8. 2. 8. 2.
දෙවැනි සමන්තපාසාදික සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මහණ සැදැහැතියේත් වෙයි සිල් ඇතියේ නො ද වෙයි, මෙසේ හේ ඒ ඇඟින් අපරිපූර වෙයි. කිනම් උපායෙකින්, මම සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද වෙම් දැ යි ඔහු විසින් ඒ අඞ්ගය පිරි යුතු. මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල් ඇතියේත් වේ ද, මෙසේ ඒ ඇඟින් පරිපූර වෙයි.
මහණෙනි. මහණ සැදැහැතියේත් වෙයි සිල් ඇතියේ වෙයි. නො ද බහුශ්රුත වෙයි ... බහුශ්රුත වූයේත් නො ද ධර්මකථික වෙයි ... ධර්මකථික වූයේත් නො ද පරිසාවචර වෙයි ... පරිසාවචර වූයේත් විසාරද ව පිරිස්හි නො ද දහම් දෙසන්නේ වෙයි ... විසාරද ව දහම් දෙසනුයේත් වෙයි. රූපාවචර ධ්යානයන් ඉක්ම යම් ඒ ආරූප්ය වූ ශාන්ත විමෝක්ෂ කෙනෙක් වෙත් නම් ඔවුන් නාම කායයෙන් ස්පර්ශ කොට නො ද වාසය කරන්නේ ය … රූපාවචරධ්යානයන් ඉක්ම යම් ආරූප්ය වූ ශාන්ත විමෝක්ෂ කෙනෙක් වෙත් නම් ඒ අරූපාවචර ධ්යානයන් නාමකායයෙන් පැහැස ගෙන වාසය කරයි ... ආස්රවක්ෂය කිරීමෙන් අනාස්රව වූ චිත්තවිමුක්තියත් ප්රඥාවිමුක්තියත් දිටුදැමියෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට එළඹ වාසය නොකරයි. මෙසේ හේ ඒ ඇඟින් අපරිපූරකාරී වෙයි. කිනම් උපායෙකින් මම සැදැහැති ද වූයෙම් සිල්වත් ද වූයෙම් බහුශ්රුත ද වූයෙම් ධර්මකථිකත් වූයෙම් පරිසාවචරත් වූයෙම් විශාරදත් වූයෙම් පිරිස්හි දහම් දෙසන්නෙම් රූපාවචර ධ්යානයන් ඉක්ම ආරූප්යවූ යම් ඒ ශාන්ත විමෝක්ෂ කෙනෙක් වෙත් නම් ඒ අරූපාවචර ධර්මයන් නාමකයින් පැහැස වෙසෙම් දැයි ... ආස්රවක්ෂය කිරීමෙන් ... සාක්ෂාත් කොට එළඹ වෙසෙම් දැ”යි ඔහු විසින් ඒ අඞ්ගය පිරිය යුතු යි.
මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල්වත් වූයේත්, බහුශ්රුත වූයේත්, ධර්මකථික වූයේත්, පරිසාවචර වූයේත්, විශාරද වූයේත්, පිරිස්හි දහම් දෙසනුයේ වේ ද, රූපාවචර ධ්යානයන් ඉක්මවා ආරූප්ය වූ යම් ඒ ශාන්තවිමෝක්ෂ කෙනෙක් වෙත් නම් ඒ අරූපාවචර ධ්යානයන් නාමකායයෙන් ස්පර්ශ කොට වාසය කරයි ද, ආස්රවයන් ක්ෂය කිරීමෙන් ... ප්රත්යක්ෂ කොට එළඹ වෙසෙත් ද, මෙසේ හෙතෙමේ ඒ අඞ්ගයෙන් පරිපූර වෙයි.
මහණෙනි, මේ දහම් අටින් සමන්වාගත මහණ සමන්තපාසාදිකත් වෙයි. සර්වාකාර පරිපූරත් වේ යයි.
8. 2. 8. 3.
ප්රථම මරණසති සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ නාදික නම් ගම්හි ගිඤ්ජකාවස්ථයෙහි (ගඩොළුමුවා පායෙහි) වැඩ වසන සේක. එකල භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භගවත් හට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
මහණෙනි, භාවිත, බහුලීකෘත මරණානුස්මෘතිය මහත්ඵල වෙයි, මහානිශංස වෙයි, අමෘතයට බැස සිටියා වෙයි. අමෘතය කෙළවර කොට ඇත්තේ ද වෙයි. මහණෙනි, තෙපි මරණසී වඩව් දැයි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: මම මරණානුස්මෘතිය වඩමැයි කියා යි.
මහණ, තෝ කෙබඳු කෙසේ නම් මරණසී වඩනේ දැයි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: ‘මම එක් රෑදවාලක් ජීවත්වන්නෙම් නම් යෙහෙක, භගවත්හුගේ සස්න (ආර්ය්යමාර්ග ප්රතිවේධාවහ වූ අවවාදය) මෙනෙහි කරන්නෙම් නම් මාවිසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කරන ලද්දේ වෙයි, කියායි. වහන්ස, මම මෙසේ මරණානුස්මෘතිය වඩමි.