8. 2. 7. 9.
පරිස සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ පිරිස් අටෙකි. කවර අටෙක යත්: ඛත්තිය පිරිස ය, බ්රාහ්මණ පිරිස ය, ගහපති පිරිස ය, සමණ පිරිස ය, චාතුම්මහාරාජික පිරිස ය, තාවතිංස පිරිස ය, මාර පිරිස ය, බ්රහ්ම පිරිස යි.
මහණෙනි, මම නේසිය කැත්පිරිස් වෙත එළඹියෙමි දනිම් ම ය.. එහිදු මා විසින් හුන්විරූ බිණූවිරූ ද වේ. සාකච්ඡාවට පැමිණිවිරූ ද වේ. එහි යම් බඳු ඔවුන්ගේ වර්ණයෙක් වේ ද, එබඳු වර්ණයෙක් මට ද වෙයි. යම් බඳු ඔවුන්ගේ ස්වරයෙක් වේ ද, එබඳු ස්වරයෙක් මට ද වේ. දැහැමි කථායෙන් ද සන්දර්ශනය කරමි, සමාදන් කරවමි, සමුත්තේජන කරමි, සම්පහංසන කරමි, මේ දෙවි හෝ මිනිස් හෝ කවරෙක් බෙණේ දැ යි බණන මා නො දනිත්. දැහැමි තෙපුලෙන් සන්දර්ශනය කොට සමාදන් කොට සමුත්තේජන කොට, සම්පහංසන කොට අතුරුදන් වෙමි. දෙවි වූ හෝ මිනිස් වූ හෝ මේ කවරෙක් නම් අතුරුදන් වී දැයි අතුරුදන් වූ ද මා නොදනිත්.
මහණෙනි, මම නේසිය බමුණු පිරිස් වෙත ... ගැහැවි පිරිස් වෙත ... මහණ පිරිස් වෙත ... සිවුමහරදපිරිස් වෙත ... තව්තිසපිරිස් වෙත ... මරපිරිස් වෙත ... බඹපිරිස් වෙත එළඹියෙම් දනිමි. එහිදු මා විසින් හුන්විරූ ද බිණූවිරූ ද වේ. සාකච්ඡා කළ විරූ ය. එහි යම් බඳු ඔවුන්ගේ වර්ණයෙක් වේ ද, එබඳු වර්ණයෙක් මට ද වෙයි. ඔවුන්ගේ යම් බඳු ස්වරයෙක් වේ නම් මට ද එබඳු ස්වරයෙක් වේ. දැහැමි කථායෙනුදු සන්දර්ශනය කරමි, සමාදන් කරමි, සමුත්තේජනය කරමි, සම්පහංසනය කරමි. මේ කවර නම් දෙවියෙක් හෝ මිනිසෙක් බෙණේදැයි බණන මා නො දනිත්. දැහැමි කථායෙන් සන්දර්ශනය කොට, සමාදන් කොට, සමුත්තේජනය කොට, සම්පහංසනය කොට අතුරුදන් වෙමි. මේ කවර නම් දෙවියන් හෝ මිනිසෙක් හෝ අතුරුදන් වී දැයි අතුරුදන් වූ ද මා නොදනිත්. මහණෙනි, මේ පිරිස් අට ය.
8. 2. 7. 10.
භූමිචාල සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි වූ මහාවනයෙහි කුළාරහල්හි වසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන විසාලාවට පිඬු පිණිස පිවිස සේක. විසාලායෙහි පිඬු පිණිස හැසිර පස්බත පිඬුවායෙන් පෙරළා වැඩි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්ද ය, නිසීදනය (පත්කඩ) ගනුව, චාපාලචේතිය වෙත දිවාවිහාරය පිණිස යම්හයි, වහන්ස, එසේ යයි භාග්යවතුන් වහන්සේට පිළිවදන් අස්වා අනඳ තෙරහු නිසීදනය ගෙන භාග්යවතුන් වහන්සේ පසුපස් ලුහුබැඳියහ.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ චාපාලචෙතිය වෙත එළඹි සේක. එළැඹ පැන වූ අස්නෙහි හුන් සේක. හිඳ භාග්යවතුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්දය, වේසාලිය රමණී වෙයි. උදේනචේතිය රමණී වෙයි. ගොතමකචේතිය රමණී වෙයි. සත්තම්බචෙතිය රමණී වෙයි. බහුපුත්තචේතිය රමණී වෙයි. සාරන්දදචෙතිය රමණී වෙයි. චාපාලචේතිය රමණී වෙයි.
ආනන්දය, යම් කිසිවකුන් විසින් සතර ඍද්ධිපාදයෝ භාවිත ද බහුලීකෘත ද, යානීකෘත ද, වස්තුකෘත ද, අනුත්ථිත ද, පරිචිත ද, සුසමාරද්ධ ද, ආනන්ද ය, හේ කැමති වනුයේ කපක් (ආයුෂ්කල්පයක්) හෝ කල්පාවශේෂයක් හෝ (ආයුෂ්කල්පයෙන් වැඩියක්) සිටුනේ ය. ආනන්ද ය, තථාගතයන් විසින් සතර ඉදුපා භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්ථිත ය, පරිචිත ය, සුසමාරද්ධ ය. ආනන්ද ය, තථාගත තෙමේ කැමැති වනුයේ කපක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. මෙසේත් ආයුෂ්මත් ආනන්ද තෙරහු භාග්යවතුන් වහන්සේ විසින් ඖදාරික නිමිති පහළ කළ කල්හි ඖදාරික අවභාසය (ආලෝකය) පහළ කළ කල්හිදු පිළිවිදුනට නො හැකි වූහ. වහන්ස, භාග්යවතුන් වහන්සේ කපක් කල් සිටුනා සේක්වා. වහන්ස, සුගතයන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලෝකානුකම්පා පිණිස දෙවිමිනිස්නට අර්ත්ථය පිණිස හිත පිණිස සුඛ පිණිස කපක් කල් සිටුනා සේක්වා යි මරහු විසින් මැඩි සිතැතියකු සේ භාග්යවතුන් වහන්සේ නො යැදූහ.