩන්නෙහි දැ යි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් අඩ පිඬුවා වළඳම් නම් එතෙක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් ඒකාන්තයෙන් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේත් වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ වනාහි මම මරණ ස්මෘතිය වඩමි යි.