8. 2. 8. 10.
කුසීතාරම්භවත්ථු සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ කුසීතවත්ථු අටදෙනෙක් වෙති. කවර අටදෙනෙක යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ (චීවරවිචාරණාදි) කර්ම කටයුතු වෙයි. ඔහුට මෙ බඳු සිත් වේ: “මා විසින් කර්ම කටයුතු වන්නේ ය. කර්ම කරන මාගේ කය ක්ලාන්ත වෙයි. එහෙයින් මම හොවිමි”යි හේ හොවියි. නො පත් ධ්යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්යානාදිය අධිගම කරණු පිණිස සාක්ෂාත් නො කළ ධ්යානාදිය සාක්ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ ප්රථම කුසීතවස්තුවයි.
2. තවද මහණෙනි, මහණ විසින් කර්ම කරන ලදුයේ වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම් කර්ම කෙළෙම් ම ය. කර්ම කරන මාගේ කය ක්ලාන්ත විය. එහෙයින් මම හොවීම්”යි හේ හොවියි. නොපත් ධ්යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්යානාදිය අධිගම කරණු පිණිස සාක්ෂාත් නො කළ ධ්යානාදිය සාක්ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ ද්විතීය කුසීත වස්තුව යි.
3. තවද මහණෙනි, මහණහු විසින් මඟ යා යුතු වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මා විසින් මඟ යා යුතු වෙයි. මඟ යන මාගේ කය ක්ලාන්ත විය. එහෙයින් මම හොවීම්”යි හේ හොවියි. නොපත් ධ්යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්යානාදිය අධිගම කරණු පිණිස සාක්ෂාත් නො කළ ධ්යානාදිය සාක්ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ තෘතීය කුසීත වස්තුව යි.
4. තවද මහණෙනි, මහණහු විසින් මඟ ගියේ වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම මඟ ගියෙම් වෙමි, මඟ යන මාගේ කය ක්ලාන්ත ය. එහෙයින් මම හොවීම්“යි හේ හොවියි. නොපත් ධ්යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්යානාදිය අධිගම කරණු පිණිස සාක්ෂාත් නො කළ ධ්යානාදිය සාක්ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ චතුර්ත්ථ කුසීත වස්තුව යි.
5. තවද මහණෙනි, මහණ ගමෙක වේව යි නියම් ගමෙක වේව යි. පිඬු පිණිස හැසිරෙන්නේ රූක්ෂ වූ හෝ ප්රණීත වූ භෝජනයක් කැමැති තාක් පිරිපුන් කොට නො ලබයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම් වනාහි ගම්හි වේව යි නියම්ගම්හි වේව යි, පිඬු පිණිස හැසිරෙන්නෙම් රූක්ෂ වූ හෝ ප්රණීත වූ හෝ භෝජන කැමැති තාක් පිරිපුන් කොට නො ලත්මි. ඒ මාගේ කය ක්ලාන්ත ය. මම අකර්මණ්යයෙමි හොවීම්”යි හේ හොවියි ... සාක්ෂාත් නො කළ ධ්යානාදිය සාක්ෂාත් කරනු පිණිස .... මහණෙනි, මේ පඤ්චම කුසීත වස්තුව යි.
6. තවද මහණෙනි, මහණ ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස හැසිරෙනුයේ රූක්ෂ වූ හේ ප්රණීත වූ හෝ භෝජන කැමැති තාක් පරිපූර්ණ කොට ලබයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මම වනාහි ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස සෙරෙනුයෙම් රූක්ෂ වූ හෝ ප්රණීත වූ භෝජන කැමැති තාක් පිරිපුන් කොට ලත්මි. ඒ මාගේ කුස බරෙක් වෙයි. අකර්මණ්ය වෙයි. තෙත් මෑ ඇටක් මෙනි. (නොහොත් මෑ බත් කෑවකුගේ කුස මෙනි. නොහොත් මෑ ඇට පිරූ පසිබ්බකයක් මෙනි) එහෙයින් මම හොවිමි”යි හේ හොවියි ... සාක්ෂාත් නො කළ ධ්යානාදිය සාක්ෂාත් කරනු පිණිස ... මහණෙනි, මේ ෂෂ්ඨ කුසීත වස්තු යි.
7. තවද මහණෙනි, මහණහට ස්වල්පමාත්ර ආබාධයෙක් උපනේ වෙයි. මෙ බඳු සිතෙක් වෙයි: “මට ස්වල්පමාත්ර ආබාධයෙක් උපනේ වෙයි. හෝනට සුදුසු බව ඇත. එහෙයින් මම හොවිමි” යි හේ හොවියි … සාක්ෂාත් නො කළ ධ්යානාදිය සාක්ෂාත් කරනු පිණිස ... මහණෙනි, මේ සප්තම කුසීතවස්තු යි.
8. තවද මහණෙනි, මහණ ගිලන් බැවින් නැඟී සිටියේ වෙයි. ගිලන් බැවින් නැඟි සිටි නොබෝ කල් ඇති වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මම් වනාහි ගිලන් බැවින් නැඟි සිටියෙම් ගිලන් බැවින් නැඟී සිටි නොබෝ කල් ඇතියෙම් වෙමි. ඒ මාගේ කය දුර්වල වූයේ අකර්මණ්ය වෙයි. එ හෙයින් මම හොවිමි”යි හේ හොවී. නො පත් ධ්යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්යානාදිය අධිගම කරනු පිණිස, සාක්ෂාත් නො කළ ධ්යානාදිය සාක්ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ අෂ්ටම කුසීතවස්තු යි.
මහණෙනි, මේ අෂ්ටකුසීත වස්තූහු වෙත්.